නිවේදක වෘත්තියේ ගෞරවය රැක ගැනීම නිවේදකයාගේ වගකීමක් | සිළුමිණ

නිවේදක වෘත්තියේ ගෞරවය රැක ගැනීම නිවේදකයාගේ වගකීමක්

යම් වෘත්තියක නිපුණයකු වීමට නම් පවතින කාලයත් සමඟ යාවත්කාලීන විය යුතුය. ඇය ද එකී කුලකය නියෝජනය කරන බවට විවාදයක් නැත .ගුවන් විදුලි නිවේදිකාවක, ප්‍රවෘත්ති නිවේදිකාවක, මනෝ උපදේශිකාවක ලෙස වගේම මානව හැකියා ප්‍රවර්ධන පුහුණු විශේෂඥවරයෙකු වරියක ලෙස ඇයගේ සාර්ථක වෘත්තීය ගමන්මඟ ඊට කදිමට සාක්ෂි දරයි .රසඳුන හා අද එක් වන ඇය රත්නා පුෂ්පකුමාරි යි.

 

කොහොමද මේ දවස්වල ජීවිතේ

මම ප්‍රධාන වශයෙන් වෘත්තීන් දෙකක නියැළෙනවා. විද්‍යුත් මාධ්‍ය තුළ වගේම මනෝවිද්‍යා උප විද්‍යා උපදේශිකාවක් ලෙසත් මම සක්‍රියව කටයුතු කරනවා. ඒ වගේම එකී වෘත්තීන් තුළ ඉදිරි ගෝල පිරිසක් බිහිකිරීමටත් මම මේ වනවිට කටයුතු කරනවා .

 

නිවේදිකාවක ලෙස මුලකුරු කියවූ අතීතයට ගමන් කළොත්..

මම ගුවන් විදුලි නිවේදිකාවක ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1982 දී යි.ජාතික රූපවාහිනිය ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස බව පත්වන්නේ 1985දීයි. 1988 දී ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති කියන්න මට අවස්ථාව ලැබෙනවා. 2000 වර්ෂයේ දී විද්‍යුත් මාධ්‍ය සඳහා නිවේදන කලාව ලෙස පොතක් ලිවීමට මට අවකාශ ලැබෙනවා. වර්තමාන නිවේදන ක්ෂේත්‍රයේ ඉහළින් වැජඹෙන බොහොමයක් දෙනා ළඟ එකී පොත තිබෙන බවත් ඔවුන් පවසා තිබෙනවා. නමුත් ඒ පොත වර්තමාන මාධ්‍ය කලාව හා සසඳන විට තරමක් ප්‍රාථමික යි. මාධ්‍ය කලාව සෑම විටම යාවත්කාලීන විය යුතුයි. ඒ වගේම අතීතය හා වර්තමානය සසඳන විට මාධ්‍ය කලාවක් ක්‍රමිකව වෙනස් වී තිබෙනවා. ඒ නිසා එදා ලැබූ අත්දැකීම්වලින් අද උගන්වන්න බැහැ

 

අතීතය හා වර්තමානය සසඳන විට නිවේදන භූමිකාවේ ඔබ දකින වෙනස්කම් මොනවාද ?

අප නිවේදන ක්ෂේත්‍රයට පිවිසෙන විට නව්‍යකරණයන් නිසා ප්‍රවීණයන්ගෙන් දෝෂ දෝෂදර්ශනයට ලක් වුණා. එකී තත්ත්වය වර්තමානයටත් පොදුයි.නමුත් තාක්ෂණය හා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදන කාර්යය වේගයෙන් උඩුයටිකුරු වී තිබෙනවා. වර්තමානයේ නිවේදිකයකු වීමට අවැසි නම් පිළිගත් මාධ්‍ය ආයතනයක වෘත්තියක් සිදු නොකර යූ ටියුබ් නාළිකාවක් ආරම්භ කර එහි නිවේදන කාර්යය කළ හැකියි. මම ඇතුළු අපගේ සමකාලීනයන් ක්ෂේත්‍රයට පිවිසෙන විට තිබූ දැනුම හා කුසලතාවට වඩා නවකයන් දැනුමින් සන්නද්ධයි. නමුත් පවතින ප්‍රධානම ගැටලුව එකී දැනුම නිවැරදිව යොදවීමට ඇති නොදැනුවත්කමයි. ඒ නිසාම සිංහල හා ඉංග්‍රීසි භාෂා මිශ්‍රකර කතා කිරීම, භාෂාව මැරීම වැනි චෝදනා ඔවුන්ට එල්ල වෙනවා. අතීතයේ ප්‍රවෘත්ති නිවේදිකාවන් ප්‍රවෘත්ති නොකියන දිනයක පවා සාරියෙන් පැමිණීම අනිවාර්ය කාර්යයක් වුණා. ඒ වගේම ඔවුන්ට වෘත්තීය තුළ වගේම ඉන් බාහිරවත් වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර ගැනීමට යම් යම් නීති පනවා තිබුණා. නමුත් එකී මාධ්‍ය ආයතනම වර්තමානයෙ වැඩසටහනකට ආරාධනා කරන විට සාරී ඇද පැමිණීමට අවශ්‍ය නැති බවට දැනුවත් කරනවා. එසේ ඇඳුම වැනි ප්‍රාථමික අංගයන් පවා වෙනස් වූ අවදියක නිවේදන කාර්යය තුළ පවා පුළුල් වෙනස්කම් තිබිය හැකියි. අතීතයේ අපට ඉහළින් සිටි පාලක අංශයේ වගේම අපටත් හොඳ විනයක් තිබුණා. ඒ වගේම අපේ කැපවීමත් උපරිමයටම තිබුණා. නමුත් අපගේ කැප වීමට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් අපට ලැබුණේ නැහැ. විවාදයකින් තොරව නූතන නිවේදන පරම්පරාව බොහොම දක්ෂයි වගේම නිර්මාණශීලීයි. නමුත් ප්‍රධානම ගැටලුව ඔවුන්ගේ දක්ෂතාවට විනයානුකූල බව හා කැපවීම එක් නොවීමයි .

 

වර්තමානයේ ඇතැම් නිවේදකයන් පක්ෂපාතී වීමෙන් තම පෞද්ගලික මත සමාජයට පොදු මතයක් ලෙස මුදා හැරීම කොතෙක් අහිතකර බලපෑම් ගෙන දෙන්නක්ද?

යම් ආයතනයක කටයුතු කරන විට එකී න්‍යාය පත්‍රයට යටත්ව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කටයුතු කළ යුතුයි. ඊට අමතරව ඇතැම් නිවේදකයන් සිතට එන අදහස් දමා ගැසීම තුළ වල් බූරු නිදහසක් භුක්ති විඳින බව පෙනී යනවා.

එයින් වෘත්තිමය නිවේදකයාගේ භූමිකාව අවතක්සේරු වී තිබෙනවා. තිස්ස ජයවර්ධන, සිරිල් රාජපක්ෂ, අමරබන්දු රූපසිංහ, අශෝක තිලකරත්න වැනි දැවැන්ත නිවේදකයන් දැනුදු අප රට තුළ අමරණීය චරිත බවට පත් වී තිබෙනවා.

නමුත් වර්තමානයේ එවන් චරිත ගොඩනැඟීමට අවකාශයක් නොමැත්තෙ පෞද්ගලික මතයන් කිසිදු සොයා බැලීමකින් තොරව ඉදිරිපත් කරන නිසයි. ක්ෂේත්‍රය තුළ නමක් ගොඩනඟා ගත් ඇතැම් නිවේදකයන් වර්තමානය තුළ බොහොම පහත් තත්ත්වයට වැටෙන අවස්ථා අප දුටුවා.

ඔවුන්ට නිවේදන භූමිකාව පිළිබඳව අවබෝධයක් නැහැ. ඒ වගේම මාධ්‍ය සදාචාර පිළිබඳව දැනුම්වත්වීමකුත් නැහැ. එසේ ආයතන වගේම නිවේදකයන් වල්බූරු නිදහස පාවිච්චි කරන විට නිවේදක භූමිකාවෙ වෘත්තීය ගරුත්වය අහිමි වෙනවා.

 

වැඩසටහනකට එක්වන ආරාධිතයන් ගේ ගෞරවය සුරැකීමේ කාර්යය වත්මන් නිවේදකයාගෙන් මඟ හැරෙනවා. ඔබ එයට හෙළන්නේ කුමන දෘෂ්ටියක්ද?

මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සිදු වූ සිදුවීමක් නිසා ඒ පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක් වුණා. එහිදී එකී ආරාධිත තැනැත්තියගේ කතා විලාසය එතරම් ප්‍රසාදයක් ඇති කරන්නක් නොවෙයි.

එහිදී පෞරුෂයක් හිමි නිවේදකයකු ලෙස එකී පුද්ගලයා සියුම්ව වගේම ප්‍රබල ව ඇයට කරුණ පැහැදිලි කළ ආකාරය වඩාත් උචිතයි කියා මම හිතනවා. එය ඔහුගේ වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරගැනීමක්. නිවේදකයකුට අධ්‍යාපන පසුබිමක් තිබෙනවා.

ඒ වගේම හඬ පෞරුෂයක් වගේම භාෂාව රැක ගැනීමේ අයිතියක් තිබෙනවා. එසේ වගකීම් සම්භාරයක් හිමි වගේම සමාජයේ පිළිගත් නිවේදකයකුගෙ භූමිකාව ඔහු එකී අවස්ථාවේ දී ඉටු කළා. වර්තමානයෙ ඇතැම් නිවේදකයන් යම් වැඩ සටහනකට ආරාධනා කරන විට ආරාධිත ශිල්පීන්ගෙන් ප්‍රශ්න ඇසීමෙන් ඔවුන්ව යම් යම් අපහසුතාවන්ට පත් කිරීමට උත්සාහ දරනවා.

ඒ වගේම ආරාධිතයාට කතා කිරීමට අවස්ථාව නොදී ඔහු හෝ ඇය දිගින් දිගටම කතා කරනවා. මෙහිදී යම් ක්ෂේත්‍රයක දැනුමෙන් ප්‍රවීණයකු වූ පුද්ගලයන් සිදුකරන්නේ නිවේදකයාගේ දීර්ඝ විස්තරයට ඔව් හෝ නැහැ කීම පමණයි. එය නිවේදකයාගේ ආචාර ධර්මවලට පටහැනි දෙයක්. යම් දේශපාලන වැඩසටහනක ව්‍යවස්ථාවෙ වගන්තියක් පිළිබඳව නිවේදකයාගෙන් ආරාධිතයන් ප්‍රශ්න කරනවා.

ඒ නිසා එවන් විටෙකදී ව්‍යවස්ථාව පිළිබඳ සම්පූර්ණ දැනුම ආරාධිත පුද්ගලයා සතු විය යුතු බවත් මම එකී ප්‍රශ්නයට අදාළ නොවන බවත් සෘජුව කීමට නිවේදකයින් ශක්තිමත් විය යුතුයි. එසේ යම් කෙනකු නිවේදන වෘත්තිය අසරණ කරන විට ඒ වෙනුවෙන් පෙනී සිටීම නිවේදකයාගේ වගකීමක්.

Comments