
සම්මාන දාහතරක් සහ දහසය වතාවක් නිර්දේශිතව වැඩියෙන්ම සම්මාන දිනාගත් වැඩසටහන ආලකමන්දාවයි
සංගීත ගුරුවරියක් ලෙස වසර දෙකක් ශ්‍රීමත් බාරොන් ජයතිලක විද්‍යාලයේ සේවය කළා
රසික සිත්හි සෙනෙහසින් ලැගුම්ගත් කලාකරුවන්ගේ ජීවිතය සහ ඔවුන්ගේ නිර්මාණ චාරිකාව අලළා නිර්මාණය වූ 'සෙනෙහසේ නවාතැන' සහ 'ආලකමන්දාව'ත් භාරතීය ගී මිහිර බෙදූ 'සුහානි රාත්'වැනි ජාතික රූපවාහිනියේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් වැඩසටහන් හි නිෂ්පාදිකාව වූයේ විනීතා කරුණාරත්නයි. ලංකාවේ පළමු ගීත දර්ශකය වන 'ගී හතක්' ඇගේ නිමැවුමකි. 'නුග සෙවණ' ආරම්භක සාමාජිකාවක් වන ඇය වසර තිස් හතරක් තුළ වැඩසටහන් ගණනාවක් සඳහා ඇගේ නිර්මාණ දායකත්වය ලබාදී තිබෙනවා.
ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන දාහතරකට හිමිකම් කියන විනීතාට මෙවර රයිගම් සම්මාන උළලේ දී කුසලතා සම්මානයක් පිරිනැමුණා. එම ඇගයීම සහ පෙර සම්මාන පිළිබඳව විමසමින් අපි ඇය සමඟ කතාබහ ආරම්භ කළා.
"මෙවර මට රයිගම් සම්මානය පිරිනැමුණේ 'ආලකමන්දාව-සෙලෝලයිටඩ් සිනමාපටයෙන් උතුරු දකුණ පාලම තැනූ මිනිසා, කේ ගුණරත්නම්' වැඩසටහන වෙනුවෙන්. ආලකමන්දාවෙන් මම මුල්ම සම්මානය ගන්නේ එච්. එම්. ජයවර්ධනයන්ගේ වැඩසටහන වෙනුවෙන්. මුද්‍රා නාට්‍ය ශීල්පී ආචාර්ය වසන්ත කුමාර වෙනුවෙන් කළ වැඩසටහනට රාජ්‍ය, සුමති සහ රයිගම් සම්මාන හිමිවුණා. ඉන්පසු සංගීතවේදී සරත් දසනායක ගැන කළ ආලකමන්දාව වෙනුවෙන් රාජ්‍ය සම්මාන ලැබුණා. සම්මාන දාහතරක් සහ දහසය වතාවක් නිර්දේශිතව වැඩියෙන්ම සම්මාන දිනාගත් වැඩසටහන ආලකමන්දාවයි."
ලබාගත් සම්මාන වල අභිමානය සතුටින් බෙදාගත් ඇයව අපි කුඩා කාලයට කැඳවාගෙන ගියා. මව්පියන්ගේ සෙවණ අහිමිව නැන්දා සහ මාමා ළඟ හැදී වැඩෙන ඇගේ පුංචි කාලයේ කටුක අත්දැකීම් බහුලයි. දැරණියගල කනිෂ්ඨ විද්‍යාලය, දැරණියගල සිරිසමන් මධ්‍ය මහා විද්‍යාලය සහ කළුතර ඥානෝදය මහා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ විනීතා සිය අත්තම්මා සමඟ කොළඹ මාලිගාවත්තට පැමිණෙන්නේ ජීවිතයට නව ආරම්භයක් ලබා ගැනීමේ අදිටනෙන්.
" මාලිගාවත්තට ආවට පස්සෙ මම පුංචි දරුවන්ට උපකාරක පන්ති පවත්වා යම් මුදලක් උපයාගත්තා. මේ කාලෙ පුවත්පත් දැන්වීමක් දැක්ක මාලනී බුලත්සිංහලගෙ මහරගම කලාශ්‍රමයට නවක සිසුන් බඳවා ගන්නව කියලා. මිස් නිසා මට ලැබුණ දේ බොහෝමයි. ඇය යටතේ ගාන්ධර්ව මධ්‍යම සහ භාත්ඛණ්ඩේ විශාරද උපාධිය සම්පූර්ණ කරලා සංගීත ගුරුවරියක් ලෙස වසර දෙකක් ශ්‍රීමත් බාරොන් ජයතිලක විද්‍යාලයේ සේවය කළා."
කුඩා අවධියේ නළු නිළියන්ගේ සේයාරූ කාමරයේ බිත්ති මත අලවාගත් ඈ පසුකාලීනව කලාවට පැවති අධික කැමැත්ත නිසාම ගුරු වෘත්තියෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණීයා.
“ගුරු වෘත්තිය අතරතුර රූපවාහිනී නිවේදක පරීක්ෂණ තුනකින් සමත් වෙලා නිවේදිකාවක් විදිහටත් කටයුතු කරන්න පටන් ගත්තා. ඔහොම රූපවාහිනියට ආපු වෙලාවක හෙන්රි ජයසේනයන් මගෙන් ඇහුවා රූපවාහිනියට සම්බන්ධ වෙන්න කැමතිද කියලා. ඒ 1987 අවුරුද්දේ. ගොඩාක් සතුටින් මම රූපවාහිනියට එදා සම්බන්ධ වෙලා විවිධ වැඩ කළා. ලංකාවේ රූපවාහිනී ඉතිහාසයේ පළමු ගීත දර්ශකය 'ගී හත ආරම්භ කළෙත් මම. එහි වැඩසටහන් තුන්සීයක් පමණ විකාශය වුණා. මොහාන් රාජ් මඩවල නිවේදකයකු විදිහට කලඑළි බහින්නේත් ඒ වැඩසටහනින්."
කලාවේ විවිධ ක්ෂේත්‍රයන්හි දස්කම් පෑ ජනාකර්ෂණීය කලාකරුවන් සමඟ පිළිසඳරක යෙදෙන‘සෙනෙහසේ නවාතැන’ වැඩසටහන නිෂ්පාදනය කළේත් ඇයයි.
"දෙනවක හාමිනේ, රුබී ද මෙල් වැනි කලාකරුවන්ගේ වැඩසටහන් එයට ඇතුළත් කරන්න අපට පුළුවන් වුණා. 'සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගේ සෙනෙහසේ නවාතැන' කරද්දි පුංචි බයක් දැනුණත් ඔහු හරිම සුහදශීලීව මාත් සමඟ කටයුතු කළා"
සෙනෙහසේ නවාතැනින්,'ආලකමන්දාව'ට පිවිසීමත් ඇගේ ජීවිතේ තවත් සුන්දර කළා.
“ආලකමන්දාව පටන්ගත්තෙ 2014 වසරෙ කේමදාස මාස්ටර්ගේ වැඩසටහනින්. මාස්ටර්ට ටිකක් තරහ යනව කියන එක ප්‍රසිද්ධයිනෙ.රූපවාහිනියේ පූර්ව ප්‍රචාරක පට පවා ප්‍රචාරය කරල තිබුණ මොහොතක මාස්ටර්ගෙන් බැණුනුත් අහගෙන අවසාන මොහොතේ වැඩසටහන පටිගත කරල රැයක් එළිවෙනකම් සංස්කරණය කළා. ඒක එදාම හවස විකාශය කරන්න තිබුණ වැඩසටහනක්. මහාචාර්ය සුනිල් සෙනෙවි, ආචාර්ය ජයලත් මනෝරත්න, පුෂ්කර වන්නිආරච්චි, අශෝක වීරසිංහ, ගාමිණි වේරගම, ලාල් ආනන්ද අබේධීර වැනි විශිෂ්ටයන්ගෙන් ලැබුණු තිරපිටපත් වැඩසටහනේ සාර්ථකත්වයට ඉවහල් වුණා. මට ලොකු දැනුම් සම්භාරයක් ආලකමන්දාව හරහා ලැබුණා."
දෙස් විදෙස් කලාකරුවන් ගණනාවක් සමඟ සමීපව වැඩ කටයුතු කිරීමට විනීතා වාසනාවන්ත වුණා. එම වැඩසටහන් අතර ඇති රසමුසු තැන් බොහොමයි. ඇය ඒ මතකය අවදි කළේ මෙලෙසින්.
" විශේෂ සිදුවීමක් තමයි අපි 'ගී හත' වැඩසටහන කරන කාලේ පණ්ඩිත් අමරදේවයන්ගේ 'වසන්තයේ මල් පොකුරු නෙළා'ගීතය අපි රූපගත කළේ දැරණියගල පැත්තේ දිය ඇල්ලක් ගාව. ඉතින් අපි වැල්වල එල්ලිලා තමයි එතැනට ගියේ. දවසක් වැල්ලවත්තේ රේල් පාරවල් දෙකක් එකතු වෙන තැන අපි රූපගත කිරීමක් යොදාගෙන තිබුණා. එදා කෝච්චි දෙකක් දෙපැත්තෙන් එනකොට අවසාන මොහොත වෙනකන්ම මට රේල් පීල්ලෙන් කකුල ගන්න ලැබුණේ නැහැ. තවත් වරක් අයිරාංගනී සේරසිංහ කියන මහා රංගන ශිල්පිනියක් එක්ක ආලකමන්දාව රූපගත කරන්න බෙලිහුල්ඔය ප්‍රදේශයේ සන්දේශය චිත්‍රපටය රූපගත කරපු පසුතලයට ගියේ ඇයව ඔසවගෙනයි.එතන අපි කෙටි චිත්‍රපටයකුත් මුල් දර්ශන වලට අනුකූලවම රූගත කළා.ඒ වගේම සංගීතඥ රවි ශංකර්, බී. දාස්ගුප්තා, සෝමා ටී. චැටර්ජි, අදූර්ගෝපාල් ක්‍රිෂ්ණන් වැනි ඉන්දීය කලාකරුවන් ලංකාවට පැමිණි විට ඔවුන් පිළිබඳ වැඩසටහන් මම කළේ ඉතාම ආසාවෙන්. ඒ වගේම මා දායක වූ 'සුහානි රාත්' වැඩසටහනටත් හින්දි ගී ප්‍රිය කරන ප්‍රේක්ෂක ආදරය ලැබුණා."
මේ කලාකාමී හදවතෙහි සහයකයා වන්නේ ඇයගේ සැමියා වන ගුවන් විදුලි ශිල්පී නිහාල් කරුණාරත්නයි.
" ඔහුව මට විවාහ කරදෙන්න මැදිහත් වුණේ මාලනී බුලත්සිංහල ගුරුතුමියයි. අපේ පුතා රවිඳු වගීෂ කරුණාරත්න. ඔහු රූපවාහිනියේ මාධ්‍ය රූප ශිල්පියෙක්. මට ලංකාවේ ඉන්න විද්වත් චරිත, සිනමාවේදීන් සමඟ සංරක්ෂණය කළ හැකි වැඩසටහන් ගණනාවක් කරන්න ලැබුණේ ජාතික රූපවාහිනිය නිසයි.