සෙනාල් දිනුෂ අක්මීමන බටදුවේ පිහිටි ඩී.එස්.අයි ආයතනයේ විධායක ග්‍රේණියේ නිලධාරියකු ලෙස රැකියාව කළේය. මහින්ද විද්‍යාලයේ දිප්තිමත් ආදි සිසුවකු වූ හෙතෙම විද්‍යාලයීය පාපන්දු කණ්ඩායම ද නියෝජනය කළ දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු විය. 37 හැවිරිදි වියේ පසුවූ සෙනාල් ඩී.එස්.අයි ආයතනයේ සේවයට එක්වී වසර 15ක් සපුරා තිබිණ. සෙනාල්ගේ බිරිය නයෝමි සමන් කුමාරි යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කළාය. උපාධිධාරිණියක වන ඇයට එම රැකියාව ලැබී තිබුණේ අභ්‍යාසලාභි උපාධිධාරි යෝජනාක්‍රමය යටතේ මැතකදීය. නයෝමි එම රැකියාව ලැබීමට පෙර ඩී.එස් අයි කර්මාන්ත ශාලාවේ කලක් සේවය කළාය. එමෙන්ම ඇය කාලයක් රුපලාවන්‍ය ආයතනයක් ද පවත්වාගෙන ගියාය. සතුටින් ආදරයෙන් ජීවත් වූ සෙනාල්- නයෝමි කැඳැල්ලේ සතුට තවත් වැඩිවී තිබුණේ මේ වන විට නයෝමි සිය දෙවැනි දරුප්‍රසුතිය සඳහා සුදානමින් සිටි බැවිනි.
සෙනාල් හා නයෝමි යුවළගේ එකම පුතු වන සිතුක විහස් ගුණසේන ගාල්ල මහින්ද විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියේය. සිතුක විහස් ගුණසේන පුතුගේ වයස අවුරුදු අටකි. දගකාර වියේ පසුවු මේ පුංචි කොලුපැටියාට මවත් පියාත් සීයාත් මෙන්ම පවුලේ ඥාතින් දැක්වුයේ දැඩි සෙනෙහසකි. සිතුක පුතු සමඟ සෙනාල් සහ නයෝමි පදිංචිව සිටියේ ගාල්ල ,හවුපේගෙවත්ත තල්ගම්පල ප්‍රදේශයේ නිවෙසකය. අලුත් අවුරුදු අසිරියෙන් මුළුරටම නැහැවෙද්දී සිතුක පුතු ද අලුත් අවුරුදු අසිරිය විඳගැනීමට ඇඟිලි ගනිමින් සිටියේය.
“අම්මේ මට මොනවාද අලුත් අවුරුද්දට ගෙනවිත් දෙන්නේ” සිතුක පුතු මවගේ ඇගේ දැවටෙමින් අසන්නට විය. “පුතාට මොනවාද ඕනේ” යැයි අසද්දී “අම්මේ මට අලුත් කමිසයක් ඕන.” යැයි සිතුක කීවේය. “ මගේ චුටි පුතාට අලුත් අවුරුද්දට ඇඳුම් පැලඳුම් විතරක් නෙවෙයි,රසකැවිලි කෑම වර්ගත් ගෙනවිත් දෙනවා” යැයි නයෝමි කීවේ පුතුගේ සුරතල් මුහුණ සිපගනිමිනි.
“අනේ අම්මේ මට තාත්තා වැඩකරන කර්මාන්තශාලාව බලන්න යන්න ඕන” සිතුක පුතු මවගේ වතේ දැවටෙමින් කීවේය. “හරි හරි චුටි පුතේ අලුත් අවුරුද්දෙන් පස්සේ තාත්තා වැඩට යනකොට ඔයා එක්කගෙන යාවි” නයෝමි කීවේ පුතු සනසමිනි.
අලුත් අවුරුදු දින සිතුක පුතු පවුලේ අය සමඟ අවුරුදු අසිරිය විඳිමින් කෙළිදෙලෙන් ගත කළේය. සිතුක පුතු මවත් පියාත් සමග අලුත් අවුරුද්දට නෑගම් යාමටද අමතක කළේ නැත. සෙනාල් මෙන්ම සිතුක ද තමන් පවුලේ අය සමඟ එක්වී සමරන අවසාන අලුත් අවුරුද්ද බව සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.
දිනය ඉකුත් 15 වැනිදාය. අලුත් අවුරුද්ද වෙනුවෙන් ඩී.එස්.අයි කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන්ට නිවාඩු ලබා දි තිබුණි. විධායක ශ්‍රේණියේ නිලධාරියකු වු සෙනාල්ට මෙදින විශේෂ රාජකාරියක් පැවරී තිබුණි. ඒ, කම්හල පරීක්ෂා කොට බලා වාර්තාවක් ලබාදීමේ කාර්යයි. සෙනාල් සිය රාජකාරිය දේවකාරියක් ලෙස සැලකු නිලධාරියෙකි. ඔහු 15 වැනි දින උදෑසන රැකියාවට යාම සදහා සුදානම් විය. සෙනාල් අලුත් අවුරුද්දෙන් පසු රැකියාවට යන පළමු දිනය එය විය. “තාත්තේ මාත් එනවා තාත්තා එක්ක යන්න” සිතුක පුතු පියාගේ ගතේ එල්ලෙමින් කීවේය. ඔහුග් පුංචි සිත බිඳීමට සෙනාල්ට සිත දුන්නේ නැත. සෙනාල් තම පුතුත් සමඟ යතුරුපැදියෙන් අක්මිමන බටදුවේ පිහිටි කර්මාන්තශාලාව වෙත ගියේය. උදැසන 10.20ට පමණ සෙනාල් තම පුතුත් සමඟ කර්මාන්තශාල පරිශ්‍රය තුළට ඇතුළු විය. අඩ හෝරාවක් පමණ ගතවුවත් සෙනාල් පිටතට නොපැමිණි නිසා ආරක්ෂක නිලධාරියකු සෙනාල් ගැන සොයා බලන්නට විය. ඔහු මේ ගැන ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් කළමණාකාරවරයා දැනුම්වත් කිරීමට ද කටයුතු කළේය.
සිදුව තිබුණේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවු දෙයකි. මෙකී කම්හලේ යන්ත්‍රෝපකරණ සිසිල් කිරිම සඳහා ඉදිකොට ඇති භුගත ජල ටැංකියකට ඇද වැටිමෙන් සෙනාල් හා පුතු මියගොස් තිබුණි. මෙම පුවත ලැව් ගින්නක් සේ පැතිරි යන්නට වැඩිවෙලාවක් ගතනොවිය. මැයි මාසයේ තම දෙවැනි දරු ප්‍රසුතිය සදහා සුදානමින් සිටි නයෝමිට එදින දහවල් මිතුරකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. “මහත්තයාට කරදරයක් වෙලාද?” මිතුරා ඇසුවේය. ඇය ඒ වනවිට කිසිවක් නොදැන සිටියාය. නයෝමි අසල්වැසි කාන්තාවක් සමඟ ත්‍රිරෝද රථයකින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත පැමිණියාය. ඩී.එස්.අයි කම්හලේ සේවකයන් කිහිප දෙනෙකුද රෝහල් භුමියේ සිටිනු නයෝමි දුටුවාය. “අනේ මගේ මහත්තයාටයි පුතාටයි මොකක්ද වුණේ” ඇය එසේ කියමින් හඬා වැලපෙන්නට වුවාය. නයෝමිට තම සැමියා මෙන්ම එකම පුතුද අහිමි වී ගොසිනි. ඇය නුතන පටාචාරාවියක් බවට පත්ව සිටියාය. මේ විපත ඇසු සියලුදෙනා “අනේ අපොයි“ කියමින් කම්පා වූහ.
ඒ අවාසනාවන්ත ඉරණමට ලක්වූයේ හවුපේගෙවත්ත තල්ගම්පල ගාල්ල ලිපිනයේ පදිංචිව සිටි උඩුබැට්ටව වැදිගේ සෙනාල් දිනුෂ ගුණසේන ( 37) සහ සිතුක විහස් ගුණසේන (08) නැමති පුතුය. සිතුක පුතු ද ඉගෙනීමට දක්ෂතා දැක්වු සිසුවෙකි. මෙකි සිද්ධියෙන් කම්හලේ ප්‍රධාන මෙහෙයුම් කළමණාකරු වන රණේපුර හේවගේ චමින්ද ලක්මාල් ධර්මරත්න (44) දැඩි කම්පනයට ලක්ව සිටියේය. හදිසි මරණ පරික්ෂණයේදී සාක්ෂිදෙමින් ඔහු මෙසේ කීවේය.
“මියගොස් සිටින්නේ මා සේවය කරන ආයතනයේ සේවය කරන විධායක නිලධාරියකු වන සෙනාල් හා ඔහුගේ පුතාය. මා මෙම ආයතනයට ඇවිත් වසර 11ක් වෙනවා. මා එනකොටත් සෙනාල් මෙම ආයතනයේ සේවය කළා. අප්‍රේල් 08 වැනිදා සිට 18 වැනි දින දක්වා ආයතනයේ සේවක සේවිකාවන්ට නිවාඩු දිලා තිබුණේ. විධායක ශ්‍රේණියේ නිලධාරින්ට පවරලා තිබුනා දිනකට දෙදෙනා බැගින් කම්හලට පැමිණ පරික්ෂාකොට බලා වාර්තාවක් දෙන්නයි. ඒ අනුව සෙනාල්ට හා ප්‍රභාත්ට මෙදින මෙම රාජකාරිය පැවරිලා තිබුනා. සෙනාල් පුතාට කර්මාන්තශාලව පෙන්වීමට පුතා ද කැඳවාගෙන පැමිණ තියෙනවා.
සාමාන්‍යයෙන් පොඩි ළමුන්ට කාර්මාන්තශාලව ඇතුලට යන්න දෙන්නේ නැතිවුණත් එදා නිවාඩු දිනයක් වීම සහ සෙනාල් විධායක ශ්‍රේණියේ නිලධාරියකු නිසා එම අවස්ථාව සෙනාල්ට ආරක්ෂක අංශ මඟින් ලබා දී තිබුණා. එදින උදැසන 10.25ට තමයි සේනාල් පුතා සමඟ කම්හල ඇතුළට ගිහින් තිබුණේ. නිවාඩු දිනයක් වුවත් වැඩ කරන අයට අවුරුදු තෑගි දීලා යන්න මමත් එදා උදේ 11.30ට විතර කම්හල තුළට ආවා. ආරක්ෂක අංශයෙන් මට කිව්වා සෙනාල් මහත්තයා පුතා සමඟ කම්හල ඇතුලතට ගියා තවම ආවේ නැහැ කියලා. මා ආරක්ෂක අංශයට කිව්වා සෙනාල්ට දුරකථන ඇමතුමක් ගන්න කියලා. දුරකථනය ක්‍රියාවිරහිත වෙලා තිබුණේ. මා ආරක්ෂක අංශයේ අයෙකු සමග කම්හලේ ඇතුලත රවුමක් ඇවිදලා බැලුවා. නමුත් සේනාල් හමුවුණේ නැහැ. මා ආරක්ෂක අංශයේ අයට පැවසුවා සෙනාල් පැමිණි පසු මට දුරකථන ඇමතුමක් ලබාදෙන්න කියලා. මා කම්හලේ අනිකුත් අංශවලට ගියා. මට දුරකථන ඇමතුමක් ආවා මිල් ටැංකියෙන් හිසක් පෙනවා කියලා. මා එම අවස්ථාවේම කම්හලට ආවා. ටැංකිය මැදට වන්නට සෙනාල්ගේ පුතාගේ හිස යන්තමට පෙන්න තිබුණා. මා ආරක්ෂක අංශයේ අයෙකු සමඟ එක්වී බෙල්ට් එකක් දමා ටැංකියේ අයිනට පුතාව ගත්තා. පසුව පුතාව මා විසින් ඔසවලා ගොඩට ගත්තා. මගේ වාහනයෙන්ම පුතා කරාපිටිය රෝහලට රැගෙන ගියා. ආරක්ෂක අංශයේ අයෙකු රෝහලේ නතරකරලා මා ඉක්මනින් කම්හලට ගියා. සෙනාල්ගේ මෘතදේහයත් ටැංකියේ ඇතුළත තිබී ගොඩ අරගෙන තිබුනා”.
මියගිය සේනාල් දිනුෂගේ බිරිය වන හවුපේ විතානගේ නයෝමි සමන් කුමාරි (36) හදිසි මරණ පරික්ෂණයේදී සාක්ෂි දෙමින් මෙසේ කිවාය.
“මා යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් ලෙස සේවය කරනවා. මියගොස් සිටින්නේ මගේ පුතා හා සැමියාය. සැමියා ඩී.එස්.අයි ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලෙස රැකියාව කරනවා. පුතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. තුන වසරට සමත්වෙලා හිටියේ. පුතා සැමියා සහ මම තමයි ගෙදර පදිංචිවෙලා හිටියේ. මහත්තයා උදේට රැකියාවට ගොස් හවසට ගෙදර එනවා. මේ දිනවල මෙම ආයතනයේ සේවකයන්ට නිවාඩු ලබා දි තිබුනා. මහත්තයාට රාජකාරි දිනයක් නොවුවත් නිවාඩු කාලයේ එක් දිනකට දෙදෙනෙකු ආයතනයට පැමිණ ආයතනය පරික්ෂාකොට වාර්තාවක් ලබාදිමට පැවරිලා තිබුනා. ඒ අනුව මහත්තයා පුතා සමඟ මෙම ආයතනයට ගියා. වැඩකරන දිනයක් නොවු නිසා කර්මාන්තශාලාව පෙන්වීම සඳහා පුතා රැගෙන ගියා. යතුරුපැදියෙන් තමයි මහත්තයා පුතා සමඟ ගියේ. එදින දහවල් 12.00ට විතර මහත්තයාගේ මිතුරෙකු මගෙන් දුරකථන ඇමතුමක් ලබාදිලා ඇසුවා මහත්තයාට කරදරයක්ද කියලා. මා කිව්වා දන්නේ නැහැ කියලා.
ඊටපසු මහත්තයාගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් ගත්තත් ජංගම දුරකථනය වැඩ කළේ නැහැ. පසුව මා මහත්තයාගේ මිතුරන්ට කථාකරලා ඇසුවා. ඒ අය දන්නේ නැහැ කිව්වා. පසුව මා අල්ලුප ගෙදර ඇන්ටි කෙනෙක් සමඟ කරාපිටිය රෝහලට ගියා. මෙම ආයතනයේ වැඩකරන අය රෝහලේ සිටියා. මහත්තයා හා පුතා වතුර ටැංකියක වැටි මියගොස් ඇති බව දැනගත්තා.” ඇය ඉකිබිඳිමින් කීවේ දරාගත නොහැකි ශෝකයෙනි.
මියගිය සිතුක විහත් ගුණසේන පුතුගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් සිදු කළ අතර, සෙනාල් දිනුෂ ගුණසේන ගේ හදිසි මරණ පරීක්ෂණය බටදුව හදිසි මරණ පරික්ෂක එස්.එන්.විතානගේ විසින් සිදුකරණු ලැබුවාය. පශ්චාත් මරණ පරික්ෂණ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි සහ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.කේ ඩයස් විසින් සිදුකළේය. ඉදිරිපත්වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා දියේ ගිලිමෙන් මරණ සිදුවී ඇති බවට තීන්දු කරනු ලැබීය.
අවුරුදු ප්‍රීතිය පමණක් නොව කැදැල්ලේ රැකවරණ සහ සෙනෙහස ද අහිමි වූ නයෝමි සිය සැමියාගේ සහ පුතුගේ හදිසි මරණවලින් කම්පිතව තවමත් හඬා වැටෙන්නේ ජීවිතයේ අනියත බව මෙතරම් කුරුරි බව පසක් කරගත නොහැකිවය.