![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/04/22/5.jpg?itok=gpxjWbuu)
වංගු අටෙන් හමන උඩුදුම්බර සුළඟ තරුෂි
දියගම ක්‍රීඩාංගනයේ දී වැස්සට දිය බත් වු ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 800 ඉසව්ව විනාඩි 02.04.40කට නිම කරමින් ජාතික කනිෂ්ඨ වාර්තාවක් බිහි කල තරුෂි කරුණාරත්න මෙකී කනිෂ්ඨ ඉසව්වේ ආසියානු ශ්‍රේණීගත කිරීම්වල අංක 01ට සහ ලෝක ශ්‍රේණීගත කිරීම්වල සිවුවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණිමට සමත්වුවා ය.
මෙහි දී තරුෂි විසින් බිඳ දැමුවේ මිට පෙර ජාතික වාර්තාවට හිමිකම් කියු ඩිල්ෂි කුමාරසිංහ විසින් විනාඩි 02.04.85කින් පිහිටුවා තිබු කනිෂ්ඨ මීටර් 800 වාර්තාවයි.
ඊට මසකට පමණ පෙර දියගම පැවැති දෙවැනි ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය උණුසුම් කරමින් කාන්තා මීටර් 400 ඉසව්ව ද කාගෙත් අවධානය දිනා ගැනීමට සමත් වුයේ මීටර් 400 ඉසව්වේ හිටපු ජාතික ශූරිය වන නදීෂා රාමනායක දෙවැනි ස්ථානයට ඇද දමමින් ප්‍රථම ස්ථානය දිනා ගන්නට තරුෂි කරුණාරත්න සමත් විමත් සමඟමය.තත්පර 54.29කින් ඇය ප්‍රථම ස්ථානය දිනා ගනිද්දී, නදීෂා වාර්තා කළ කාලය සටහන් වුනේ තත්පර 54.88ක් ලෙසය. මීටර් 400 මූලික ඉසව්වල දී තරුෂි දැක්වූ තත්පර 54.36ක දක්ෂතාවයත් සමඟින් කනිෂ්ඨ ලෝක ශූරතාව සඳහා සුදුසුකම් ලබා ගන්නට ද සමත් වුවාය. ජාතික මලල ක්‍රීඩා පළමු තේරීම් තරගාවලියේ කාන්තා මීටර් 400 තරගය තත්පර 56.17ක කාලයකින් අවසන් කරමින් ජය ගැනීමට තරුෂි සමත්වුවාය.
දියගම දී මිටර් 400න් නතර නොවී විනාඩි 2.06.99ක් තියුණු අවසානයක් සමඟින් මීටර් 800 කාන්තා ඉසව්වේ ජයග්‍රහණය වාර්තා කරන්නට තරුෂි කරුණාරත්න සමත් වුනේ ජාතික ශූරිය වු ඩිල්ෂි කුමාරසිංහ දෙවැනි ස්ථානයට ඇද දමමින්ය. ඩිල්ෂි වාර්තා කළ කාලය විනාඩි 2.07.00කී.
ඒ අනුව මේ වසරේ අගෝස්තු 2-7 වැනිදා දක්වා කොලොම්බියාවේ කෑලී නුවරදී පැවැත්වීමට නියමිත කනිෂ්ඨ ලෝක ශූරතා මලල ක්රීඩා ශූරතාවලියට මිටර් 400 සහ 800 ඉසව්වලින් සුදුසුකම් ලබා ගැනීමට සමත්වුවාය.
ඒ පසුගිය වසරේ කෙන්යාවේ නයිරෝබි නුවරදී නිමාව දුටු 18 වැනි ලෝක කණිෂ්ඨ මලල ක්රීඩා ශූරතාවලියට ද එක්වු ලාංකේය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හත් දෙනා අතරට ද තරුෂි එක්වුවා ය.එකී තරගාවලියේ ද තරුෂි කරුණාරත්න ලාංකේය කණිෂ්ඨ මලල ක‍්‍රීඩා බලාපොරොත්තු අතර තවත් දීප්තියක් වු බව නොරහසකී. මීටර් 800 ඉසව්වෙන් තරග කල තරුෂි මූලික තරගය විනාඩි 2 . 10.70කට නිම කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා ය. එහෙත් අවසන් පූර්ව වටයේදී තරුෂිට එම කාලය වාර්තා කිරීමට නොහැකි විය. එහිදී තරුෂි මීටර් 800 තරගයේ ධාවනය සඳහා ගත් කාලය විනාඩි 2 . 17.82ක් විය. තරුෂිගේ එම දක්‍ෂතාව අනුව ඇය ලෝකයේ කණිෂ්ඨ ක‍්‍රීඩිකාවන් අතර මීටර් 800 ඉසව්වෙන් 16 වැනි ස්ථානයට පැමිණියා ය. කෙසේ වෙතත් සිය හොඳම කාලය තරුෂි කෙන්යාවේදී ප‍්‍රදර්ශනය කරන්නට සමත් වුණි නම් මේ ස්ථානය මීටත් වඩා ඉහළ තැනකට එසවෙනු ඇත.
සිය ඉසව්වේ මූලික වටය අදියර 4කින් සමන්විත පැවැති අතර, එහි දෙවැනි තරගයට එක් වූ තරුෂි විනාඩි 2:10.70කින් තරගය නිම කරමින් තෙවැනි ස්ථානයට පත් වූවාය.
මී.800 ඉසව්වට ක්‍රීඩිකාවන් 29 දෙනකු එක් වූ අතර, ඉන් 16 දෙනෙක් අවසන් පූර්ව වටයට එක් වූහ. තරුෂි එම ක්‍රීඩිකාවන් අතරේ 17 වැනි ස්ථානයට පත් වුවත් මූලික වටයේදී තෙවැනි ස්ථානයට පත්වීම හේතුවෙන් අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදා විණි.මේ තරගයේ තරුෂි දැක්වූයේ සිය හොඳම දක්ෂතාව නොවන අතර, ඇය පසුගිය මැයි මාසයේ කොළඹ පැවැති තරගාවලියේදී විනාඩි 2:07.21ක කාලයක් වාර්තා කර තිබිණි.
2004 නොවැම්බර් මස 18 වන දින උඩුදුම්බර ප්‍රදේශයේදී මෙලොව එළිය දුටු දිසානායක මුදියන්සේලාගේ තරුෂි දිල්සරා කරුණාරත්න ධාවනයට උපන් හපන්කම් දැක්වූ තුන් දෙනෙකුගෙන් යුතු පවුලක මද්දුමයා වූවාය.තරුෂිගේ වැඩිමහල් සහෝදරයා ලංකාවට මලල ක්‍රීඩාවෙන් කීර්තියක් ගෙන දුන් හර්ෂ කරුණාරත්නයි.අම්මා චූලාභය ජාතික පාසලේ අනධ්‍යන කාර්යය මණ්ඩලයේ සේවය කරන අතර, තාත්තා රියදුරු වෘත්තියේ නිරතවෙයි. ඇගේ බාල සොයුරීය තවමත් ඉගෙනුම ලබයි.
කුඩා කල සිටම තරුෂිද ක්‍රීඩාවට ඇල්මක්, ආශාවක් දැක්වූ අතර අයියා මෙන්ම දිනක සිංහ කොඩිය අනෙක් රටවල් ඉදිරියේ ඉහළින් ලෙලවන්නටද කුඩා බලාපොරොත්තුක් ඇගේ සිතේ කොනක තැන්පත් ව ඇත.
උඩුදුම්බර චූලාභය ද්විතීක (වර්තමානයේ ජාතික) පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය එකී පාසලේදී පුෂ්පා කුමුදුනී ගුරුවරිය යටතේය. මිටර් 100 සහ දුර පැනිමේ ඉසව්වවලට යොමු වුවාය.කලාප තරගවලදි මිටර් 100 සහ දුර පැනීමේ ඉසව්වලින් දස්කම් දක්වන තරුෂී මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දිගු පියවර තබන්‌නේ 2017 දී ය.එනම් ලාංකේය මලල ක්‍රීඩා පිටියේ සුපිරි තවාන් බිමවන වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයට පැමිණීමෙන් පසුවය.මීටර් 400 සහ මීටර් 800 ප්‍රධාන ඉසව් ලෙස තෝරාගන්නා තරුෂි එම විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු යටතේ නොකඩවා පුහුණුවීම් කරන අතර , කුඩා කළ සිතේ කොනක තිබූ දක්ෂ ක්‍රීඩිකාවක වීමේ සිහිනය මල් ඵල ගන්වා ගැනීම වෙනුවෙන් ඇය හඹා යන්නේ මුවෙක් පසුපස හඹා යන සිංහ ධේනුවක් මෙනි.සුසන්ත ප්‍රනාන්දු පුහුණුකරු ගත් කළ ඔහුද කැපවීමෙන් සහ උනන්දුවෙන් තම දරුවන්ට ජයග්‍රහණය උදෙසා ගමන් කිරීමට යුහුසුළුව ක්‍රියා කරන, අත හිත දෙන පුහුණුකරුවෙක් ලෙසද දක්ෂ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ම රටට දායාද කළ සුවිශේෂී පුහුණුකරුවෙකි.
ඒ 2018 වසරයි.කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මිටර් 800 ඉසව්වේ තෙවැනියා වන තරුෂි ජෝන් ටාබට් තරගාවලියේ මිටර් 800 ඉසව්වේ දෙවැනියා සහ මිටර් 400 ඉසව්වේ සිව්වැනියා වුවද එය ම සුවිශාල පන්නරයක් කර ගන්නා ඈ, 2019 දී පැවැත්වුණු මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනිමින් මලල ක්‍රීඩාවේ ඇයගේ සිහිනයට කෙමෙන් කෙමෙන් පිය නැගීම ආරම්භ කරයි.
2019 දී පැවැත්වුණු ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියටද සහභාගී වන ඇය මීටර් 400 ඉසව්ව තත්ත්පර 57.2කින් සහ මීටර් 800 ඉසව්ව විනාඩි 2.17කින් නව තරග වාර්තාවන් ද සමගින් රන් පදක්කමත් දිනා ගැනීමට සමත් වුවාය.එතැනින් නොනැවැතුණු තරුෂි 2019 දී පැවැත්වුණු සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 16න් පහල මීටර් 400 ඉසව්ව තත්.56.54කින් ද, මිටර් 800 ඉසව්ව විනාඩි 2.14.27කින් ද, මිටර් 400 x 4 විනාඩි 3.56කින් ද මිටර් 100 x 4 නව වාර්තා තබමින් ජය ගැනිමට සමත්වුවාය.
මලල ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයටද හපන්කම් දක්වන තරුෂි වලල ඒ.රත්නායක මධ්‍ය විද්‍යාලයේ කැපී පෙනෙන තරුවකි. අභියෝගයන්ට නිරන්තරයෙන් ම අභියෝග කරන තරුෂි මෙම වසරේදී පැවැත්වුණු 99 වන ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සමග තරග කරමින් මී.800 ඉසව්ව විනාඩි.2 තත්.07.21ක කාලයකින් නිම කර රිදී පදක්කම දිනා ගැනීමට වුවාය.එය මෙතෙක් මීටර් 800 ඉසව්වෙන් තරුෂි වාර්තා කරන ලද හොඳම දක්ෂතාවයයි.තරුෂි ගේ එකී දක්ෂතාවයත් සමගින් ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් සපුරා ගැනීමට සමත් වුවා ය.
තවමත් 18 වන වියෙහි පසුවන ඇයට මලල ක්‍රීඩාවෙන් තව තවත් ඉදිරියට යාමටත් එම ක්ෂේත්‍රයෙන් විශාල ජයග්‍රහණයක් ලංකාවට ලබා දීමටත් ඇති කාලය සුලු පටු නොවේ.ඇයගේ ඉලක්ක සහ සිහිනයන් වලට ගමන් කිරීමටත් ඇති හැකියාව අතිමහත් බව නොරහාසකී.
ඡායාරූප - ජගත් ඉරෝෂණ