
මම සාර්ථක සිනමා කෘතියක් කරන්න උත්සාහ කළා
සියයට අසුවක් ප්‍රේක්ෂකයන් මගේ මේ ආකෘතියට සහ හිතුවක්කාරකමට කැමතියි
“අපේ ජීවිතයේ සියලූ දේවල් රඳා පවතින්නේ ඊයේ නොහොත් අතීතයේය. අපිට තියෙන්නේ ඊයේ දේවල් පමණි. දැන් සිදුවන දේ ගැන අප කිසිවෙක් නොදන්නෙමු. ඒ නිසා අපට සිහි කරන්නට ඇත්තේ ඊයේ ගැන පමණි. නැතිනම් අවසන් වූ රසවත් හෝ නීරස දේවල් පමණි."
මේ සටහන මම උපුටා ගන්නේ නාට්‍යවේදීයෙකු ලෙසින් දශක තුනකට ආසන්න කාලයක් නාට්‍යකරණයේ යෙදෙන බොහෝ දෙනා අතර සුහද සහෘදයකු වන මොහොමඩ් සෆීර්ගේ සිනමා ප්‍රවේශය වන "මම නෙවෙයි" ගැන ඔහු හඳුන්වා දුන් සටහනකින්. "මම නෙවෙයි" සිනමා පටයේ විශේෂ මාධ්‍යය දැක්මක් පසුගියදා පැවැත්වුණා. එදින කලා ලොවේ සහ මාධ්‍යය ලොවේ බොහෝ සහෘදයන් පැමිණ සිටියේ සෆීර් ට ඇති හිතවත්කම නිසාම බව නොරහසක්.
ඒ නිසාම රසඳුන අපි හිතුවා "මම නෙවෙයි" ගැන සෆීර් එක්ක කතා කරන්න. චිත්‍රපටයක් කරන්න හිතුණ පසුබිම් කතාන්දරය ගැන සෆීර් කිව්වේ මෙහෙම
මම චිත්‍රපටයක් කරන්න සුදානමින් හිටියේ 2004 අගහරියේදී. එහි ෂූටින් කරන්න හිතන් හිටියේ 2005දී. නමුත් 2004දී අග දෙසැම්බර් 26 ඇති වූ සුනාමි ව්‍යසනය එක්ක මගේ සිනමා සිහිනයත් අරගෙන ගියා. ඊට පස්සේ මම නාට්‍යයකරුවෙක් හැටියට කොළඹ නාට්‍යය උළෙල සංවිධාන කරනවා. ඒ දේවල් එක්ක අවුරුදු 16ක් 17ක් එකදිගටම මගේ සිනමා සිහිනය අතහැරුණා. කොහොම හරි 2020 පෙබරවාරි 19 මම ලංකාවෙන් යනවා මගේ නාට්‍යයක ප්‍රදර්ශනයක් කරන්න ඩුබායි වලට. ඊට පස්සේ නාට්‍යය දර්ශනය තිබ්බේ ඉන්දියාවේ කල්කටාවේ. ඒ සංචාර දෙක අවසන් කරලා මාර්තු 2 තමයි අපි ලංකාවට ආවේ. ඒ ගියෙත් මගේ අලුත් නාට්‍යය වන "ඈන්ක් ප්‍රෑන්ක්" නාට්‍යයේ මංගල දර්ශනය මාර්තු 5,6 සුදානම් කරලා. මාර්තු 16 වෙද්දී පළවෙනි කොරෝනා රැල්ලට රට වහනවා. ඒ ලොක්ඩවුන් කාලේ අහම්බෙන් මට මතක් වුණා මම චිත්‍රපටයක් කරන්නනේ හිටියේ, ඒකට මොකද වුණේ කියලා. ඒ එක්කම මට නැවත ජවයක් එනවා චිත්‍රපටයක් ලියන්න. කොහොමහරි 2020 සැප්තැම්බර් වෙද්දී පිටපත සුදානම් වෙනවා. දෙසැම්බර් වෙනකොට ෂූටින් සුදානම් වුණත් 2021 අප්‍රේල් වෙනකම්ම ෂූටින් ඇඳෙනවා. ඊට පස්සේ ෂූටින් ඉවර වෙද්දීම ආයේ ලොක්ඩවුන්. ඒ විදියට ආව ගමනේ තමයි පසුගිය 30වැනිදා විශේෂ මාධ්‍යය දර්ශනය දක්වා ආවේ. කාලය වශයෙන් ගත්තොත් අවුරුදු 2ක්.
චරිත දෙකයි මෙහි රංග කාර්යයයේ යෙදෙන්නේ?
මගේ මුල සිටම ඔළුවේ තිබ්බා සහ මම පුර්ව නිගමනයක සිටියා දිල්හානි අශෝකමාලා මෙහි කාන්තා චරිතයට සහ සංජීව උපේන්ද්‍ර තමයි අනෙක් චරිතයට ගැළපෙන්නේ කියලා. ඊට පස්සේ සංජිව කොහොමත් මගේ අතිජාත සහෝදරයෙක්. ඒ නිසා සංජීව ආසාවෙන් මගෙත් එක්ක වැඩ කරේ. දිල්හානිව මම කලින් දැනගෙන හිටියේ නැහැ. චිත්‍රපටයේ පිටපත දුන්නට පස්සේ බොහොම කැමැත්තෙන් චිත්‍රපටය එක්ක වැඩ කරන්න කැමති වුණා.
මෙහි නම "මම නෙමෙයි" ඒ නම යෙදුම ගැනත් කිව්වොත්
මම මේ චිත්‍රපටයේ කතා කරන කාරණය සහ මම විශ්වාස කරනවා ඔයත් මමත් ඇතුළුව අපි හැමෝම ජිවත් වෙන්නේ ඊයේ දවස තුළ බව. අද ගැන අපි දන්නේ නැහැනේ. එතකොට මේ අතීතය එක්ක වැඩ කිරීම තමයි මම විශ්වාස කරපු කතන්දරය. මේ චිත්‍රපටයේ එන කාන්තාව විශ්වාස කරනවා එයාගේ සතුට තියෙන්නේ අතීතයේ කියලා. ඒ නිසා අතීතයේ ගිය තැන්වලට ආයෙමත් යනවා. ඒ යන හැම තැනකම කතන්දරයක් තියෙනවා. කොළඹ,පානදුර, හම්බන්තොට, මොනරාගල, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, අනුරාධපුර, වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම, පුත්තලම වගේ ලංකාවේ වටේ මම රවුමක් යනවා මේ කතන්දරය කියන්න. දුර වශයෙන් ගත්තොත් කිලෝ මීටර් 1497ක්. ඒ ගමන තුළ විවිධ දේවල් මේ චරිතය තුළින් නිරාවරණය වෙනවා. එතකොට මම හැමවෙලාවෙම කියන්නේ මේ ඉන්නේ මම නෙවෙයි ඔබ, ඒ වගේම මේ කාන්තාව නෙවෙයි ඔබ. ඒකත් එක්ක තමයි මම නෙවෙයි කියන නම යෙදුවේ.
එදා විශේෂ දැක්මේදී ලැබුණු ප්‍රතිචාර කොහොමද?
පුද්ගල නාම නොකියා කිව්වොත් පොදුවේ ලැබුණු ප්‍රතිචාර කිහිපයක් කිව්වොත්, මම මේකට පාවිච්චි කරලා තියෙන ආකෘතිය මීට කලින් ලංකාවේ භාවිත කරලා නැහැ කියන ප්‍රතිචාරය ලැබුණා. ඒ වගේම ජ්‍යේෂ්ඨ කලාකරුවෙක් මට කිව්වේ මම මේ චිත්‍රපටයේ කොතනකදිවත් මේ චරිත දෙක පිළිබඳ විග්‍රහ දෙන්නේ නැහැ. එතකොට ඒ කාරණයට ගොඩක් අය කැමතියි. මට අහඹු ලෙස සිය දෙනෙක් හිතුවොත් ඉන් සියයට අසුවක් මගේ මේ ආකෘතියට සහ මගේ මේ පොඩි හිතුවක්කාරකමට කැමතියි. සමහර අයට තියෙනව මේ තුළ යම් යම් දේවල් දියුණු වුණා නම් හොඳයි කියලා. මම කැමරාව භාවිත කළෙත් චරිතයක් හැටියට. ඒ කැමරාව කියන පුද්ගලයා බලා සිටින එක තමයි තිරයේ දිග හැරෙන්නේ. ඒකටත් බහුතරයක් දෙනා කැමතියි. මම බොහොම සද්භාවයෙන් සියලු දෙනාගේම ප්‍රතිචාර බාරගන්නවා. මේ තුළ දිල්හානි සහ උපේන්ද්‍රගේ රංගනය සියයට අනුඅට දෙනෙක්ම පිළිගන්නවා. එතකොට ඒ සම්බන්ධයෙන් ගැටලු නැහැ. මේක මගේ පළවෙනි සිනමා කෘතිය. මට සිනමාවේ අත්දැකීම් නැහැ. තියෙන්නේ නාට්‍යය කලාවේ වසර 30ක අත්දැකීම් සමුදායක්. ඒ තුළ මම දරපු උත්සාහය අසාර්ථක නැහැ කියන එක මට හැඟෙනවා.
ඒ වගේම මේක සමස්ත ජනතාවටම හදපු සිනමා කෘතියක් නෙවෙයි. මේක වයස අවුරුදු 30ට වඩා වැඩි අයට මම මේ කතා කරන සන්දර්භය ඇතුළෙ බොහෝ දේවල් අදාළ දේවල් හැටියට තියෙන්න පුළුවන්. ඒ නිසා මේ සිනමා කෘතිය යම් මට්ටමක නිශ්චිත සහ ඉලක්කගත ප්‍රේක්ෂකාගාරයකට හදලා තියෙන්නේ. මම හිතුවට වඩා හොඳ ප්‍රතිචාර තියෙනවා. ලෝකයේ සියලුම දෙනාට සතුටුවිය හැකි සිනමා කෘතියක් කරන්න කාටවත්ම බැහැ. මගේ නාට්‍යයවලටත් කැමති අකැමති පිරිස් ඉන්නවා. ඒ කාරණය ඇතුළෙ මම සාර්ථකයි කියලයි මට හිතෙන්නේ. අඩුපාඩු තියෙන්න පුළුවන් ඒවා සාපේක්ෂයි. ඒ තුළින් මම හිතනවා මම සාර්ථක සිනමා කෘතියක් කරන්න උත්සාහ කළා කියලා.