මේක ජනතාවගෙන් ලැබුණු සම්මානයක් | සිළුමිණ

මේක ජනතාවගෙන් ලැබුණු සම්මානයක්

රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙලේ දී වසරේ ප්‍රශස්තම සාකච්ඡා වැඩසටහන හිමි සම්මානය දිනා ගත් මයුරි ලියනගේ

 

 

 

පසුගියදා පැවති රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙලේ දී වසරේ ප්‍රශස්තම සාකච්ඡා වැඩසටහන හිමි සම්මානය දිනා ගත්තේ ලක්හඬ ගුවන් විදුලියේ මයුරි ලියනගේ. ඇය මාධ්‍යය ක්ෂේත්‍රය තුළ අත්දැකීම් බහුල මාධ්‍යවේදිනියක්. සිළුමිණ- රසඳුන අපි කෙටි කතාබහකට මයුරිව සම්බන්ධ කරගත්තා. මේ ඈ ඒ සම්බන්ධයෙන් දැක් වූ අදහස්.

 

ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලකදී මම ලබන දෙවන රාජ්‍ය සම්මානය තමයි මේ සම්මානය විශේෂ සම්මානයක් බවට පත්වෙනවා කාරණා කිහිපයක් නිසා. ඒ තමයි ලංකාවේ විද්යුත් මාධ්‍යය දැන් වෙන් වෙලා තියෙන්නෙ බොහෝකොටම විනෝදාස්වාදය කියන අංගය මුල් කරගෙන. ඒ කියන්නේ විනෝදාස්වාදය සැපයීම තමයි හුඟක් නාළිකාවල ප්‍රධාන පරමාර්ථය වෙලා තියෙන්නෙ. එක්තරා පැත්තකින් ලංකාවේ ගුවන්විදුලි නාළිකා ගණනාවක් තරගකාරී අයුරින් විකාශන කටයුතු මෙහෙයවන නිසා ලාබ ලැබීම උදෙසා මේ විනෝදාස්වාදය කියන අංගය තමයි විකුණන්න පුළුවන් වෙලා තියෙන්නේ.

මෙවර මට රාජ්‍ය සම්මානය හිමිවූයේ වැඩිහිටි ප්‍රේමය තහනම් ද යන මාතෘකාව යටතේ කරන ලද සිංහරාව සාකච්ඡාව වෙනුවෙන්.

අපේ රටේ විශ්‍රාම ගිය වැඩිහිටි පරම්පරාව කියලා කියන්නේ තමන්ගේ දූ දරුවන්ගේ මුනුපුරන් මිනිබිරියන් බලාගෙන පැත්තකට වෙලා ඉන්න සිද්ධ වුණු බණක් භාවනාවක් කරන පිරිසක් හැටියට තමයි වික්ටෝරියානු සදාචාරය විසින්ම අපට ඒත්තු ගන්නව තියෙන්නෙ. මේ වයසේ අයට නැවත ප්‍රේම කරන්න, සැමියා බිරිඳ මිය ගිහිල්ලා නම් දරුවන්ට යුතුකම් ඉෂ්ට කරලා නම් නැවත විවාහ වෙන්න වගේ දේවල් කරන එක මහා අපරාධයක් හැටියටයි සැලකෙන්නේ.

නමුත් මේක ලංකාවේ බොහෝ දෙනෙකුට නොපෙනෙන සංවේදී ප්‍රශ්නයක්. තමන්ගේ දූ දරුවෝ හරියට හදලා වඩලා ඉවර නම් සමහර වෙලාවට සැමියා බිරිඳ මිය ගිහිල්ලා නම් නැවත ආදරය කරන්න, විවාහ වෙන්න කැමැති පිරිස් ගණනාවක් ලංකාවේ ඉන්නවා. ඒත් ඒ ගොල්ල ඒක හරියට කෙළින් කියන්න කැමති නෑ; මොකද ඔවුන් දන්නවා ඔවුන්ව දෝෂදර්ශනයට ලක් වෙනවා තමන්ගේ දරුවන්ගේ ඉඳලා සියලු දෙනාගෙන්ම කියලා.

ඉතින් මේ සංවේදී ප්‍රශ්නය බොහොම විවෘතව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජේසිංහ සහ මාධ්‍යයවේදී තිලක් සේනාසිංහ සමඟින් කතා කරපු සිංහ රාවය වැඩසටහනට තමයි මට රාජ්‍ය සම්මානය හිමි වුණේ. මේ රාජ්‍ය සම්මානය තුළ මම විශේෂත්වයක් දකිනවා; ඒ තමයි එවැනි සංවාදයකට වත් ඉඩක් නැති ලංකාව වගේ රටක ඒ සංවාදය රාජ්‍ය සම්මානයකින් පිළිගෙන තිබීම.

මම හිතනවා මෙතෙක් ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලක නොහිටිය සම්ප්‍රදායික ගතානුගතික මති මතාන්තරවලින් තොර විවෘත නිදහස් උගත් අදහස් ඇති විනිශ්චය මණ්ඩලයක් තුළින් මාව විනිශ්චයට ලක් වුණා කියලා. අන්න ඒ කාරණය නිසාම මට ලැබුණු සම්මානයට වඩා මගේ ගෞරවය සහ ප්‍රණාමය ඒ සංවාදය පිළිගැනීම වෙනුවෙන් ගෞරවනීය විනිශ්ච මණ්ඩලයට පිරිනමනවා.

ඒ වගේම මම සතුටු වෙනවා ලංකාවේ කවුරුවත් කතා නොකරන නමුත් කතා කළ යුතුම මට්ටමේ පවතින ඉතාම සංවේදී මානුෂික ප්‍රශ්නයක් කතා කරලා ජනතාවගේ පැත්තේ ඉඳලා ඒ සම්මානය හිමිකර ගන්න ලැබීම පිළිබඳව. ඇත්තටම ජනතා සම්මාන කියලා කියන්න පුළුවන් වෙන්නේ ජනතාව වෙනුවෙන් කතා කරලා ගන්න සම්මාන වලට මිසක් එක එක ආයතනවලින් දෙන සම්මානවලට නෙවෙයි. ඒ වගේම මම විශේෂයෙන් තවත් සතුටට පත් වෙන කාරණයක් තමයි මෙවර ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල රාජ්‍ය නාළිකාවලට පමණක් සීමා නොවී අනෙකුත් පෞද්ගලික සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍යයේ සියලුම ගුවන්විදුලි නාළිකාවලට සමබර ලෙස සම්මාන ප්‍රදානය කර තිබීම. ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල ඒ අතින් පරිණතභාවයට ලක්වීමේ කූටප්‍රාප්තිය ලෙස මේ සම්මාන උළෙල දක්වන්න පුළුවන්.

ඒ වගේම ලක්හඬ ගුවන් විදුලිය මේ රාජ්‍ය සම්මාන උළෙලේ විශිෂ්ට ජයක් ලබපු නාළිකාවක් හැටියටත් හඳුන්වන්න පුළුවන් මොකද මා ලැබූ හොඳම සාකච්ඡාමය වැඩසටහන සම්මානය වගේම ඉන්ද්‍රසිරි සුරවීර හොඳම ගවේෂණාත්මක වැඩසටහනට හිමි සම්මානය එසේම ප්‍රශස්තම නිවේදකයාට හිමි ස්වර්ණ සංකථන සම්මානය දිනාගනු ලැබුවා. ලක්හඬ ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් වෙනුරි ගින්නලිය හොඳම ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය දිනාගනු ලැබුවා. ප්‍රවෘත්ති අංශයේම සමීර කාරියවසම් ප්‍රශස්තම ප්‍රවෘත්ති නිවේදක පිරිමි ලෙස කුසලතා සම්මාන ලැබුවා ඉතින් ඒ අතින් බලනකොට නාළිකාවක් හැටියටත් අප ප්‍රමුඛ පෙළේ සම්මාන රැසක් මෙවර ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ දිනාගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් අද ලංකාවේ රේඩියෝ චැනල්වල මේවගේ සංවාද වලට කිසිම ඉඩක් නැහැ කොටින්ම කිව්වොත් වැඩිය කතා කරන්නත් අද ලංකාවේ ගුවන් විදුලි නාළිකා වල ඉඩක් නෑ ගීත හුඟක් ප්‍රචාරය කරන්න කියල තමයි කියන්නේ නමුත් ඒ වගේ සංවාද රාජ්‍ය සම්මාන උළෙලකදී පිළිගැනීම තුළින් අපි තවත් ධෛර්යයට පත්වෙනවා ඒ වගේ සංවාද වෙනුවෙන් පෙනී සිටින්න.

ඒකයි මම දකින මෙවර මට හමුවුණු මේ රාජ්‍ය සම්මාන යේ වැදගත්කම. ඒ වගේම ලක්හඬ හා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වෙනුවෙන් එහි සභාපතිතුමන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලවලට සහ සහෝදර නාළිකා වල මගේ වෘත්තීය මාධ්‍යයවේදී සගයන් සියලුදෙනාට මගේ සමානය ගෞරවය මේ මොහොතේ හිමි කරනවා

මයුරි කියන්නේ ගුවන්විදුලි සහ රූපවාහිනී ක්ෂේත්‍ර දෙකේම අත්දැකීම් බහුල කෙනෙක්, වත්මන් මාධ්‍යය කලාව දකින්නේ කොහොමද?

කිසිම ජනමාධ්‍යයක් මේ සම්මුති ලෝකය තුළ නිදහස් නෑ එහෙම මාධ්‍යයක් මේ ලෝකෙ පවතින්න විදිහක් නෑ. හැම මාධ්‍යයකම පිටුපස කාගේ හෝ දේශපාලන දර්ශනයක් ජීවිත දර්ශනයක් සමාජ ආර්ථික දර්ශනයක් ආගමික දර්ශනයක් තිබෙනවාමයි. මොකද මාධ්‍ය කියන්නේ සුබ සාධන ආයතනයක් නෙවෙයි මාධ්‍යය කියන්නෙ ලෝකෙ මේ වන විට ප්‍රබල ව්‍යාපාරයක්. අපි හැමෝම කාගේ හරි ව්‍යාපාරයක කොටස්කරුවන් පමණයි. හැබැයි ඒක ඇතුළෙත් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කවුරුහරි කෙනෙක් යම් කිසි දෙයක් කරනවා නම් ඔහු හෝ ඇය සැබෑ මාධ්‍යයවේදියෙක්.

 

Comments