මට මිහිපිට ජීවත් වන හැම චරිතයක්ම වටිනවා | සිළුමිණ

මට මිහිපිට ජීවත් වන හැම චරිතයක්ම වටිනවා

මේ දවස්වල රංගනය පිළිබඳ පාඨමාලාවක් හදාරනවා

රාජකීයෙ ඉන්න ගොඩක් අය කලා කටයුතුවලට හරිම දක්ෂයි

 

ඇය මහින්ද ප්‍රසාද් මස්ඉඹුල රචනා කරන ලද මාණික්කාවත නවකතාවෙන් නිර්මාණය කරන ලද මාණික්කාවත ටෙලිනාට්‍යයේ ප්‍රධාන භුමිකාවක් රඟ දක්වන්නීය. ඒ රෝසලිනිගේ චරිතයයි. මස්ඉඹුල දුටු දයාව, අනුකම්පාව මත හැදී වැඩෙන රෝසලින්ගේ චරිතයට පණදෙන මේ කුඩා දියණිය නෙත්මි වියන්සා ය.

 

නෙත්මිගෙ අලුත් තොරතුරු මොනවාද?

මේ දවස්වල මම ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යන ගමන් තමයි නාට්‍යවලට රඟපාන්න යන්නේ. පහුගිය දවස්වල නාට්‍යවල හා චිත්‍රපටයක රඟපෑවා. ඉස්කෝලේ වැඩ ටික කරලා ඉවර වෙලා යාළුවොත් එක්ක එකතු වෙලා සෙල්ලනුත් කරනවා. මම ගෙදර හැමෝමත් එක්ක හරිම සතුටින් ඉන්නවා.

 

චූටි දුවගේ ඉස්කෝලෙ මොකක්ද?

මම ඉගෙන ගන්නේ වයඹ රාජකීය විදුහලේ 6 වැනි වසරේ. මගේ පාසල හරිම ලස්සන පාසලක්. රාජකීයෙ ඉන්න ගොඩක් අය කලා කටයුතුවලට හරිම දක්ෂයි. ඒ නිසා මමත් හරිම කැමැත්තෙන් රාජකීයෙ දුවක් කියන්නේ.

 

පාසලේ සෞන්දර්ය විෂයයට ඉගෙන ගන්නේ මොනවාද ?

මම පාසලේදී ඉගෙන ගන්නේ නැටුම්. ඊට අමතරව මම නාට්‍යවලත් රඟපානවා. සාහිත්‍ය සංගම්වල, බෞද්ධ සංගම්වල කෙටි නාට්‍ය රඟපානවා වගේම සින්දුත් කියනවා.

 

දුව ටෙලිනාට්‍යවල රඟපාන්න එන්නේ කොහොමද ?

ඉන්දික ධර්මතිලක මාමා තමයි මට කතා කරන්නේ. ඒ මාමා ස්වාධීන රූපවාහිනියට කරපු අඳුන්ගිර ටෙලි නාට්‍යයෙන් තමයි මම රඟපාන්න එන්නේ. මේ නාට්‍යයෙන් පස්සේ මට ගොඩක් නාට්‍ය සහ චිත්‍රපටවලටත් කතා කළා. චිත්‍රපට එකක නම් රඟපාලා ඉවරයි. ඒ ප්‍රසාද් සමරතුංග මාමාගේ තාත්තා චිත්‍රපටයේ.

 

දැනට රඟපාලා තියෙන නිර්මාණ මොනවාද ?

මාණික්කාවත, රැහැයියෙක්, කියාදෙන්න ආදරේ, අඳුන් ගිර, සහ යදින්නි කියන ටෙලි නාට්‍යවල හා තාත්තා චිත්‍රපටයේ. තවත් අලුත් ටෙලි නාට්‍යය කිහිපයකට රඟපාන්න කතා කරලත් තියනවා. රඟපාපු සියලුම ටෙලි නාට්‍යය දැන් විකාශනය වෙනවා.

 

මාණික්කාවතේ රොසලින් මොන වගේද ?

රොසලින් හරිම අහිංසක චරිතයක්. එයා හරිම දුප්පත් ගමක හැදී වැඩෙන කෙනෙක්. ගොඩක් අයගේ screen test කරල තමයි මාව තෝරා ගත්තේ. මම රොසලින් ලෙස තෝරා ගත්තාට සුදත් රෝහණ මාමටත්, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මාමලාටත් මම ස්තුතිවන්ත වෙනවා. මම හරිම ආසාවෙන් තමයි රොසලින්ට රඟපාන්නේ.

 

රඟපාපු චරිතවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

ගොඩක් හොඳ ලැබෙනවා. පාසලේ යාළුවන්ගෙන් තමයි වැඩිම ප්‍රතිචාර ලැබෙන්නේ. ඉස්කෝලේ ටීචර්ලත් මම හොඳට රඟපානවා කියලා කියනවා. මට ඉස්කෝලෙ ප්‍රින්සිපල් ගොඩක් සහයෝගය දෙනවා. ඉස්කෝලෙ බාහිර වැඩ කටයුතු කරගන්නට උදව් කරන ඒ සියලුදෙනාටම මම ස්තුති කරනවා.

 

දුවගෙ පවුලේ විස්තර කොහොමද ?

තාත්තයි, අම්මයි, අයියලා දෙන්නයි, මමයි අපේ පවුලේ ඉන්නේ. තාත්තා බිස්නස් කරන්නේ. අම්මා නම්, ගෙදර ඉන්නේ. අයියලා දෙන්නත් ඉස්කෝලේ යනවා. අපි පස් දෙනාම හරිම සතුටින් ජීවත් වෙනවා. අයියලා මගේ නාට්‍ය වැඩ කටයුතුවලටත් උදව් කරනවා. නාට්‍යවලට යනකොට අම්මා තමයි මාව එක්කරගෙන යන්නේ. තාත්තිගෙ යාළුවෙක් වන තාරක මාමා මේකප් ආටිස්ට් කෙනෙක්. එයා ගොඩක් උදව් කරනවා.

 

දුව ලොකු වුණාම මොන වගේ චරිතයක් වෙන්නද කැමති ?

මම වඩාත්ම කැමැති ගුරුවරියක් වෙන්න. මම ගුරුවරියක් වුණාම අනාගතයේ රඟපාන එකත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ සිහිනය තමයි මාමේ, ගුරුවරියක් වීම.

 

කලාවේ ඉන්න මාමලාගෙන් නැන්දලා ගෙන් දුවට ලැබෙන සහයෝගය කොහොමද ?

මට චරිතයක් කරනකොට ගොඩක් දේවල් කියා දෙනවා. මමත්, හරි කැමැත්තෙන් ඒවා අහගන්නවා. අපේ පන්තියේ ටීචර් උගන්වනව වගේ තමයි කියා දෙන්නේ. සෙට් එකේ ඉන්න සියලුම අය මට ආදරෙන් ගොඩක් දේවල් කියා දෙනවා. මම වගේ පොඩි එක්කෙනකුට ඒ සියලු දේවල් කියා දෙනවට මම සියලු දෙනාටම ස්තූති කරනවා.

 

දුව වැඩිපුරම රඟපාන්න කැමැති මොන වගේ චරිත ද?

එහෙම විශේෂ දෙයක් නෑ. ළමා චරිත ඕන එකක් රඟපාන්න මම කැමැතියි. මම පාරේ යන කොටත් චරිත බල බලා ඉගෙන ගන්නවා. මොකද ඒ හැම චරිතයක්ම අපි ඉගෙන ගන්න ඕන. ඒ චරිත ගැන තමයි ඉදිරියට කතා කරන්න වෙන්නේ. ඒ නිසා මට මිහිපිට ජීවත් වන සියලුම චරිතයක්ම වටිනවා. මම රංගනය පිළිබඳ පාඨමාලාවකුත් හදාරනවා.

 

ඔබට ඔබගේ යහළුවන්ට කියන්න තියෙන්නේ මොනවා ද?

නළුවෙක් හෝ නිළියක් වෙන්න හිතනවා නම්, හොඳට ඉගෙන ගෙන එන්න. ඒ කියන්නේ නාට්‍ය කලාව පිළිබඳ හොඳට ඉගෙනගෙන එන්න ඕනෑ කියලයි.

 

ඡායාරූප - චේතිය ලහිරු

Comments