
වියැකෙමින් යන සාම්ප්‍රදායක කලා මාධ්‍ය ගණනාවක් ඔස්සේ දස්කම් පාන තරුණයෙක් ලෙස රත්නපුරේ එරබද්ද ඉසුරු උදයංග හැඳින්විය හැකියි. ඔහු "සිත්සුරු කලා මැදුර" නමින් ආයතනයක් පිහිටුවා මේ වන විට තම කලා නිර්මාණ කටයුතු සිදු කරමින් සිටියි.
මුලින්ම මතක් කරමු ඔබ කරන කලා නිර්මාණ මොනවද කියල.?
පිරිත් මණ්ඩප සෑදීම, සිතුවම් නිර්මාණය, මඟුල් පෝරු, සෙටි බැක් අතුළු මංගල සැරසිලි, පිළිගැනීමේ තොරණ, වෙසක් නිර්මාණ හා තොරණ, බුද්ධ ප්‍රතිමා නිර්මාණය, ගොක් කොළ සහ රිජිෆෝම් නිර්මාණ කටයුතු, කඩදාසි සහ පසාරු කැටයම් ආදිය සිදු කරනවා.
කොයි කාලෙද මේ කටයුතු පටන් ගත්තෙ?
මට අවුරුදු 14 දි තමයි ආරම්භ කළේ. මම ඒ වෙනකොට ඉගෙනුම ලැබුවේ 9වන පන්තියේ. මගේ කලා හැකියාවන් මුලින්ම හඳුනාගත්තේ මගේ පාසලේ චිත්‍ර උගන්වපු දමයන්ති ගුරු මෑණියන්.
කොහොමද ගොක්කොළ නිර්මාණ වැනි සාම්ප්‍රදායික කලාවක් පුහුණු වුණේ?
ඇත්තටම මේ ගොක් කොළ නිර්මාණ මමම හිතල තමයි කළේ. සාමාන්‍ය පෙළ ලියලා ගෙදර ඉන්න කාලේ මට මේ සඳහා ලොකු වෙලාවක් තිබුණා.ගෙදර වත්තෙන් ගොක්කොළ හොයාගෙන තනිවම නිර්මාණය කරන්න උත්සාහ කළා. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය තාත්ත තමයි හොයල දුන්නේ. මගෙ ගොක් කොළ නිර්මාණවලට වටිනාකමක් ලැබුණෙ මුහුණු පොතට එක් කිරීමත් එක්කයි. මම අද වන විට ගොක් කොළ නිර්මාණ 500ට අධික ප්‍රමාණයක් කරල තියෙනවා.
ඉසුරු මේ වෙනකොට කොයි ආකාරයේ සිතුවම් ද ඇඳල තියෙන්නෙ.?
මගෙන් චිත්‍ර බලාපොරොත්තු වෙන ඕනම කෙනෙක්ට ඔවුන්ට අවශ්‍ය වෙන විදිහට චිත්‍ර ඇඳලා දෙන්න මට පුළුවන්. මිනිස් ඡායාරූප 458ක්, විහාරවල බුද්ධ මන්දිර 23ක්, චෛත්‍ය ධාතු ගර්භ 9ක් සිතුවම් කරලා තියෙනවා. ඊට අමතරව නිවාස 31ක මියුරල් හා පොන්ට් නිර්මාණය කළා. පිරිත් මණ්ඩප 56ක්, පිළිගැනීමේ තොරණ 28ක් වගේම රිජිෆෝම් නිර්මාණ 300ක්, අඩි 20ට වඩා උස තොරණ 7ක් ද සම්පූරණයෙන් සිතුවම් කරන්න හැකිවුණා.
ඔබ වෘත්තියෙන් පසුතල නිර්මාණ ශිල්පියෙක්. ඒ සඳහා සම්බන්ධ වුණේ කොහොමද?
මම සේවය කරන්නේ 'ශ්‍රද්ධා' රූපවාහිනියේ පසුතල නිර්මාණ ශිල්පියෙක් විදියට. ශානක අයියා තමයි මෙම ආයතනයේ පසුතල නිර්මාණ අංශයේ ප්‍රධානී උපුල් වීරසිංහ මහතාට මාව හඳුන්වලා දුන්නේ. මේ අයතනයේ දිගටම පසුතල නිර්මාණ ශිල්පියෙක් ලෙස වැඩකරගෙන ඉස්සරහට ලොකු ගමනක් යන්න මං බලාපොරොත්තු වෙනවා.
අනාගත අරමුණු මොනවද?
මගෙ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා දෙමව්පියන් බොහෝ කැපවීම් කළා.ඉතින් ඔවුන් බලාපොරොත්තු වෙන විදියට ඉදිරියටත් මේ කලා නිර්මාණ කරමින් අනාගතය සාර්ථක කරගැනීමයි අරමුණ. මට මේ ගමන එන්න උදව් කරපු මගෙ ගුරුවරුන්ටත්, ශ්‍රද්ධා රූපවාහිනී නාළිකාවේ සියලු දෙනාටත් ස්තූතිවන්ත වෙන්න මෙය අවස්ථාවක් කරගන්නවා.