ඔබේ කේෂ කල්‍යාණිය රැකගන්නේ මෙහෙමයි | සිළුමිණ

ඔබේ කේෂ කල්‍යාණිය රැකගන්නේ මෙහෙමයි

කෙටි භාවනාවක් කිරීම, සරල ව්‍යායාමවල යෙදීම සංගීතයට සවන්දීම සහ හැකිතරම් සතුටින් සිටීම මානසික ආතතිය අවම කර ගන්න පුළුවන්

සමහර රෝග සඳහා භාවිත කරන සැර අධික ඖෂධ නිසාත් සමහර ඖෂධ දිගුකාලීනව භාවිත කිරීම නිසාත් හිසකෙස් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්

කාන්තා පිරිමි අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. කෙස් කලඹ කියන්නේ එහි ලස්සනේ ප්‍රධානම අංගයක්. ඉතින් ලස්සන පිරිපුන් නිරෝගී කෙස් කලඹක් සඳහා අපි කුමක් කරමුද? අපි අද ඒ ගැන ඉතාමත් සරලව කතා කරමු.

 

ඇත්තටම නිරෝගී කෙස් කලඹක් කියන්නේ මොකක්ද? කෙස් කලඹේ දිග කොතරම් වුවත් එය පිරිපුන් බවෙන් යුක්ත නම්, දිදුලන ස්වභාවයෙන් යුක්ත නම්, කෙස් අග පැළී නොමැති නම්, කෙස් ගසේ මුල සිට අග දක්වා එකම පැහැයකින් යුක්ත නම්, කෙස් කලඹේ ඝනකම මුල සිට අග දක්වා එක ලෙසම පවතී නම්, කෙස් ගස් ශක්තිමත් නම්, හිස්හොරි සහ උකුණන් ලේඩින් වැනි පරපෝෂිතයන්ගෙන් තොර නම් සහ ඔබගේ කෙස් කලඹ ගැටගැසෙන ස්වභාවයෙන් තොර නම් අපට සරලව කියන්න පුළුවන් ඔබේ කෙස්කලඹ නිරෝගී කියලා.

 

රූපලාවණ්‍යය ශිල්පීන් විදිහට අපි හිසකෙස් සම්බන්ධ ගැටලු බොහෝමයක් දකිනවා.

හිසකෙස් වැටීම සහ වර්ධනය අඩාළ වීම

හිසකෙස් කැඩීයාම

හිසකෙස් රළුවීම

හිස්හොරි සහ හිසේ පරපෝෂිතයන් ගේ වර්ධනය

හිසකෙස් අග පළුදු වීම

අකලට හිසකෙස් කෙස් පැහීම

කෙස් අතර ගැට ගැහෙන ස්වභාවය

මේ අතර ප්‍රධානයි.

මේ ගැටලු සියල්ලටම සම්බන්ධ වන පොදු හේතු කීපයක් අපිට දකින්න පුළුවන්. ඒ තමයි,

 

01. මානසික ආතතිය

මේ තත්ත්වය හිසකෙස් ආශ්‍රිත බොහෝ ගැටලුවලට සම්බන්ධයි. හිසකෙස් වැටීම අකලට හිසකෙස් පැසීම, සහ ඉස්හොරි තත්ත්වයන්ට මානසික ආතතිය සෘජුවම බලපෑම් ඇති කරනවා. ඉතින් ලස්සනට ඉන්න නම් මානසික ආතතිය අඩු කරන ක්‍රියාකාරකම් දිනපතා කරන්න අපි උත්සාහ ගන්න ඕනෑ. කෙටි භාවනාවක් කිරීම, සරල ව්‍යායාමවල යෙදීම සංගීතයට සවන්දීම සහ හැකිතරම් සතුටින් සිටීම මානසික ආතතිය අවම කර ගන්න පුළුවන් සරල ක්‍රම කීපයක්.

 

02. නිසි පෝෂණයක් නොමැති වීම

හිසකෙස්වලට ඔබේ ශරීරයේ අභ්‍යන්තර පෝෂණය මෙන්ම හිසකෙස්වලට ලැබෙන බාහිර පෝෂණය ද ඉතාමත් වැදගත්. ජලය අඩුවෙන් පානය කිරීම, නිසි පෝෂණයෙන් යුතු සම බල සමබල ආහාර වේලක් නොගැනීම, කෙටි ආහාර වර්ගවලට පුරුදු වීම වගේ කාරණා නිසා ඔබේ අභ්‍යන්තර පෝෂණය අඩු වීමෙන් හිසකෙස්වල ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒවගේම හිසකෙස්වලට බාහිරින් පෝෂණය ලබාදීම ද අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි හැමෝම කතා කරන ෂැම්පූ, කන්ඩිෂනර් විවිධ වර්ගයේ තෙල් වර්ග සහ ආලේපන සියල්ලම අයිති වෙන්නේ මේ බාහිර පෝෂණයට. ඉතින් මේ සියලුම දේ ගුණාත්මක බවින් යුතු ඔබට ගැළපෙන නිෂ්පාදනයන් භාවිත කිරීම ඉතාමත් වැදගත්.

ඔබ ඉස්සොරි රෝගයෙන් පෙළෙන කෙනෙක් නම් ඉතාමත් ඉක්මනින් ඉස්හොරි සඳහා ප්‍රතිකර්මයක් කිරීම ඉතාමත් වැදගත්. ඉස්හොරි තත්ත්ව කෙස් කලඹේ සෞඛ්‍යයට සෘජු බලපෑම් ඇති කරනවා. මේ පිළිබඳ අපි කලින් ලිපියක සවිස්තරව කතා කරලා තිබෙනවා.

 

03. නින්ද අඩු වීම

නින්ද අඩු වීමත් හිසකෙස්වල ප්‍රශ්න ඇති කරන්න විශාල බලපෑමක් ඇති කරනවා. ලස්සනට ඉන්න කැමති කෙනෙක් හොඳ නින්දක් ලබාගන්න එක ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් රාත්‍රියට පැය හයත් අටත් අතර නින්දක් ලබා ගන්න එක ඉතාමත් වැදගත්.

 

04. නිසි දැනුමක් නොමැතිව කෘතිම ආලේපන භාවිතය

පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පීන් විසින් හිසකෙස් සඳහා භාවිත කරන සමහර කෘත්‍රිම ආලේපන නිසි අවබෝධයක් නොමැතිව භාවිත කිරීම නිසා කෙස් කලඹේ විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එමනිසා කෘතිම වර්ණ, රීබොන්ඩින් සහ perming වැනි හිසකෙස් වෙනස් කිරීම සඳහා භාවිත කරන ආලේපන නිසි වෘත්තීය දැනුමක් නොමැතිව භාවිත කිරීම බොහෝ ගැටලු ඇතිවීමට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රමිතියෙන් තොර hair gel, hair wax සහ හිස මත කරන විවිධ ආලේපන ඔබේ කෙස් කලඹට විශාල ලෙස හානි කරන්න පුළුවන්.

 

05. දිගුකාලීන රෝග සහ සැර අධික ඖෂධ භාවිතය

සමහර රෝග සඳහා භාවිත කරන සැර අධික ඖෂධ නිසාත් සමහර ඖෂධ දිගුකාලීනව භාවිත කිරීම නිසාත් හිසකෙස් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේකදී ඔබෙ වෛද්‍යවරයාගේ උපදෙස් ගන්න එක ඉතාමත් වැදගත්.

 

06. හිස් පලඳනා සහ උපකරණ වැරදි ලෙස භාවිත කිරීම

අපි කවුරුත් නොසිතන දෙයක් වුණත් වැරදි ලෙස හිස් වැසුම් භාවිතය, දිගුකාලීනව තද hair band භාවිතය, හිසකෙස් අඹරමින් තදට ගැට ගැසිම සහ හිස මත භාවිත කරන විවිධ උපාංග දිගුකාලීනව වැරදි ලෙස පැලඳීම නිසාත් හිසකෙස්වල ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා.

හිසකෙස්වලට බලපෑම් ඇති කරන මේ දේවල් මඟහැර ගෙන ඔබේ කාර්යබහුල ජීවිතයෙන් හිසකෙස් සත්කාරයටත් යම් කාලයක් ලබා දුන්නොත් ඔබටත් ලස්සන පිරිපුන් දිදුලන කෙස් කලඹක් ලබාගන්න ලබාගන්න හැකි වේවි.

Comments