සුපිරි ක්‍රීඩා ලෝකයක අහම්බකාරක ගමනක යෙදෙන ලාංකේය මලල ක්‍රීඩාවට වසර 100 | Page 3 | සිළුමිණ

සුපිරි ක්‍රීඩා ලෝකයක අහම්බකාරක ගමනක යෙදෙන ලාංකේය මලල ක්‍රීඩාවට වසර 100

ඩන්කන් වයිට් - සුසන්තිකා ගෙන් ඔබ්බට අපි යා යුත්තේ කෙසේ ද?

ශත සංවත්සර මතක ලෙහෙසියෙන් අමතක කළ නොහැකි ය. ලාංකේය මලල ක්‍රීඩා සංගමය ද පියවරෙන් පියවර එකී කඩ ඉමට පා ඔසවා තිබේ. එකී පියවර ලාංකේය ක්‍රීඩාව පැත්තෙන් ගත් කල අප සමස්තයක් ලෙස ආඩම්බර වෙනවා ද? සාඩම්බර වෙනවා ද යන්න වෙන ම කතාවකි. කෙසේ නමුත් හාපුරා කියා මෙකී සංධිස්ථානයට සපැමිණි ප්‍රථම ක්‍රීඩා සංගමය වනුයේ (1908) රග්බි ක්‍රීඩා සම්මේලනයයි. දැන් එම ගෞරවනීය ශත සංවත්සර සන්ධිස්ථානයට පිවිසීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ද සමත්වී තිබේ.

ලාංකේය මලල ක්‍රීඩා සංගමයේ ශත සංවත්සර මතක රන්, රිදී, ලෝකඩ පදක්කම්වලින් හැඩ වැඩ වී ඇත. ක්‍රීඩාවේ මහා මංගල්‍ය වන ඔලිම්පික්, ලෝක ශූරතා, පොදු රාජ්‍ය මණ්ඩලීය, ආසියානු, දකුණු ආසියාතික ක්‍රීඩා තරගාවලි නියෝජනය කරමින් සිය ගණනක් වු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ලාංකේය නාමය ලෝකය ඉදිරියට ගෙන ගිය සාඩම්බර ඉතිහාසයක් අපට ඇත. ඒ එකී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ දහදිය, කඳුළ, මහන්සිය, කැපකිරීම්, දෙස් විදෙස් ක්‍රීඩාංගණවල දිය කර හරිමින් ය. ඒ ආකාරයෙන් පෝෂණය වූ ලාංකේය මලල ක්‍රීඩා කෙත වසරින් වසර සරුසාරව පෝෂණය වී මේ ළඟා වුයේ ශත සංවත්සර වසරට ය.

1948 ඩන්කන් වයිට් සහ 2000 සුසන්තිකා ජයසිංහ ගේ ඔලිම්පික් රිදී පදක්කම් දෙක මෙන්ම ලෝක මලල ක්‍රීඩා ශූරතාව යේ සුසන්තිකා ජයසිංහ ගේ ‘රිදී‘ සහ ‘ලෝකඩ‘ පදක්කම ද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී 1950 ඩන්කන් වයිට් ‘රන්‘, 1998 ශ්‍රීයානි කුලවංශ ‘රිදී‘ සහ සුගත් තිලකරත්ත ‘ලෝකඩ‘ වශයෙන් දිනූ පදක්කම් රැසකි. ආසියානු ක්‍රීඩා උළෙල රන් 10, රිදී 06, ලෝකඩ 11 ක් වශයෙන් පදක්කම් සංඛ්‍යාව 27 කි. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ලාංකේය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමස්තයක් ලෙස සැලකිය යුතු පදක්කම් සංඛ්‍යාවකට හිමිකම් කියති.

ලාංකේය මලල ක්‍රීඩා මතක සැමරුම් අතර ඔලිම්පික් පිටියේ දිදුලන අවස්ථා දෙකකි. ඉන් පළමුවැන්න හතළිහේ දශකයේ අවසන් භාගයයි. ඒ ලාංකේය මලල ක්‍රීඩාව සහ බොක්සිං ක්‍රීඩාව ඔලිම්පික් නියෝජනය කළ ප්‍රථම වතාව ද වීමයි. සිලෝන් නාමය හාපුරා කියා ඔලිම්පික් බිමේ රැව් දෙන්නේ 1948 දී පැවති ඔලිම්පික් උළෙලේ දී ය. එංගලන්ත ලන්ඩන් හී පැවති එකී ඔලිම්පික් උළෙලේ දී යාර 440 කඩුලූ පැන දිවීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගත් ඩන්කන් වයිට් සිලෝන් නාමය ඉන්දියන් සයුරේ මුතු ඇටය ලොව ඉදිරියේ බැබළුවේ ය.

එතැන් සිට තවත් දසක පහකට අධික කාලයක් ඔලිම්පික් පිටියේ ලාංකේය නාමය නිහඬ විණි. එකී දසක පහක කාලය තුළ ම ඔලිම්පික් භූමියේ දී ශ්‍රී ලංකාවට සැමරීමට තිබුණේ ඩන්කන් වයිට් නාමය පමණි. එහෙත් එකී නිහඬතාව සුසන්තිකා ජයසිංහ 2000 ඔස්ටේලියාවේ සිඩ්නි නුවරදී එය බිඳ දමණු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත. එහෙත් සිඩ්නි පදක්කම අහඹුවක් නොවන බවට සුසන්තිකා අඩිතාල ම දමා ගත්තේ 1997 ඇතැන්ස් හි පැවැති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමත් සමඟම ය. එතැන් පටන් ක්‍රමානුකූලව ඉදිරියට පැමිණි සුසන්තිකා සිඩ්නි ඔලිම්පික් හි දී ලෝකඩ (තත්. 22.28) පදක්කමකින් මව්බිම සැරස වූ අතර අද එය ඇගේ නම ඉදිරියේ සටහන්ව ඇත්තේ ලෝකඩ පදක්කමකට වඩා වටිනා කමකින් යුත් රිදී පදක්කමක් ලෙසය. ඒ මීටර් 200 ඉසව්වේ රන් පදක්කම්ලාභී අමෙරිකාවේ මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක චෝදනාවට ලක්වීම නිසා ය. මිල කළ නොහැකි එකී ජයග්‍රහණයට දැනට දසක දෙකකට අධික කාලයක් ගෙවුණ ද, තවමත් අපි සුසන්තිකා කෙනෙකු සොයමින් ඉබා ගාතේ දිව යමින් සිටිමු.

එවන් පසුබිමක සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න, දමයන්ති දර්ශා, ශ්‍රීයානි කුලවංශ, ප්‍රසන්න අමරසේකර, රොහාන් ප්‍රදීප්, මෙන් ම අද යුපුන් අබේකෝන්, උෂාන් තිවංක ආදීන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට හිමිවීම ආශ්චර්යමත් සිදුවීම් මාලාවක් ලෙසින්ද සැලකුව හොත් එය අසාධාරණ නැත. ඒ ඔවුන් තරග කළේ සහ වර්තමානයේ තරග කරන්නේ ලෝකයේ අසීමිත පහසුකම්වලින් හෙබි තරගකරුවන් සමඟ ය. එවන් වටපිටාවක් තුළ අප වැනි රටකින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඔලිම්පික් වරම් හිමි කර ගැනීමත් සිහිනයක් බව නොපවසා බැරිය.

බන්ධුල ජයමාන්න

Comments