වේගයත් සමඟ ප්‍රේම ලෝකය කැළඹූ අක්‍රම් | සිළුමිණ

වේගයත් සමඟ ප්‍රේම ලෝකය කැළඹූ අක්‍රම්

ක්‍රිකට් ලෝකය තුළ නම් තැබූ ප්‍රේමවන්ත ඉලන්දාරින් රැසකි. ෂේන් වෝන් ගේ මරණයත් සමඟ එවැනි ප්‍රේමණීය ක්‍රිකට් පෞරුෂ ගැන ලියන්නට අපට කීවේ ‘ක්‍රීඩා‘ පාඨකයින්ම ය. එහෙයින් අසල්වැසි ඉන්දියාවේ සිටින අමුතු ඉලන්දාරි ප්‍රේමවන්තයකු ගැන ගිය සතියේ අප විශේෂාංගයක් පළ කළෙමු. ඉන්දියාවේ පමණක් නොව ඊට ඔබ්බෙන් පිහිටි පාකිස්තානය තුළද අභිරමණීය ප්‍රේමවන්තයන් රැසක් හමුවෙයි. මේ ඒ අතරින් එක් අයෙකු ගැනය.‘

පාකිස්තානයේ ජනප්‍රියම පෙම්වතා වත්මන් අගමැති ඉම්රාන් ඛාන් ය. ඔහුගේ අඩි පාරේ යමින් තම රිද්මයෙන් තරුණියන් දැලේ දමාගත් සුපිරි ක්‍රිකට් තරුවකි වසීම් අක්‍රම්. පාකිස්තාන හිටපු ක්‍රිකට් නායකයකු ද වන ඔහු අප්‍රමාණ පෙම්වතෙකි. ඔහු හා හාද වූ ප්‍රේමවන්තියන්ගේ ලැයිස්තුවෙහි නිළියන්, නිරූපණ ශිල්පිනියන්, බොලිවුඩ් නිළියන් ඇතුළු සුරූපිනියෝ රාශියක්ම වෙති. මේ ලෝකයෙන් රහසක් නොවූ වසීම්ගේ ප්‍රේම පුරාණයේ කතා ප්‍රවෘත්ති කිහිපයක් පිළිබඳ මෙසේ සිහිපත් කළ හැකිය.

වසීම් පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දොරගුළු විවර වන්නේ 1984 වසරේ දී ය. ඔහුගේ කඩවසම් භාවය නිසාම යෞවන වියේ සිටම ඔහු කාන්තාවන්ගේ නිසඟ ආකර්ෂණයට ලක් වූවෙකි. යොවුන් වියේ පෙම් සබඳතා කීපයකම පැටලුණු ඔහු යුග දිවියට එළඹෙන්නේ 1995 වසරේ දී ය. ඒ පාකිස්තානයේ මනෝ විද්‍යාඥවරියක් වන හුමා මුෆ්ටි සමඟ ය. එය ද ප්‍රේම සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස සිදු වූ විවාහයක් විය.

හුමා 1991 – 1994 අතර කාලය තුළ පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මනෝවිද්‍යා උපදේශකවරිය වශයෙන් කටයුතු කළා ය. ඒ වන විට වසීම් පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ය. වසීම් හා හුමා අතර ආදර සම්බන්ධතාවක් ගොඩනැගෙන්නට එම හමුව බලපෑවේ ය. 1996 සහ 2000 වසරවල දී වසීම්ගේ කැදැල්ලට පුතුන් දෙදෙනෙක් එක් වුණු අතර 2009 වසරේ හුමා සුව කළ නොහැකි රෝගී තත්ත්වයක් හේතුවෙන් හදිසියේ මියයන තුරුම වසීම්ගේ ආදරණීය බිරිය ලෙස ඈ ඔහු සමඟම විසුවා ය.

ඇගේ මරණයෙන් අනතුරුව වසීම් බොලිවුඩ් නිළියක් මෙන්ම විශ්ව රූ රැජිනක් ලෙස අභිෂේක ලත් සුෂ්මිතා ෂෙන් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගෙන ඇති බවට කටකතා පැතිර ගියේ ය. නමුත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් සුෂ්මිතා සහ තමා අතර ඇත්තේ මිත්‍ර සම්බන්ධයක් පමණක් බවත් වසීම් ප්‍රකාශ කර තිබිණි.

හුමා මුෆ්ටිගේ වියෝවට පෙර සිටම වසීම්, සුෂ්මිතා සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගෙන තිබූ බව ද මාධ්‍ය පැතිරවූ කටකතාවලින් කියැවිණි. 2008 වසරේ පැවති රූපවාහිනි රියැලිටි වැඩසටහනක් අතරතුර දී සුෂ්මිතා සමඟ වසීම් මෙලෙස හාදකමක් ඇති කරගත් බව ඔවුහු හෙළිදරව් කළ හ.

සුෂ්මිතා සහ වසීම් පිළිබඳව කටකතා පැතිරෙද්දි පාකිස්තාන සුරූපි නිළියක් වන හුමයිමා මලික් සමඟ ද වසීම් පෙම් පළහිල්ලව්වක් පවතින බවට තවත් කට කතාවකට තටු ලැබ ආයේ ය. සුෂ්මිතා සමඟ මෙන්ම හුමයිමා සමඟද වසීම් සම්මුඛව ගත කළ අවස්ථා කිහිපයක්ම පැපරාසි කැමරා කාචයන් හි සටහන් ව තිබුණි. නමුත් එම සම්බන්ධතා සනාථ කරන්නට එම ඡායාරූප හැරුණු කොට වෙනත් සාක්ෂියක් අනාවරණය නොවිණි.

හුමාගේ මරණයෙන් පසුව හේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මහජන සම්බන්ධතා උපදේශිකාවක් ලෙස කටයුතු කරන සුරූපි තරුණියක් වන ශානීරා තොම්ප්සන් සමඟ පෙම් පළහිල්ලව්වක පැටලී ඇති බවට ද පුවත් පැතිරී ගියේ ය. වසීම් ඔස්ට්‍රේලියාවට යනඑන සෑම අවස්ථාවක දී ම ශානිරා මුණගැසී ඇය සමඟ විවිධ ස්ථානවල කාලය ගත කරන ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ විය. 2013 වසරේ දී ඒ පිළිබඳ නැගුණු කටකතා සනාථ වූයේ වසීම් ශානිරා හට මංගල යෝජනාවක් ඉදිරිපත් කිරී‍මෙන් අනතුරුවය.

හෝටල් විවේකාගාරයක දී වසීම්, ශානිරා ඉදිරියේ දණින් වැටී ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළ බව එකල මාධ්‍ය වාර්තා කළේ ය. ශානිරා ද වසීම්ගේ යෝජනාවට අකැමැත්තක් නොදැක් වූ අතර 2013 වසරේ ජුලි මාසයේ දී ඔවුහු විවාහ ගිවිස ගත් හ. වසීම් හා සබඳතාවක් පවත්වන්නේ යැයි ගෙතුණු කටකතාවන් හි ප්‍රධාන චරිතයක් වූ පාකිස්තාන නිරූපණ ශිල්පිනි සහ රංගන ශිල්පිනී හුමයිමා මලික්, ශානිරා සහ වසීම්ගේ විවාහ ගිවිස ගැනීමට සුබ පතන්නට ද කටයුතු කර තිබුණා ය.

2014 වසරේ දී වසීම් හා ශානිරා කැදැල්ලට දියණියක් එක් වූ අතර අද වන විට වසීම්ගේ පළමු විවාහයේ පුතුන් දෙදෙනාත් සමඟ ඇයද වසීම් කැදැල්ලෙහි ආදරණීයව කල් ගත කරති.

පසිඳු මිහිරාන් රැටියල

Comments