කැනඩා ඉඩෝරය නිමයි
කැනඩාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සුදුසුකම් ලබා තිබුණේ එක් වතාවක දී පමණකි. ඒ 1986 වසරේ දී ය. ඊට පසුවත් ඔවුනට එම අවස්ථාව හිමි වූයේ නැත. සැමදාම ඉඩෝරයන් පැවතෙන්නේ නැත. කැනඩාවටත් එසේමයි. ඔවුන් ජැමෙයිකාව හමුවේ පැවැති තරගයෙන් ජය ගනිමින් ලෝක කුසලාන ඉඩෝරය නිමා කර ගත්හ. ඒ අනුව කැනේඩියානුවන් වසර අග දී කටාර් රාජ්‍යයට යනු ඇත.
ලිබ්රොන් වාර්තාව අසලටම
වාර්ෂිකව රටක පැවැත්වෙන ප්‍රධානතම පැසි පන්දු තරගාවලිය හැඳින්වෙන්නේ එන්.බී.ඒ. ලෙසිනි. එහි අරුත ජාතික පැසිපන්දු සංගමයයි. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ අමෙරිකාවේ දී ය. ඊට ලොව සුපිරිතම පැසිපන්දු ක්‍රීඩකයෝ සහභාගි වෙති.
මෙම තරගාවලි ඉතිහාසය තුළ දී වැඩිම ලකුණු ගණනක් රැස් කළ ක්‍රීඩකයාගේ වාර්තාව තිබෙන්නේ කරිම් අබ්දුල් ජබාර් සතුව යි. ඒ ලකුණු 38,387 කි. 1969-89 අතර ක්‍රීඩා කළ ජබාර් මේ දස්කම දැක්වූයේ තරග 1560 ක් ක්‍රීඩා කරමින් ය.
දැන් මේ වාර්තාවට අභියෝග කරන ක්‍රීඩකයෙක් සිටියි. ඔහු ලිබ්රොන් ජේම්ස්ය. 37 හැවිරිදි ඔහු මේ වන විට තරග 1365 දී ලකුණු 37,024 ක් රැස් කර ගෙන තිබේ. අඩි 6 අඟල් 09 ක් හෙතෙම උසැතිය. 2003 වසරේ සිට ක්‍රීඩා කරයි.
ක්ලිව්ලන්ඩ් කැවලියර්ස්, මයාමි හීට් සහ වත්මන දී ලොස් ඇන්ජලීස් ලේකර්ස් යන කණ්ඩායම් සඳහා ඔහු ක්‍රීඩා කරයි. ලිබ්රොන් 2008 සහ 2012 වසර හි දී ඔලිම්පික් ශූරයෙක් ද වේ. ජබාර් මෙන්ම ලිබ්රොන් ද ඇමෙරිකානුවෙකි.
අප්‍රිකාවට නව බලාපොරොත්තුවක්
අන්තර්ජාතික පාපැදි සංගමය යනු ලෝක පාපැදි ක්‍රීඩාවේ මවු සංගමයයි. එම සංගමය විසින් වාර්ෂිකව ජාත්‍යන්තර මට්ටමේ තරග පවත්වනු ලබයි. ඒ අනුව බෙල්ජියමේ දී ජෙන්ට් සහ වේවල්ගෙම් එක්දින තරගය නොබෝදා පැවැත්විණි. මෙම තරගය බෙල්ජියමේ නගර ද්විත්වයක් අතර පැවැත්වේ.
මෙම තරගය පැවැත්වෙන්නේ 1934 වසරේ සිටය. මෙවර මේ තරගය ජය ගැනීමට සමත් වූයේ එරිත්‍රියාවේ බිනියම් ජිර්මේ විසිනි. මෙය වාර්තාගත ජයකි. එනම් මෙවැනි තරගයක් ජයගත් ප්‍රථම අප්‍රිකානු ක්‍රීඩකයා බවට ඔහු පත් වූ බැවිනි.
ගිය වසරේ දී පැවැති මාර්ග පාපැදි ලෝක ශූරතාවලියේ දී අවුරුදු 23 න් පහළ තරගයේ රිදී පදක්කම හිමි කර ගැනීමට සමත් වූයේත් බිනියම් ය. එවැනි දස්කමක් දැක් වූ ප්‍රථම කළු ජාතික අප්‍රිකානුවා බවටත් එහි දී ඔහු පත් විය.
රග්බි තරුව උණ්ඩයට බිලි
2007 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී විශිෂ්ට දස්කම් දක්වමින් තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වූයේ ආර්ජන්ටිනාවයි. එම කණ්ඩායමට ක්‍රීඩා කළ සුපිරි ක්‍රීඩකයෙක් වූයේ ෆෙඩරිකෝ මාර්ටින් අරම්බූරු ය. හෙතෙම පසුව ජීවත් වූයේ ප්‍රංශයේ දී ය. පසුගිය දා අකාලයේ ම සිය දිවිසැරිය නිමා කර ගැනීමට ඔහුට සිදු වුයේ ය. ඒ පැරිස් නුවර අවන්හලක දී සිදු වූ වෙඩි තැබීමක් නිසාවෙනි. එවිට ඔහුගේ වයස අවුරුදු 42 ක් විය.
ඉතාලියට බැරි වුණාට පෘතුගාලයට හැකි වෙයි
පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ විශාලතම පෙරළියක් ලෙසට උතුරු මැසිඩෝනියාව හමුවේ ඉතාලිය ලැබූ පරාජය දැක්විය හැකිය. එම තරගය පැවැත්වෙන විට ලෝක ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඉතාලියට හිමි වී තිබෙන්නේ 06 වැනි ස්ථානයයි. උතුරු මැසිඩෝනියාව හට 67 වැනි ස්ථානය හිමිය. කෙසේ හෝ මෙවර ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවලදී උතුරු මැසිඩෝනියාව දැක් වූ දස්කම් සුරංගනා කථාවක් ලෙසටත් සැ,ලකිය හැකිය. කෙසේ වෙතත් එම කථාවට තිත තැබීම ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ප්රමුඛ පෘතුගාලය වෙතින් සිදු විය. ඒ සුදුසුකම් ලැබීමේ අවසන් තරගයක දී ගෝල් 2 - 0 ක් ලෙස පෘතුගාලය විසින් උතුරු මැසිඩෝනියාව පරාජය කළ බැවිනි.
මිතුරන්ගේ තරගය
සෙනගාලයේ සාඩියෝ මානේ සහ ඊජිප්තුවේ මොහොමඩ් සලාහ් හොඳ මිතුරෝ ය. එමෙන්ම ඔවුන් මේ වන විට පාපන්දු ක්‍රීඩාවේ සිටින සුපිරිතම ඉදිරි පෙළ ක්‍රීඩකයෝ වෙති. ඔවුන් වෘත්තීමය ලෙස ක්‍රීඩා කරන්නේ එංගලන්තයේ සුප්‍රකට ලිවර්පූල් කණ්ඩායමට යි. මේ දෙමිතුරන්ගෙන් මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට වරම් තිබුණේ එක් අයකුට පමණකි. ඒ දෙරට අතර තරගයෙන් ජය ගනු ලබන කණ්ඩායාම පමණක් ලෝක කුසලානයට සුදුසුකම් ලබන බැවිනි. අවසන දී ඉතා තියුණු තරගයකින් පසුව දඬුවම් පහර අනුව මේ තරගය ජය ගත්තේ සෙනගාලයයි.
අරාබි ලොවේ සුපිරි ක්‍රීඩිකාව
කාන්තා ටෙනිස් සංගමය විසින් නිකුත් කළ නවතම කේවල (තනි) ශ්‍රේණිගත කිරීමට අනුව අංක 10 හිමි වී තිබෙන්නේ ටියුනීසියාවේ ඕනස් ජාබියූර් හට යි. පිරිමි හෝ කාන්තා ටෙනිස් ක්‍රීඩා ඉතිහාසයේ දී ඉහළම ශ්‍රේණිගත කිරීමකට ලක් වූ අරාබි ජාතිකයා වන්නේ ද ඕනස් ය. 27 හැවිරිදි ඇය ගිය වසරේ නොවැම්බර් මස දී ලොව අංක 07 ක්‍රීඩිකාව වූවා ය.