
උපන්දිනේ දවසේ මෙහෙම තෑග්ගක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වුණේ නැහැ
අපි හැමෝම කලාකරුවෝ හැටියට වෘත්තීය දක්ෂතාව ඇගයීමට ලක්කිරීම ගැන ගොඩක් සතුටුයි
ඇය රඟන්නිය. ඇය වර්ණවත් ලෙසින් සිය හැකියාවන් පුංචි තිරයෙන් මෙන්ම සිනමා තිරයෙන් රඟමින් අපට පෙන්නුම් කරන්නීය. ඇයගේ රංගනයන් නිසා මෙරට කලා ලොවේ ජනප්‍රිය කිරුළ පස්වතාවක් දැරීය. මෙවර ඇය ඉන් තවත් පියවරක් ඉදිරියට තබමින් හොඳම නිළියට හිමි සම්මානය හිස දැරීය. සම්මානිත වීම ගැන වගේම නවතම විස්තර ගැන උදාරි සිළුමිණ රසඳුන හා තම තොරතුරු බෙදාගත්තේ මේ අයුරෙනි.
රයිගම් සම්මාන උලෙළේ 2020 වසරේ හොඳම නිළිය ඔබයි
ඇත්තටම ලොකු සතුටක් දැනුණා ඒ මොහොතේ. මට පළමුවරට තමයි හොඳම නිළියට නිර්දේශිත නාම ලබන්නේ. ඒ පළමුවරට නිර්දේශිත නාම ලබපු අවස්ථාවේදීම සම්මානයට හිමිකම් කියන්න ලැබීම වාසනාවක්, පෙර පිනක් සහ භාග්‍යයක් කියලා හිතුණා. මට ඒ සම්මානය ලැබෙන්නේ ස්වාධීන රූපවාහිනී විකාශය වූ සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කරනු ලැබූ සංසාරණ්‍යය අසබඩ නාට්‍යයේ ළමාතැනීගේ චරිතයට. ඉතින් ඒ චරිතයට මාව විශ්වාස කරලා තෝරා ගත්තට සංජය නිර්මාල් මහතාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම හොඳම නිළිය සම්මානය ලබා ගන්නේ අවුරුදු 13ක් මේ කලා ක්ෂේත්‍රය තුළ හිඳිමින්. ඉතින් මේ වසර 13 පුරාවටම මාව තේරුම් අරන් මට ශක්තියක් වුණු මගේ දයාබර සැමියාටත්, මාව කලාවට යොමු කරවූ මගේ ආදරණීය දෙමාපියන්ටත්, කලාවට මාව හඳුන්වා දුන්නු උදයකාන්ත වර්ණසූරිය මහතාටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.
මෙවර උපන්දින තෑග්ග නේද?
ඇත්තටම ඔව්. මෙහෙම තෑග්ගක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වුණේ නැහැ. ඒ ගැන තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.
මීට පෙර ජනප්‍රියම සම්මානයට පස් වතාවක්ම හිම්කම් කියපු කෙනෙක්, හොඳම නිළිය වෙන්න වසර 13ක් ගතවීම ගැන මොකද හිතෙන්නේ
මම හිතන්නේ වෘත්තීය පරිණතභාවය ලබනවා කියන්නේ මේක වෙන්න ඇති. මම ම පිළිගන්නවා මම මුලදී රඟපෑ චරිතවලට වඩා මගේ දැන් රංගනය දකිද්දී වෙනසක් අත්දකිනවා. ඒක මට ජ්‍යේෂ්ඨ කලාකරුවන් පවා කියලා තියෙනවා. අපි හැමෝම කලාකරුවෝ හැටියට වෘත්තීය දක්ෂතාව ඇගයීමට ලක්කිරීම ගැන ගොඩක් සතුටුයි. රයිගම් සම්මාන උළෙල පවත්වනවාට රයිගම් ආයතනයට ස්තුතිවන්ත වෙනවා. මේ තුළින් කලාකරුවන් දිරිගැන්වීමක් කරන්නේ.
සංසාරණ්‍යය අසබඩ නාට්‍යයේ ළමාතැනීගේ චරිතය කරන කාලේ හිතුණා ද, මේ චරිතය ජීවිතේ කඩඉමක් වෙයි කියලා
සම්මානලාභී කියන එක නෙවෙයි. මේ චරිතය හොඳ හැටි මම කරොත් නිර්දේශිත නාම ලැබීමට හැකිවෙයි කියලා හිතුණා. මොකද සයිමන් නවගත්තේගමයන් ඒ තරම් ගැඹුරු චරිතයක් එතන ලියලා තිබ්බේ. සම්මානයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් මම හිතනවා මම ඒ චරිතයට සාධාරණයක් කරන්න ඇති කියලා. නැත්නම් මෙහෙම ඇගයීමකට මම පත්වෙන්නේ නැහැ.
චරිත තෝරා ගනිද්දී මොන වගේ නිරණායකයන්ද තියෙන්නේ
මම ලැබෙන හැම චරිතයක්ම බාරගන්නේ නැහැ. මට සාධාරණයක් කරන්න පුළුවන් යැයි හැඟෙන චරිත පමණයි මම භාරගන්නේ.
ඉදිරියේදී දකින්න ලැබෙන ටෙලි නිර්මාණ තියෙනවද?
නැහැ. මොකද මම මෙගා නාට්‍යය එක්ක වැඩ කරන්න අදහසක් නැහැ. තාවකාලිකව පුංචි තිරයෙන් ඈත් වුණේ පසුගිය කාලේ සිනමාවට වැඩි කාලයක් වෙන් කරන්න වුණා ලැබුණු ආරාධනා එක්ක. ටෙලි ද සිනමා ද කියන බෙදීමක මම නැහැ. කෙටි එපිසොර්ඩ් ප්‍රමාණයක් තියෙන නිර්මාණවලින් ඉදිරියටත් දකින්න ලැබෙයි. එහෙම නැතුව ටෙලි නාට්‍යය වලින් සමු අරගෙන නම් නැහැ.
නැවත සිංගප්පුරුවට යනවද? ආයේ කවදද එන්නේ
ඔව් අප්‍රේල් 10වෙනිදා වගේ මම නැවත යනවා. සති දෙකකට වගේ මම ආවේ. කොහේ හිටියත් ලංකාවේ තරම් සැනසීම ලැබෙන්නේ නැහැ. විවාහයත් එක්ක අවුරුදු 13ක් මම එහෙ පදිංචිය. දුවයි, සැමියයි එහෙ ඉන්නේ. පහුගිය අවුරුදු එකහමාරක කාලයක් එක දිගටම රූපගත කිරීම් කළා. ලංකාවේ ඉඳලා. දැන් ඉතින් ඒ පවුලේ අය වෙනුවෙන් කාලය වෙන් කරලා තියෙන්නේ. නැවත මම ජුනි මාසයේ දී දුවගේ පාසල් නිවාඩු කාලයට ලංකාවට එන්න අදහසක් තියෙනවා. ඒ වගේම මම රඟපෑ සිනමා නිර්මාණ තිරගත වෙන සැම අවස්ථාවකදීම මම මගේ ආදරණිය ප්‍රේක්ෂකයන් හමුවට එනවා.
සිනමාවේ ඔබේ එන්න තියෙන නිර්මාණ
ජැක්සන් ඇන්තනි මහතාගේ එකගෙයි සොකරි සහ දේවි සම්බුලා, ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ මිදුණු විශ්වය, සුනිල් ආරියරත්න මහතාගේ ක්ෂිර සාගරය කැලඹිණ, සරත් වීරසේකර මහතාගේ ශ්‍රී සිද්ධා සහ සංජිව පුෂ්පකුමාර මහතාගේ ආසු, සිවදාසන් මහතගේ දෙවන යුද්ධය.
ආදරණිය රසිකත්වයට කියන්න තියෙන්නේ මොකක් ද?
මම ජනප්‍රිය තලයේ රංගන ශිල්පිනියක් වෙලා ඉන්නේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් නිසා කියන එක මම හැමදාම කියන දෙයක්. ඒ අය හැමදාම මගෙත් එක්ක හිටියා. මට ජීවිතේ දැනුණු හැම දුක සැපක්ම ඔවුන් මා එක්ක බෙදා ගත්තා. ඒ නිසා ඒ ආදරයට මම හැමදාම හිස නමා ආචාර කරනවා. ඒ වගේම ඔවුන් එක්ක මම හැමදාම ඉන්නවා. මේ මොහොත අපි හැමෝටම අමාරු කාලයක්. හැමෝම පීඩාවෙන් ඉන්නේ. ඒ තත්ත්වය තේරුම් අරන් ජිවත් වෙන්න කියන දේ මම ආදරෙන් මතක් කරනවා. හැමදේම මිල අධික බව ඇත්ත නමුත් අපේ රට අනෙකුත් රටවල් එක්ක බලද්දී හරිම ස්වයංපෝෂිතයි. මම රට රටවල්වල ගිහින් තියෙන නිසා මම ඒ දේවල් අත්විඳලා තියෙනවා. "තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි" කියලා කියනවනේ.හැමදාම මේ විදියට අමාරු කාලය තියෙන්නේ නැහැ. බොහොම පරිස්සමෙන් ඉන්න කියලා ආදරෙන් කියනවා.
ජායාරූප - කල්ප මේනක
NEXUS Creations