
පන්නිපිටිය ධර්මපාල විදුහලෙන් අධ්‍යාපනය හදාරා වාණිජ විෂය ධාරාවෙන් උසස්පෙළ සමත්වූ ඉමේෂා මාධවී මල්ලවාරච්චි මැලේසියාවේ UCTI විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිණියකි.. ලේඛන කලාවට පිවිසීමට ප්‍රථම මානව සම්පත් කළමනාකාරවරියක් ලෙසින් ශ්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේත් සේවය කළ ඇය දෙදරු මවක්.මෙහෙන්දි ,රූ චායා, පිබිදෙන්න සූරියකාන්තා, දූලි වළාකුළු, මල් මධාරා, අසේකා, දෙවෙනි උණ්ඩය, සැවන්දරී, හත්දින්නත් තාරුකා, ඇතුළු නව කතා 18 ක් ඇය විසින් රචනා කර ඇත.
මගේ පළමු නවකතාව
මා රචනා කළ, ප්‍රථමයෙන් පළවූ නවකතාව වූයේ 'සඳරුනෙත්' නවකතාවයි. නමුත් මම ලියු ප්‍රථම නවකතාව වූයේ 2019 වසරේ පළවුණු අරුණෝද මානවී පොතයි. 2015 වසරේදී මගේ දුව ලැබෙන්න ගොස් අසාධ්‍යව දැඩි සත්කාර ඒකකයේ මාසයක් කෝමා තත්වයෙන් පසුවී නැවත ඉතා අහඹුවක් සේ ජීවය ලබපු, ඉන්පසුව මුහුණදුන් විශාධ තත්ත්වයෙන් මිදෙන්නට මට උපකාර වූ දෙවෙනි ආගමනය වුණේ ලේඛනයයි. එසේ මරණයෙන් නැගිට ආව මගේ ජීවන අත්දැකීම මම රචනා කළා. ඒ අරුණෝද මානවී නවකතාවයි. නමුත් අරුණෝද මානවී මුද්‍රණයට ලබාදෙන්න මට මුලින්ම ඇතිවුණේ චකිතයක්. ඒ නිසාමදෝ මම ලියූ දෙවෙනි නවකතාව වුණු 'සඳරුනෙත්' නවකතාව මගේ ආදරණීය සැමියාගේත් ඉල්ලීම මත මුද්‍රණය කරන්න සිතුවා. ඒ වෙද්දීත් 2017 වසරේ පටන්ම මුහුණුපොතේ නවකතා ලියා පළ කළා. මාව බොහෝ දෙනෙක් හඳුනාගත්තේ මුහුණුපොත හරහා ජනප්‍රිය වූ ලේඛිකාවක් වශයෙනුයි.
එහි සිත්ගත් හා සංවේදී අවස්ථා
සඳරුනෙත් නවකතාව ඇත්තටම කිවහොත් මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය යැයි කිවහැකියි. සඳරු නම් වූ මෝටර් රථ කාර්මික ශිල්පිනියත්, නෙත්මිණ නම් වූ ව්‍යාපාරිකයා සහා මෝටර් රථ ධාවන ශූරයා අතර වූ අමුතුමාකාරයේ ආදර කතාව මගේ සඳරුනෙත් නවකතාවට පාදක වූවා. ඒ අනුව මෙහි චරිත සියුම්ව ගොඩනගන්න ඉංජිනේරුවෙක් වූ මගේ සැමියාගෙනුත්, වෘත්තියෙන් මෝටර් රථ අලුත්වැඩියා කාර්මික ශිල්පියෙක් වුණු මගේ මල්ලිගෙනුත් ලැබුණේ නොමද සහයක්. කතාව ගොඩනැංවීමේදී එහි චරිත මුහුණදෙන අහඹු සිදුවීම් දාමයක් ඔස්සේ කතාව වෙනස් මානයකට මම ගෙන ගියා. ඒ අනුව කතාවේ සඳහන් ගම නිර්මාණයට අනුරූපව යොදාගත් අනතුර ඇත්තටම මීට දශක කිහිපයකට පෙර කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවී තිබුණු බව මගේ පාඨක මහත්මියක් දැන්වූ මොහොතේ මම ඉතාමත් කම්පනයට පත්වුණා. ඒ වගේම ඒ අනතුර සිදුවෙද්දී මම ඉපදී නොසිටියා වගේම ඒ අනතුර එලෙසින්ම ලිව්වේ කෙසේද කියා අසද්දී ඇත්තටම කිවහොත් මම ඉතාමත් සංවේදී වුණා. අදටත් මගේ වෘත්තිමය ජීවිතයේ එක්තරා සුවිශේෂී සිදුවීමක් වන්නේ සඳරුනෙත් නවකතාවේ මම ලියු ඒ අනතුර සැබෑවක් බව අසා ඇතිවුණු ඒ තිගැස්මයි.
මගේ වෙනත් නවකතා සහ ලැබුණු පාඨක ප්‍රතිචාර
මම මෙතෙක් ලියා පළකළ නවකතා දහාඅටම එකිනෙකට වෙනස් නවකතා දහඅටක් ලෙසින් මම පාඨක ප්‍රතිචාර අදටත් නොමදව ලබනවා. ඒ අනුව සඳරුනෙත්, පමාවී පිපුණු මල්, රන්දුනු දහරා, මෙහෙන්දි, සෙනුදි, ඔබයි මගේ රිදී හිරු, අරුණෝද මානවි, රූ චායා, පිබිදෙන්න සූරියකාන්තා, දූලි වලාකුළු, මල් මධාරා, අසේකා, දෙවෙනි උණ්ඩය, සැවන්දරී, හත්දින්නත් තාරුකා, සැරිසර කුමරී, ස්වර්ණ සකි වගේම ජනවාරියේ නිකුත්වුණු 'යකඩ තඹරු පෙති' නවකතාවටත් මට ලැබුණේ විවිධාකාර වූ අපූරුම පාඨක ප්‍රතිචාර. ඒ අතරේ කතාවේ අවසානය තව ලියන්න, කතාවේ දෙවෙනි කොටසක් ලියන්න කියා බොහෝ නවකතා වෙනුවෙන් මට ප්‍රතිචාර නොඅඩුව ලැබුනා. මම විසින් රචිත නවකතා පොත් සියල්ල එකතුවක් ලෙසින් ළඟ තබාගෙන නැවත නැවත කියවා රසවිඳින පාඨක පොකුරක ආදරය ලබන්න තරමටත් මම වාසනාවන්ත වී තිබෙනවා. ඉතින් ඒ ලෙසින් මාගේ සෑම නවකතාවකටම නිහතමානීව ඇගයීම් ලබාදෙන, අඩුපාඩුවක් ඇතොත් එය නොවලහා පෙන්වාදෙන ඒ හැමදෙනාටම මගේ ගෞරවය සහ ස්තුතිය මම මේ මොහොතේ පුදකර සිටිනවා.
මා නොලියූ, මා කැමති වෙනත් පොත්
මම නොලියූ සහ මම කැමති වෙනත් පොත් ගතහොත් ස්වාභාවනම රහස් පරීක්ෂක, කුතුහලය දනවන සහ ආදර කතා කියවීමට මම දක්වන්නේ දැඩි කැමැත්තක්. ඒ අනුව මගේ ඒ කියවීම් තුළ අදටත් ජීවමාන අපේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් සිටිනවා. එකල කුඩා කාලයේ කොළඹ පොත් ප්‍රර්ශනයට ගොස් හොරෙන් හැංගි බලාගෙන සිටි ඒ දැවැන්ත විසල් චරිත අද වන විට මගේ ජීවිතයේ මා පසුපසින් සිටින ආශිර්වාදයන් කිව්වොත් නිවැරදියි. ඒ අතරින් ප්‍රවීණ ලේඛක එඩ්වඩ් මල්ලවආරච්චි මහත්මයා ඉතාමත් ආදරයෙන් සිහිපත් කරනවා. හැත්තෑව දශකයේ ප්‍රේමයේ අපූරුතම විග්‍රහය නව මාවතකට ගෙන ආ ඔහු මගේ ලොවේ වීරයෙක් කිව්වොත් නිවැරදියි. බොහෝ දෙනෙක් මම එඩ්වඩ් මතාගේ දියණියක් ලෙසින් සිතුවත් අප අතරේ එවන් නෑකමක් නැහැ. එදා පටන් අද දක්වාම මට ඔහුගේම දියණියකට වාගේම ආදරයෙන් බොහෝ දේවල් කියාදෙන බව නම් කිව යුතුමයි. ඒ හැරෙන්න, චන්දි කොඩිකාර මහත්මිය, රමණි බුලත්සිංහල මහත්මිය, තරංගා දිසානායක, වගේම වත්සලා කරුණාරත්න මහත්මියත් මගේ ඒ කියවීමට නව අරුතක් දුන්නා .ඒ වගේම ක්ෂේත්‍ර යේ නමින් සඳහන් නොකළත් බොහෝ ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් විසින් රචිත කෘති මගේ මතකයේ සදා රැඳෙනවා.
මගේ ඉදිරි සැලසුම්
ලේඛිකාවක් ලෙසින් ගමන ආරම්භ කළත් අද මම ක්ෂේත්‍රයේ ප්‍රකාශන ආයතනයක් හිමිකාරියක් ලෙසින්ද කටයුතු කරනවා. නමුත් මම වෘත්තිමය ලේඛිකාවක් ලෙසින් හඳුන්වනවාට කැමතියි. ඒ අනුව ලේඛිකාවක් ලෙසින් ඉදිරි කාලය තුළදී මගේ අතින් තව තවත් අලුත් නිර්මාණ බිහිවේවි. මගේ ලේඛන දිවියේ එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක් ලෙසින් සඳහන් කරන්න කැමති "තුරු සරසි" නවකතාව මේ වෙද්දීත් පොතක් වශයෙන් සුදානම් කෙරෙමින් පවතිනවා. එය මේ සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් මගේ ආදරණිය පාඨකයන් වෙතට තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැරෙන්න මගේ ප්‍රකාශන ආයතනය වන සඳමාධවී ප්‍රකාශන ආයතනය හරහා ලිවීමට හපන් අලුත් දක්ෂයින්ට අලුත්ම මාවතක් විවර කරන්නත් මගේ ඉදිරි සැලසුම් තුළ තිබෙනවා. අදටත් මගේ ගමනේ යෝධ ශක්තිය සහ සෙවණැල්ල මගේ තාත්තායි. මගේ සැමියා සමීර ගාල්ලගේත් මා ආ ගමනේ මගේ දැවැන්ත හෙවනැල්ලක්. ඒ වගේම මගේ අම්මා, නංගි, මල්ලිත් මගේ මේ ගමනේ නිහඬ බර දරන්නන් බව කිව යුතුමයි. ඒ වගේම ලේලියක ලෙසින් නොව දුවෙක් ලෙසින් මාව භාරගත්ත සමීරගේ අම්මාත් තාත්තාත් මාව සහෝදරියක් ලෙසින් භාරගත් නංගිත් මල්ලිත් ඉතාමත් ආදරයෙන් සිහිපත් කරනවා.
බුද්ධිකා ඉඹුලාන