පුපුරන ගිනි කන්දක් මත විනෝද වෙන්න නිකරගුවාවට එන්න | Page 2 | සිළුමිණ

පුපුරන ගිනි කන්දක් මත විනෝද වෙන්න නිකරගුවාවට එන්න

සංචාරක ව්‍යපාරය යනු මේ වන විට ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන ආදායම් මාර්ගයයි. අභ්‍යවකාශයට පවා සංචාරකයන් ගෙන යෑම සම්බන්ධව සාර්ථකව කටයුතු සිදු කෙරෙමින් පවතින මෙවන් යුගයක සංචාරක කර්මාන්තයෙන් ලාභ ලැබීම පුදුමයක් නොවේ. එමෙන්ම බොහෝ රටවල් තම රටවල ඇති ආකර්ෂණීය ස්ථාන තවතවත් ප්‍රවර්ධනය කරමින්, ලොව පුරා ප්‍රසිද්ධියට පත් කරන්නේ සංචාරකයන් වැඩිවැඩියෙන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙනි.

 

මේ දිනවල එසේ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම වඩාත් සාර්ථකව සිදු කරමින් සිටින්නේ නිකරගුවාවයි.

නිකරගුවාවට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙමින් සිටින්නේ එක් විශේෂ අරමුණක් ඉටු කර ගැනීම වෙනුවෙනි. ඒ පුපුරා යමින් පවතින ගිනි කන්දක් මතට නැගී විනෝද වීමයි.

සැබවින්ම සංචාරකයන්ට ලෝකයේ මේ අත්දැකීම ලබා ගත හැකි එකම ස්ථානය වන්නේ නිකරගුවාවයි. විශේෂයෙන්ම කැරෝ නීග්‍රෝ ගිනි කන්ද ඒ සඳහා අවස්ථාව සැලසෙන එකම ස්ථානයයි. මේ ගිනි කන්ද මීටර් 728ක් උසැතිය. ගිනි කන්ද මතට නැගීම එතරම් පහසු නොවූවද කන්ද මතට නැගීමෙන් පසු තවමත් දුම් දමන අළු මතින් කන්ද පහළට ලිස්සා යෑම නම් ඉතාමත් ප්‍රීතිය දනවන්නකි. කන්ද මතට නැගීමට සැලකිය යුතු වේලාවක් ගත වේ. එහෙත් කන්ද පහළට ලිස්සා යෑමට ගත වන්නේ තත්පර හතළිහක් වැනි කාලයකි.

මේ අත්දැකීම ළබා ගැනීම පිණිසම නිකරගුවාවට පැමිණෙන සංචාරකයන් පවසන්නේ තමන්ගේ ජීවිතයේ සතුටුම මොහොත එම තත්පර 40 බවයි. එබැවින්ම කන්ද පහළට ලිස්සා එන සංචාරකයෝ යළි යළිත් කන්ද තරණය කරන්නේ යළිත් එම තත්පර හතළිහේ ප්‍රීතිය විඳීම අරමුණු කර ගනිමිනි.

කැරෝ නීග්‍රෝ යනු සක්‍රීය ගිනි කන්දකි. එය අවසන් වරට සම්පූර්ණයෙන් පුපුරා ගියේ 1990 වසරේදීය. එහෙත් මේ ගිනි කන්ද දිගින් දිගටම දුම් දමමින් අළු නිකුත් කරමින් සිටී. සංචාරකයන්ට තෝ තැන්නක් වී ඇත්තේ එලෙස නිකුත් කෙරුණු අළු හේතුවෙන් ආවරණය වී ඇති කන්දේ බෑවුමයි. ඒ අළු හේතුවෙන් කඳු බෑවුමෙහි ඇති වී ඇත්තේ ඉතා මෘදු මතුපිටකි. එය සැබවින්ම හිම වැනිය. එහෙත් මේ හිම උණුසුම්ය. එය මිනිස් ශරීරයට ලබා දෙන්නේ ඉතා සුවදායී උණුසුමකි. ඒ උණුසුම මතින් පහළට ලිස්සා යාම යනු කිසිසේත් කිසිවකට සම කළ නොහැකි අත්දැකීමකි.

නිකරගුවාවේ ගිනි කඳු මතින් ලිස්සා යෑමට එහි පැමිණෙන සංචාරකයන් පවසන්නේ මේ තම ජීවිතයේ ලැබූ හොඳම අත්දැකීම බවයි.

එපමණක්ද නොව මේ ගිනි කන්ද නිකරගුවාවේ තවත් බොහෝ දෙනෙකුට ජීවිකාවද සපයා දේ. කන්ද ආශ්‍රිතව පවුල දහස් ගණනක් ජීවත් වන අතර ඔවුන්ගේ ප්‍රධානතම ජීවෝනාපය වන්නේ කන්දේ අළු මත ලිස්සා යෑමට පැමිණෙන සංචාරකයන්ට පහසුකම් සැපයීමයි. එහෙත් කුමන හෝ මොහොතක කැරෝ නීග්‍රෝ මේ සක්‍රීය නින්ද අවසන් කර විදාරණය වීම ආරම්භ කළ හොත් මේ සියලු දෙනාට උන් හිටි තැන නැති වනු නොඅනුමානය.

එහෙත් නිදි ගත් මාරයා කැරෝ නීග්‍රෝ සැබවින්ම සුන්දරය. උණුසුම්ය. එහි බියජනක බව යටපත් කරමින් බොහෝ දෙනාට තම ජීවිතයේ විඳි සතුටුම අත්දැකීම ලබා දෙන්නේය. සොබා දහම නම් අරුමය. පුදුමය.

 ටිරෝනි වෑවලගේ

Comments