දතක් සිටුවන්නේ මෙහෙමයි | සිළුමිණ

දතක් සිටුවන්නේ මෙහෙමයි

පංච කල්‍යාණිය ගැන කියන කොටම දන්ත කල්‍යාණිය කියන්නෙ ප්‍රධාන අංගයක්. තව කෙනෙක් ඉදිරියේ හිනාවෙන කොට අපට දත්වල හැඩතල එක්ක ඒ මුහුණේ තියෙන හිනාවේ ප්‍රතිරූපය ගොඩ නැගෙනවා. එතැනදී දත්වල ප්‍රමාණය, දත් අතර හිඩැස් තියෙනවද? දත් වල පැහැය වගේ හේතු සලකා බලන්න පුළුවන්. සිනහව තුළින් අපි දත් අතර හිඩැස් දකිනවා නම්, නැත්නම් දත් ගැලවිලා තියෙනවා නම් සම්පුර්ණයෙන්ම තමන්ගේ ප්‍රතිරූපය බිඳ වැටෙන සහ සිනහව නිසා තව කෙනෙක් ඉදිරියේ අසරණ වෙන අවස්ථා වෙන්න පුළුවන්. හිනානොවී කටේ දත් නොපෙනෙන තාක් අපි පරිපූර්ණ කෙනෙක් වගේ දකින කෙනෙක් සිනහා වුණාම ඒ සියල්ල බිඳ වැටෙන්න පුළුවන්.

හැබැයි එහෙම කෙනෙක් හිනානොවී ඉන්න එක නෙවෙයි කරන්න ඕනේ. ඒ වෙනුවෙන් කළ හැකි ප්‍රතිකාර ක්‍රම රැසක් තියෙනවා. මේ වෙද්දීත් ඔබ දන්නා දෙයක් තමයි වයසට යද්දී දත් අඩු අය දත් ඇඳි භාවිතා කරන එක. හැබැයි එතැනදී තියෙන අවාසි තමයි කටට තල්ලක් වැටෙනවා. එතකොට රස අංකුර වැහෙනවා. ඒ නිසා කෑම වල රස දැනෙන්නේ නැහැ. කතා කරනකොට දත් ඇන්ද හෙල්ලෙනවා. දත් අස්සේ කෑම රැදෙන්න පුළුවන්. ඒවාගේ දේවල් නිසා හරි අපහසුවක් දැනෙනවා.

ඒ නිසා තව ක්‍රමයක් තියෙනවා දන්ත පාලම් කියලා ක්‍රමයක්. දන්ත පාලම් කියන්නේ දත් නැති තැන ඉඳලා දෙපැත්තේ දත් දෙක සම්බන්ධ කරලා මැද දත දානවා පාලමක් විදියට. හැබැයි ඒ දන්ත පාලම් ක්‍රමය පරණ ක්‍රමයක්. එතැනදී වෙන දෙයක් තමයි දෙපැත්තේ දත් දෙක කැපීමකට ලක්වෙනවා. ඒ නිසා දෙපැත්තේ දත් දෙකට හානිවෙනවා. ඒ නිසා මේ දන්ත පාලම් ක්‍රමයත් යම් අවස්ථා වල පාවිච්චි කරනවා. ඒ දෙපැත්තේ දත් දෙක කැඩිලා තියෙනවා නම්. නැත්නම් හොඳ දත් දෙකක් කපලා දන්ත පාලම් යොදන එක නෙවෙයි හරි ක්‍රමය.

ඒ නිසා දන්ත වෛද්‍යය ක්‍රමය ලෝකයේ තාක්ෂණය එක්ක ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා. දැන් තියෙන අලුත්ම සංකල්පය තමයි දත් සිටුවීම. ඒ ක්‍රමවේදය සිදුවෙන්නේ තල්ලක් පාවිච්චි නොකර, දෙපැත්තේ දත් වලට හානියක් නොකර, දතක් නැති තැනට දතක් සිටුවීම. ඒකට පාවිච්චි කරනවා දතක මුලක වගේ කොටසක් ටයිටේනියම් ලෝහයෙන් හදපු. එතකොට ඒ ටයිටේනියම් ලෝහය අපි පාවිච්චි කරන්නේ අපේ ඇඟ ඇතුළට යම් කිසි බාහිර දෙයක් ගියාම ඒකට ප්‍රතික්‍රියා කරලා ඒක ඉවත් කරන්න හදනවා. ඒ නිසා ශරීරය සමඟ යහළුකමක් කොටසක් හැටියට හඳුනාගන්නවා ටයිටේනියම් ලෝහය. ඒකට අපි කියනවා biocompatibility කියලා. ඒ නිසා ටයිටේනියම් ලෝහයෙන් හදපු කූරක් වගේ එකක් අස්ථිය ඇතුළට දානවා. ඒක දාලා ඊට පස්සේ මාස තුනක් විතර අස්ථිය සමඟ සම්බන්ධ වෙන්න ඉඩ හරිනවා. ඊට පස්සේ දතක් අපි ලැබ් එකෙන් හදලා අර මුලට සම්බන්ධ කරනවා. ඒකතමයි දත් සිටුවීම තුළින් වෙන්නේ.

සැලකිලිමත් වෙන්න ඕනේ මේ දත් සිටුවීම කාටද කරන්න පුළුවන් කියන එක. හැම කෙනෙක්ටම මේ දත් සිටුවීම කරන්න බැහැ. ඒ නිසා වෛද්‍යවරයෙක් මුණගැහිලා ඒ ගැන දැනුම්වත් වෙන්න ඕනේ. සමහර වෙලාවට එතන අස්ථි සියල්ලම දියවෙලා තියෙන්න පුළුවන්. දතක් සිටුවන්න නම් ප්‍රමාණවත් අස්ථි ටිකක් ඒ හනුව තුළ තියෙන්න ඕනේ. දත් ගලවලා ගොඩක් කල් නම් අස්ථි දියවෙලා වෙන්න පුළුවන්. ඇක්සිඩන්ට් එකක් වෙලා නම් අස්ථි කැඩිලා තියෙන්න පුළුවන්. එහෙම අවස්ථා වල අස්ථි නැවත බද්ධ කරලා අපිට දත් සිටුවීම කරන්න පුළුවන්.

ඒ වගේම තමයි දියවැඩියා රෝගී තත්වය තියෙන අයට. ගොඩක් අයට HBA1C කියන පරීක්ෂණය කරලා බලනවා. එහි අගය 7කට වඩා වැඩි නම් ඒ තුළින් කියන්නේ ග්ලුකෝස් අගය පාලනයක් නැහැ කියන එක. ඒ වගේ අයට implant කරාට වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම හෘද රෝගී තත්ව තියෙනවද කියන එක බලලා තමයි අපි දත් සිටුවීම කරන්නේ.

කෙනෙකුට හිතෙන්නේ පුළුවන් මේ දත් සිටුවීම රිදෙන ප්‍රතිකාරයක්ද කියලා. සාමාන්‍යය දතක් ගලවනකොට රිදෙන ප්‍රමාණයවත් රිදෙන්නේ නැතුව මේ ප්‍රතිකාරය කරන්න පුළුවන්.

ඒ එක්කම මේ Dental implant ක්‍රමයේ වාසි තමයි. දතක් දාලා ද කියලා හොයාගන්න බැරි විදියට හදාගන්න පුළුවන්. අනික දත් ගලවන්න දාන්න ඕනේ නැහැ ඒ නිසා දත් හෙල්ලෙන්නේ නැහැ. ස්වභාවික දත් වාගේම සම්බන්ධ වෙනවා. විදුරුමස් දියවීමේ වගේ තත්ව බොහෝ අඩුයි. ඒ නිසා ලෝකයේ වැඩිපුරම දත් ලබා ගන්න මිනිස්සු පෙළඹිලා තියෙන්නේ මේ දත් සිටුවීමේ ප්‍රතිකාරය කියන දේ.

මේ සම්බන්ධව අපි විශේෂ අධ්‍යයනයක් කරලා තියෙනවා. ලංකාවේ ගොඩක් රෝගීන් අපි ළඟට එනවා. හැබැයි අපි ඒ නියමිත පරීක්ණ වලට යොමු කරලා බලලා තමයි ප්‍රතිකාර කරන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් අනික් ප්‍රතිකාර වලට වඩා මිල මුදලක් යනවා. මිල මුදලක් ගියාට තමන්ගේ පෙනුම සහ මුඛයෙන් කරන කාර්යයන් ටික ගත්තම ස්වභාවික දත් විදියටම පාවිච්චියට ගන්න පුළුවන්.

සමහර අය ඉන්නවා මිල මුදල් තිබුණත් Dental implant ක්‍රමය ගැන තියෙන නොදැනුවත්කම නිසා දත් ඇඳි දාගෙන දුක් විඳිනවා. ඒ නිසා ඔබත් දත් හිඩැස් හෝ දත් අඩු කෙනෙක් නම් සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරයෙක් මුණගැහිලා මේ සම්බන්ධව විමසන්න.

 

Comments