ජනතාවගේ රස වින්දනය සම්බන්ධයෙන් වගකීමක් තියෙන්න ඕනේ | Page 2 | සිළුමිණ

ජනතාවගේ රස වින්දනය සම්බන්ධයෙන් වගකීමක් තියෙන්න ඕනේ

“ලෝකය රඟ මඬලකි.අපි එහි රඟන නළු නිළියෝ වෙමු." යනුවෙන් විලියම් ශේක්ස්පියර් මහා කවියා වරෙක ප්‍රකාශ කළ ද රංගනය යනු ඒ තරම් සාමාන්‍ය හෝ පහසු දෙයක් නොවේ. එංගලන්තයේ ස්වර්ණමය යුගය ලෙස අවිවාදයෙන් යුතුව පිළිගැනෙන්නේ මහා කවි ශේක්ස්පියර් යුගය යි. ඔහු ලියූ 'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' ,'මැක්බර්ත්','ඔතෙලෝ','ක්ලියෝපැට්‍රා'ආදී නිර්මාණ බොහෝමයක් සැලකෙන්නේ ලොව පළමුවන පන්තියේ කෘති ලෙස ය.ශේක්ස්පියර් ගේ ප්‍රකට ජූලියස් සීසර් නිර්මාණය ලංකාවේ ප්‍රතිනිර්මාණය කොට පසුගිය පහළොස් වැනිදා මංගල දර්ශනය වේදිකාගත කෙරුණේ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී ය.

 

ඒ නාට්‍යය නිෂ්පාදනය කළේ ශේක්ස්පියර් පදනම මඟිනි. අද අප සමඟ කතාබහකට එක් වන ඒ පදනමෙහි සභාපති ඔබිනාමුණි ගාමිණී ද සිල්වා යනු සරල ජීවිතයක් ගත කරමින් නාට්‍ය කලාවේ ප්‍රගමනය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක නිරත වන්නෙකි. කොළඹ මහාබෝධි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු ආරම්භ කළ ශේක්ස්පියර් පදනම හරහා, ඔහුගේ ගුරුහරුකම් ලබාගෙන බිහිවූ නළු නිළියන් රැසක් අද ක්ෂේත්‍රය තුළ සක්‍රීයව සිටිනවා.

 

මුලින් ම ශේක්ස්පියර් නාට්‍ය කේන්ද්‍රය ගැන අපි කතා කරමු. එය ආරම්භ වුණේ මොන වර්ෂයේ දී ද සහ එහි කාර්යභාරය මොනවගේද.?

දැනුම් තේරුම් වයසේ සිට ශේක්ස්පියර් නාට්‍යය ගැන මට කැමැත්තක් සහ ආදරයක් තිබුණා. රාජ්‍ය නිලධාරියෙක් සහ නළුවෙක් වූ ගාමිණී විජේසූරිය මගේ ගුරුවරයෙක්. 1978 දී ඔහුගේ සහයත් ලබාගෙන මම එංගලන්තයට ගියා.එරටේ දි ගාමිණී ප්‍රනාන්දු මට විශාල සහයෝගයක් ලබා දුන්නා. මම එංගලන්තයට ගොස් ලංකාවට ආවට පස්සේ මං කල්පනා කළා එරටේ දී මා හැදෑරූ මේ නාට්‍ය ව්‍යාපාරය ලංකාවෙ පටන් ගන්නෙ කොහොමද කියලා. එම සිතිවිල්ල ක්‍රියාත්මක කිරීමක් ලෙස 1990 වර්ෂයේදි ශේක්ස්පියර් කේන්ද්‍රය ආරම්භ කළා.

ශේක්ස්පියර් නාට්‍ය කලාව ගැන දැනීමක් උනන්දුවක් තියෙන අයට මම ආරාධනා කළා මාත් එක්ක එකතු වෙන්න කියලා.තිස්ස කාරියවසම්,නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැනි එවක විද්වතුන් රැසක් මට උදව් කළා. 'ඔතලෝ' නාට්‍යය නිෂ්පාදනය කරමින් තමයි අපි නිර්මාණ කටයුතු ආරම්භ කළේ. ඉන් අනතුරුව 'මැක්බත්' සහ 'හැම්ලට්' සිංහල සහ ඉංග්‍රීසි මාධයන්ගෙන් වේදිකාගත කරන්න අපිට හැකියාව ලැබුණා. 'හැම්ලට්' චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. 'මැක්බත්' නාට්‍යයේ නව නිෂ්පාදනයේ වැඩකටයුතු ජාත්‍යන්තර නාට්‍ය දිනය වන මාර්තු 27 වෙනිදා ආරම්භ කෙරුණා.

 

ලංකාවේ නාට්‍ය කලාව ගැන ඔබේ අදහස මොකක්ද .?

ලංකාවේ නාට්‍යකරුවන් තමන්ගේ ම උත්සාහයෙන් සහ කැපවීමෙන් නාට්‍ය කලාව පවත්වාගෙන එනවා. රාජ්‍ය මැදිහත්වීම ඇතැම් තැනක ලැබුණත් රටේ සංස්කෘතියට සහ සහජීවනයටත්, ඇතැම් ගැටලු සඳහා සාධනීය විසඳුමක් ලෙසත්, විනෝදය පිණිසත් නාට්‍ය කලාව ඉවහල් වෙනවා කියන දේ කිසිම ආණ්ඩුවක් පිළිගෙන නැහැ. නාට්‍යය කලාව හා සබැඳි විවිධ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුව ගණනාවක් තියෙනවා. නාට්‍ය අනු මණ්ඩලයේ වසර දහයක් හිටපු සාමාජිකයෙක් ලෙස මම දන්නවා නාට්‍යක් කරන්න ගියාම තියෙන ගැටලු වලට යෝජනා මිස විසඳුම් නොලැබුණ බව.

 

ලාංකේය ප්‍රේක්ෂකාගාරය ඔබ දකින්නෙ කොහොමද?

විවිධත්වයෙන් යුතු ප්‍රේක්ෂකාගාරයක් තමයි අපිට තියෙන්නෙ. සිනමාව කියන්නේ කර්මාන්තයක්. හැබැයි නාට්‍ය කියන්නේ කලාවක්. නාට්‍ය හැදීම කලාවක් වුණාට නාට්‍යයක් පෙන්වනව කියලා කියන්නේ ව්‍යාපාරයක්. ඉතින් හැම නාට්‍යකරුවෙක්ටම මේ ව්‍යාපාරය කරන්න බෑ. ඒ සඳහා රාජ්‍ය මැදිහත් වීමත් ඕනේ වෙන්නේ ඒ නිසයි. පුහුණු කිරීම, හෝල් එකක් වෙන් කරන එක,ආරාධනා පත් සෑදීම, ශිල්පීන්ට අවශ්‍ය කරන දෑ සූදානම් කිරීම පමණක් නොව ටිකට්පත් විකුණන එක පවා නාට්‍යයේ නිෂ්පාදකවරයාට තමයි කරන්න වෙලා තියෙන්නේ. ග්‍රාම නිලධාරීන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න සංස්කෘතික නිලධාරීන් වැනි රාජ්‍ය නිලධාරීන් ගොඩක් ඉන්නවනේ.ඔවුන්ට ජනතාවගේ රස වින්දනය සම්බන්ධයෙන් වගකීමක් තියෙන්න ඕනේ. මේ සියලුම දේ ප්‍රේක්ෂකාගාරය තීරණය වෙන්න බලපානවා.

 

ඔබේ නවතම නිර්මාණය වන ජුලියස් සීසර් නාට්‍යය ගැන මතක් කළොත්.?

2020 මාර්තු 5 වැනිදා තමයි අපි ජුලියස් සීසර් නාට්‍යය මුලින්ම වේදිකාගත කරන්න හිටියේ. හැබැයි කොරෝනා වසංගතය නිසා වසර දෙකක්ම ඒක කරන්න බැරි වුණා. මම හිතන විදියට නාට්‍යයකින් ප්‍රේක්ෂකයන්ට යම්කිසි අලුත් අවබෝධයක් ලබා දිය යුතුයි. හරියට ගුරුවරු වගේ. ජුලියට් සීසර්ව ඝාතනය කළේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ද; අපි මේ නාට්‍යය ප්‍රතිනිර්මාණය කළේ කුමන අරමුණකින්ද කියල දැනගන්න නම් නාට්‍යය නරඹන්න වෙනවා.

 

මෙවැනි ලෝකප්‍රකට නිර්මාණයක් ප්‍රතිනිර්මාණය කිරීම පහසු නැහැ.එහිදී ප්‍රවේසම් සහගත විය යුත්තේ කුමන කරුණු පිළිබඳවද?

ශේක්ස්පියර් නාට්‍යය කුමන හෝ රටක සිංහල, ඉංග්‍රීසි, දෙමළ, ලූර්දු වැනි කුමන හෝ භාෂාවකින් හැමදවසකම පෙන්නනවා. මේ නිර්මාණ වලට ලෝකේ හැමතැනම ඒ තරම් පිළිගැනීමක් තියෙනවා. මෙය පරිවර්තනය කිරීමේදී රටේ සංස්කෘතියට ගැළපෙන ලෙස අපට යම් යම් වෙනස් කිරීම් කරන්න සිදු වුණා. වේදිකා නළුවාට හෝ නිළියට විශාල කාර්යභාරයක් නාට්‍යය තුළ තියෙනවා. දෙබස් එකවර පාඩම් කරගෙන මහන්සි වෙලා ආදරයක් කැක්කුමක් සහිතව රංගන කාර්යය කළ යුතුයි.

 

ඒ සඳහා ශිල්පීය දායකත්වය ලබා දුන්නෙ කවුද.?

ශේක්ස්පියර් කේන්ද්‍රයේ අපේ නාට්‍ය කණ්ඩායමේ ඉන්න පනහකට වැඩි සාමාජිකයන් මේ සඳහා රංගනයෙන් සහ තාක්ෂණික ශිල්පීන් ලෙස සම්බන්ධ වෙනවා.1990 වර්ෂයේ සිට මේ දක්වා නාට්‍ය කලාවට ළැදි විවිධ වෘත්තිකයින් අපිත් එක්ක සම්බන්ධ වුණා. වෛද්‍ය, ඉංජිනේරු,මාධ්‍යවේදී,හෙද ආදී විවිධ වෘත්තිකයන් ඒ අතර සිටිනවා. ඒ හැමෝම සිය කැමැත්තෙන් කාලය වෙන් කරගෙන පුහුණුවීම් සඳහා එක් වෙනවා. ඉදිරියේදී නව කණ්ඩායමක් බඳව ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

 

Comments