
මෙවර අපගේ වෛද්‍ය සාකච්ඡාව වෙනස්ම මාතෘකාවකට ගෙන යන්නට සිතුවා. ඔබ එදිනෙදා ජීවිතයේදී ගේදොර කටයුතුවල නියැළී සිටින කාර්යබහුල කාන්තාවක් ගෘහණියක් වන්නට පුළුවන්. ඒ අතරතුර ඔබට හදිසි අනතුරක් වුවහොත් ඔබ මොකද කරන්නේ ? වෛද්‍යවරයා ළඟට යාමට පෙර ඔබ කළ යුතු ක්ෂණික ප්‍රථමාධාර ගැන ඔබ දැනුවත් ද? මෙම කාරණා පිළිබඳ නිවැරදි වෛද්‍ය උපදෙස් කියලා දෙන්න කඳාන දිසා රෝහලේ වෛද්‍ය ආර්.ඩබ්ලිව්. සී. සමාධි වෛද්‍යතුමිය අපත් සමඟ එකතු විය.
පිලිස්සීමකදී
පිලිස්සුම් තුවාල යනුවෙන් හඳුන්වන්නේ සම අධික තාපයකට නිරාවරණය වීම නිසා එහි සෛල මියයාමක් වශයෙනි. ඒ අනුව සම මතුපිට ස්තරයෙහි පැතිරෙමින් හෝ සම අභ්‍යන්තරයට හානිවන ලෙසද පිලිස්සීම් සිදු විය හැකිය. එවැනි විශාල හානියන්ගෙන් ආරක්ෂාවීමට නම් පිලිස්සීමකදී ඔබ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දැන සිටීම වැදගත් වේ.
ඕනෑම පිලිස්සුම් අවස්ථාවකදී එය සිදු වූ වහාම කළ යුත්තේ පිලිස්සූ ස්ථානය ගලා යන ජලයට අල්ලගෙන සිටීමයි. අවම වශයෙන් පැය භාගයක පමණ කාලයක් එසේ ජලයෙහි තබා ගන්න. අනවශ්‍ය ලෙස තුවාලය ඇතිල්ලීමෙන් වළකින්න. හොඳින් තෙතමාත්තු කිරීම ප්‍රමාණවත් ය. එතුළින් දිය බිබිළි වැනි තත්ත්ව හටගැනීම පාලනය කරයි. රෝගියාගේ තුවාලයේ දරුණු තත්ත්වයන් අනුව අවශ්‍ය වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර සඳහා යොමු වීමට වගබලා ගන්න.
විදුලි සැර වැදුණ විට
අනපේක්ෂිත මොහොතක සිදුවන මෙවැනි අනතුරුවලදී වහාම ඔබ කළ යුත්තේ විදුලි සැපයුම ඒ සබඳතාව බිඳ දැමීමයි.
එහිදී ට්‍රිප් ස්විචය හෝ මීටරය විසන්ධි කළ හැකිය. අනතුරට භාජනය වූ පුද්ගලයා අතැතිව විදුලි උපාංගයක් හෝ විදුලියට සම්බන්ධ යමක් ඇතිනම් දුර සිට තාප පරිවාරකයක් (තෙත නැති ලී කැබැල්ලක්) ගෙන ඔහු ඇතැතිව ඇති දෑ ඉවත් කරන්න. විදුලි සැර වැදුණ ස්ථානයේ තුවාල වී ඇත්නම් ගලා යන ජලයෙන් සෝදා තුවාලයට අවශ්‍ය ප්‍රතිකාර නිවසේදීම සිදු කර ගැනීමට හැකිය.
දරුණු විදුලි සැරකට ලක් වූ රෝගියකු නම් රෝහල්ගත කරන්න. රෝගියා රෝහලට රැගෙන යාමෙදී වම් ඇලයට හරවා රැගෙන යන්න.
හිස වැදීමකදී
මෙහිදී හිස වැදීම විවිධාකාරව සිදු වීමට හැකිය.එනම් පය ලිස්සා වැටීම, යමක ගැටීම ආදී මඟින් හිසට අනතුරු විය හැකිය. සුළු තුවාලයක් නම් නිවසේදීම ප්‍රතිකාර කර අවසන් කිරීමට හැකිය. රෝගියාගේ සිහිය නැති වීම, රෝගියාට වමනය යෑම, රෝගියාගේ තුවාලයෙන් අධික ලෙස රුධිරය ගැලීම ආදී දරුණු රෝග ලක්ෂණ මතු වේ නම් හැකි ඉක්මනින් ළඟම ඇති මූලික රෝහලකට රෝගියා රැගෙන යාම සුදුසු ය. විශේෂයෙන් රෝගියාට දියවැඩියාව හෝ වෙනත් නිදන්ගත රෝග ඇත්නම් වඩා සැලකිලිමත්ව අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
ඇණයක් ඇණුන විට
මලකඩ සහිත හෝ රහිත ඇණයක් ඇණුන විටදී ඇතැම් විට පිටගැස්ම රෝගය සෑදීමට ඉඩකඩ පවතී. එය සිදුවන්නේ පිටගැස්ම බැක්ටීරියාව ඇණයේ ඇතුළත් වී තිබීමත් සමඟයි. එනම් ඇණයක් ඇණුන විටද එය සුළුවෙන් තකන්නට නොයා අවශ්‍ය නිවැරදි ප්‍රතිකාර සඳහා යොමුවීමට වගබලා ගන්න. අවුරුදු දහයක් හෝ පසුගිය කාලවකවානුව ඇතුළත පිටගැස්ම එන්නත ලබා නැති වැඩිහිටියකු නම් පැය 24ක් ඇතුළත පිටගැස්ම එන්නත ලබා ගැනීම වඩා සුදුසු ය. කුඩා ළමුන්ට ඒ එන්නත කුඩා කල ලබා දෙන නිසාවෙන් ඔවුනට නැවත ඒ එන්නත ලබාදීමට අවශ්‍ය නොවේ. එන්නත ලබා ගැනීමෙන් අනතුරුව තුවාලය සඳහා ප්‍රතිකාර කළ හැකිය.
බල්ලකු සපා කෑ විටදී
රෝගියාගේ සපා කෑ ස්ථානය ගලා යන ජලයෙන් සෝදා හරින්න. එම සත්වයාට අයිතිකරුවකු සිටී ද, ඒ සත්වයාට නියමිත එන්නත් ලබාගෙන ඇත්ද යන්න සොයා බලන්න. ඒ සත්වයාගේ එන්නත් කාඩ්පත සමඟ රෝහලේ ජලභීතිකා අංශයට ගොස් අවශ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමට වග බලාගන්න.
සර්පයකු දෂ්ට කළ විටදී
සර්පයකු දෂ්ට කළ විටදී මුලින්ම කළ යුත්තේ දෂ්ට කළ ස්ථානය සබන් ගා ගලායන ජලයෙන් සෝදා හැරීම. පසුව තුවාලයට මඳක් ඉහළින් රෙදි පටියකින් ගැට ගැසීම සිදු කළ හැකිය. කිසිදු අවස්ථාවක රෝගියාට අත් බෙහෙත් නොදීමට වගබලා ගන්න. ඉක්මනින් ළඟම ඇති මූලික රෝහලකට රෝගියා රැගෙන යන්න. සර්ප විෂ හඳුනාගැනීමට හෝ ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වුවහොත් රෝගියා මියයාමේ අවධානම ද පවතී. විශේෂයෙන්ම දෂ්ට කළ සර්පයාව හඳුනා ගැනීම, සර්පයාගේ මූලික ලක්ෂණයන් දැන සිටීම, සර්පයා දෂ්ට කළ අවස්ථාව නිවැරදිව දැන සිටීම ආදිය ඉදිරි ප්‍රතිකාර පහසුවෙන් කර ගැනීමට ඉතා වැදගත් කරුණු ලෙස සලකයි. එනම් මේ සියලු කාරණා හා අවස්ථාවන්හිදී නිවැරදි ක්‍රියා අනුගමනය කිරීමෙන් බොහෝ දරුණු තත්ත්වයන් මගහැර ගැනීමට උපකාරී වේ.