ගු වන් විදුලි රාජ්‍ය සම්මාන රාත්‍රිය දිලුල වූ සම්මානලාභියෝ | සිළුමිණ

ගු වන් විදුලි රාජ්‍ය සම්මාන රාත්‍රිය දිලුල වූ සම්මානලාභියෝ

ගුවන්විදුලි සහ රූපවාහිනී රාජ්‍ය සම්මානය ගත්ත  එකම කෙනා මම ප්‍රශස්ත ගවේෂණාත්මක වැඩසටහන ප්‍රශස්ත රේඩියෝ සන්නිවේදක (සිංහල) - එස්.ඒ.ඩී.ජී ඉන්ද්‍රසිරි සුරවීර

මෙවර සම්මාන උළෙලේදී ප්‍රශස්ත රේඩියෝ සන්නිවේදක සහ ප්‍රශස්ථ ගවේෂණාත්මක වැඩසටහන ලෙසින් හැඟුම් වරුසා වැඩසටහනට මම නිර්දේශ වෙලා තිබුණා. මේ වැඩසටහන 2016-2022 මේ දක්වාම මම කරගෙන ආවා. මේ වැඩසටහනේ නම එක වුණාට එහි අන්තර්ගතය වෙනස් වෙනවා. ඒ අනුව තමයි ප්‍රභේද දෙකකට නිර්දේශ වෙලා තිබුණේ.

මුලින්ම ලැබුණේ ප්‍රශස්ත ගවේෂණාත්මක වැඩසටහන ලෙසින් "හැඟුම් වරුසාව" වැඩසටහන. එතනදී මම කළේ ලංකාවේ දේශීය සංගීතය කියලා එකක් තියෙනවද? ඒකට මොකක් ද වුණේ, එහෙම නැත්නම් කවිය ගීතයට සම්බන්ධ වුණාද? ඔය දෙකම එකතු වෙලා අපේ කියලා සංගීතයක් හොයාගන්න පුළුවන් වුණාද කියන එක. ඒ වැඩසටහන මම දිගටම අරෙගන ආවා.

අනෙක් සම්මානය ප්‍රශස්ත රේඩියෝ සන්නිවේදක (සිංහල). මම හිතන්නේ ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල පටන් ගත්ත දා ඉඳලා මේ වෙනකම් හැමදාම මම නිර්දේශ වුණා. ඒ සම්මානය මට ලැබුණු දෙවැනි වතාව. ඉතින් මම හිතනවා එක දිගටම රාජ්‍ය සම්මානයකට නිර්දේශ වීමම විශේෂ දෙයක්.

ඊට අමතරව ගුවන්විදුලිය පැත්තෙන් ගත්තම මට ජනාධිපති සම්මාන ලැබිලා තියෙනවා හොඳම ගුවන්විදුලි වැඩසටහනට. තවත් දේවල් වලට මම නිර්දේශවෙලා තියෙනවා. ගුවන්විදුලි රාජ්‍ය සම්මානය සහ රූපවාහිනී රාජ්‍ය සම්මානය ගත්ත එකම කෙනා මම වෙන්න ඕනේ.ඒකත් විශේෂයි. සියලු සම්මාන උළෙලවල් වලදී රූපවාහිනිය පැත්තෙන් මම සම්මාන ලබලා තියෙනවා. ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලක් පැවැත්වීම ඇත්තටම විශේෂයි. ඉස්සර තිබ්බේ සුමති සම්මාන උළෙලේ එක කොටසක් විදියට. නමුත් ඊට වඩා විදිමත් ආකාරයෙන් මේක පවත්වාගෙන ඇවිත් දැන් පරිණත මට්ටමට ඇවිත් තියෙනවා. මෙවර විනිශ්චය මණ්ඩලයට මගේ ගෞරවය පුද කරනවා. ගුවන්විදුලි උපදේශක සභා කමිටුව විද්වත් කියලා මම හිතනවා.

 

 

මගේ ලොකුම  ආශිර්වාදය මගේ අම්මා  ප්‍රශස්තම ගුවන් විදුලි ළමා හඬ නිළිය  - සහේළි සංජනා ජයවීර

මම වේයන්ගොඩ ප්‍රාථමික විද්‍යාලයෙ ඉගෙන ගන්නේ 4 වසරේ. මගේ අම්මා දෙරණ රූපවාහිනී ආයතනයේ නිවේදිකාවක් විදියට වැඩ කරන්නේ. අම්මාගේ නම මහීකා මධුෂානි. ඉතින් මම අම්මා එක්ක දෙරණට ගිය අවස්ථාවක තමයි මට මුලින්ම FM එකේ වොයිස් කරන්න අවස්ථාව ලැබුණේ. මම 2019 රාජ්‍ය සම්මාන උළෙලටත් නිර්දේශ වුණා. මේ අවුරුද්දේ තමයි ප්‍රශස්තම ගුවන් විදුලි ළමා හඬ නිළිය විදියට මට සම්මාන ලැබුණේ. ගොඩක්ම සතුටුයි ඒ ගැන. මගේ ශක්තිය සහ මට ලැබෙන ලොකුම ආශිර්වාදය මගේ අම්මා. ඒ නිසා මම ලැබූ සම්මානය නිසා අම්මාත් ඉන්නේ සතුටින්. මමත් ඉන්නේ ලොකු සතුටකින්.

මේ වෙද්දී මම ළමා හඬ ශිල්පිනියක් විදියට වැඩ කරනවා. තව ටෙලි නිර්මාණ වල ළමා රංගනශිල්පිනියක් ලෙසින් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් මම කැමතියි මේ දෙඅංශයෙන්ම ඉදිරියට යන්න.

 

කලා විෂයයන් හොඳින්  ඉගෙන ගන්න කැමතියි ප්‍රශස්තම ගුවන්විදුලි ළමා හඬ නළු සම්මානය  පොඩි සාදුගෙ සිත වැඩසටහනේ  - ශේනු නවංජන අබේරත්න

මම ඇරැව්වල විද්‍යාලෝක විද්‍යාලයෙන් ඉගෙන ගන්නේ. දැන් ඉගෙන ගන්නේ 2 වසරේ. මම මුලින්ම සම්බන්ධ වුණේ දෙරණ ටීවී හි "හොඳටම පැහිලා" වැඩසටහනට. එතැනදී මාව දැකලා නාට්‍යය වලට කතා කරා. අවුරුදු තුනේ වගේ කාලයේ ඉඳන් මම FM දෙරණ ගුවන්විදුලි නාළිකාව එක්ක හඬ නළුවෙක් විදියට සම්බන්ධ වෙලා ඉන්නවා. අනුරාධ සිගේරා මාමා මාව හඬකැවීම්වලට සම්බන්ධ කර ගත්තා. පණ්ඩිත රාමාගේ පුතාට හඬ කැවීම් කරේ මම. ඒ වගේම මේ වෙද්දී ටෙලි නිර්මාණ කිහිපයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

2022 ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල මට විශේෂයි. මම ප්‍රශස්තම ගුවන්විදුලි ළමා හඬ නළු රාජ්‍ය සම්මානයකට හිමිකම් කිව්වා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.

මම තබ්ලා වාදනය පේෂල මනෝජ් සර් යටතේ ඉගෙන ගන්නවා. මම නැටුම් හදාරනවා. ඒ නිසා අධ්‍යාපන පැත්ත වගේම කලා විෂයයන් හොඳින් ඉගෙන ගන්න කැමතියි. ඉස්සර ඉඳන්ම මම කැමතියි අලි ඇතුන්ට. "හොඳටම පැහිලා" වැඩසටහනේදී ලොකු වුණාම කවුරු වෙන්නද කැමති අහද්දී පවා මම කිව්වේ අලි බලා ගන්න කෙනෙක් වෙනවා කියලා. ඒ මම සම්බන්ධ වුණු වැඩසටහන ගොඩක් අය අතරට ගියා. අදටත් මම සතුන්ට හරි ආදරෙයි.

 

 

රාජ්‍ය සම්මාන ඇගයීමක් කියන්නේ  ඉතා හොඳ උත්තේජකයක් ප්‍රශස්ත ප්‍රවෘත්ති ප්‍රකාශක (සිංහල) ප්‍රශස්තම පූර්ව ප්‍රචාරක ඛණ්ඩය නිෂ්පාදනය ජාතික ගුවන් විදුලි සංස්ථාව - හිමානන්ද රාජපක්ෂ

2005 වසරේදී මම ගුවන්විදුලි සංස්ථාවේ සහන නිවේදකයෙක් විදිහට නිවේදක වෘත්තීය ආරම්භ කළේ. රාජ්‍ය සම්මාන ඇගයීමක් කියන්නේ ඉතා හොඳ උත්තේජකයක් ඉදිරි වැඩවලට. මෙවර සම්මාන උළෙලේදී සම්මාන හතරකට මම නිර්දේශ වුණා. ඒ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදක, ප්‍රශස්තම පුර්ව ප්‍රචාරක ඛණ්ඩය නිෂ්පාදනය, හොඳම සංගීත වැඩසටහන සහ හොඳම සම්මුඛ සාකච්ජා වැඩසටහන.ඒ අතරින් විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදක ලෙස සම්මානයත් ප්‍රශස්තම පූර්ව ප්‍රචාරක ඛණ්ඩය නිෂ්පාදනය සඳහාත් සම්මාන දිවිත්වයම ලැබුණා. මේ දක්වා පැවති ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලයන්හිදී සම්මානයට පාත්‍ර වූ එකම නිවේදකයා මම. මම මේ දක්වා සම්මාන සඳහා 11වතාවක් නිර්දේශ වීම හා සම්මාන හයක් හිමිකර ගැනීම. මේක ලංකාවේ ගුවන්විදුලි රාජ්‍ය සම්මාන ඉතිහාසයේ වාර්තාවක් වෙනවා. වැඩිම ඇගයීම් ලැබූ ගුවන්විදුලි ශිල්පියා, නිවේදකයා වීම ආදිය. මේ සියලු සම්මාන මට ලැබුණේ මාගේ වෘත්තීය සඳහා මා කළ කැපවීම නිසා.

 

 

සියලු හැදෑරීම්වලට ලද සම්මානයක් විදියටයි මට හැඟෙන්නෙ වඩාත් නිර්මාණශීලී වෙළඳ දැන්වීම සිත FM - ක්‍රිෂාන් ජීව රණසිංහ

රාජ්‍ය සම්මානය කියන්නේ ගෞරවයක් ඒ වගේම උත්ප්‍රේරකයක්. මේ සම්මානය එක් අහම්බයක් හෝ වාසනාවක් පමණක්ම නොවේ, 1996 ගුවන්විදුලියේ ළමා පිටියේ සිට මේ දක්වා කළ සියලු හැදෑරීම් සහ නිර්මාණ වලට ලද සම්මානයක් විදියටයි මට හැඟෙන්නෙ. මේ ගමනට එදා ජාතික ගුවන්විදුලියේ සිට මෙදා දක්වා සේවය කළ රේඩියෝ, රූපවාහිනී ඇතුළු සියලුම වර්ගයේ නිෂ්පාදන හා වෙ‍ෙළඳ නියෝජිත ආයතන වෙතත්, ශක්තියක් වූ සැමටත් හිස නමා ස්තුතිවන්ත වෙනවා.

මෙවර රාජ්‍ය සම්මානය මට ලැබෙන්නේ වඩාත් නිර්මාණශීලී වෙ‍ෙළඳ දැන්වීම සඳහා. මේ නිර්මාණය මගෙ අතින් කෙරෙන්නේ කොරෝනා වසංගතය නිසා රට ලොක් ඩවුන් කරල තිබිල විවෘත කරන වෙලාවේ. එදා වයිරසයෙන් බේරෙන්න සෞඛ්‍ය පුරුදු මතක් කරල දෙන ගමන් අනුග්‍රාහකයාගේ වෙළෙඳ පණිවුඩයත් ගෙන එන්න, එතනදි මම අර මුලින් කිව්ව ගුවන් විදුලියේ වාණිජ්‍ය සහ සමාජ අරමුණු දෙකම ඉටුවෙන දැන්වීමක්. සතුටින් කියන්න ඕන මේ දැන්වීමේ හඬ දායකත්වය දුන්නේ මම සහ මගේ දුව කෙනාෂා.

 

මේ රටේ දක්ෂතම නිවේදිකාව වෙන්න මට හීනයක් තිබුණා ප්‍රශස්ත නිවේදිකාව ලෙස (ජූරියේ විශේෂ ඇගයීම් සම්මානය) ලක්විරු ගුවන් විදුලි නාළිකාව - ටිරේෂා ප්‍රියදර්ශනී පෙරේරා

දැනට වසර 5ක් ලක්විරු ගුවන් විදුලි නාළිකාවේ ප්‍රධානනිවේදිකාව විදියට වැඩ කරනවා.

2019 වසරේ ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලට මම ප්‍රේක්ෂිකාවක් විදියට සහභාගී වුණා. ඊට පස්සේ මට 2020 අවුරුද්දේ අවස්ථාව ලැබෙනවා හොඳම මැදිරි සම්බන්ධතා නිවේදිකාව විදියට නිර්දේශ නාම අතරට එන්න. එදා ඒ සම්මානය මට ලැබුණේ නැහැ. මේ වසරේදී තමයි මම සම්මානිත වෙන්නේ. ඒක විශේෂිත සම්මානයක් විදියට තමයි මට සම්මානය ලැබෙන්නේ. ඒ ප්‍රශස්ත නිවේදක සම්මානය (ගැහැනු) කියන අංශයෙන් මට ලැබුණා ජූරියේ විශේෂ ඇගයීම් සම්මානය. ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළ කියන්නෙම අත්දැකීම් වලින් බහුල අය සම්මාන ලබන තැනක් කිව්වොත් මම වැරදි නැහැ. නමුත් කෙනෙක් අඩු වයසකින් ප්‍රශස්ත නිවේදිකාව ලෙස ජූරියේ විශේෂ ඇගයීමට ලක්වීම සුවිශේෂීම කාරණාවක්. එහෙම අඩු වයසකින් ප්‍රශස්ත නිවේදිකාව වුණු කෙනා මම වෙන්න ඕනේ. මම හිතන විදියට. ඒක ලොකු අවස්ථාවක්. අපක්ෂපාති විදියට දක්ෂයාට හරි තැන දෙන්න ඕනේ කියන තැන ඉදලා කටයුතු කරලා තියෙනවා. ඒ ගැන සතුටක් තියෙනවා. ඒ වගේම සම්මානය ලබාගැනීම ගැනත් මට තියෙන්නේ නිහතමානී සතුටක්.

මගේ හිතේ හීනයක් තිබ්බා කවදා හරි දවසක මේ රටේ දක්ෂතම නිවේදිකාව බවට පත්වෙනවා කියලා. මම ජනප්‍රියත්වය නෙවෙයි අපේක්ෂා කරන්නේ දක්ෂකම. ඉතින් ජනප්‍රියත්වය සහ දක්ෂකම ඇතුළේ මම ලොකු වෙනසක් දකිනවා. මම හිතන්නේ දක්ෂකමින් වැඩ ගත්තොත් ජනප්‍රිය වෙන්න පුළුවන් කියන එක.

Comments