අපේ රටේ ස්ථිර තත්ත්වයක් හෝ ස්ථිර ගලා යාමක් නැහැ | Page 2 | සිළුමිණ

අපේ රටේ ස්ථිර තත්ත්වයක් හෝ ස්ථිර ගලා යාමක් නැහැ

මේ දිනවල බොහෝ දෙනෙකු කතා බහ කරන්නේ ඉන්ධන නොමැති ව ධාවනය කළ හැකි ඉලෙක්ට්‍රොනික ත්‍රීරෝද රථය පිළිබඳ ව යි. සූර්ය බල ශක්තිය ආරෝපණය කළ හැකි බැටරියක් මඟින් පණ ගැන්විය හැකි මේ ත්‍රීරෝද රථයට එන්ජිමක් නැත. එහි වේගය, අනෙකුත් පහසුකම් සාමාන්‍ය ත්‍රීරෝද රථයකට සමාන වන අතර එකවරකදී බැටරිය ආරෝපණය කිරීමෙන් අඛණ්ඩ ව කිලෝමීටර් 60 ක දුරක් ධාවනය කිරීමට ද මෙයට හැකියාව පවතී. මේ වෙලාවේ අපේ රටට පමණක් නොව ලොවට ම අත්‍යවශ්‍ය වන්නා වූ මේ නව සොයා ගැනීමට දායකත්වය හා උපදේශකත්වය සැපයූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක ඒකනායක මෙවර අප මුණ ගැසුණි.

 

“මේ නව නිර්මාණය සඳහා අපගේ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ලිලන්ත සමරනායක ඇතුළු කණ්ඩායමක් මාත් එක්ක එකතු වෙලා වැඩ කළා. අපේ රටට සූර්ය ශක්තිය හොඳින් තියෙන නිසා මෙය බෙහෙවින් ඵලදායී වෙනවා. ඉන්ධන භාවිතයක් නැති නිසා පරිසරයත් හිතකරයි. ආර්ථිකයටත් හොඳ යි.” මහාචාර්ය ජනක කීවේ ය.

බලශක්ති පද්ධති සඳහා බලශක්ති ඉලෙක්ට්‍රොනික යෙදුම් භාවිතය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ එහි ඒකාබද්ධතාව මෙන්ම ශ්‍රී ලංකාවේ සුළං බලයෙන් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියට සක්‍රීය දායකත්වය ලබා දෙන මහාචාර්ය ජනක ඒකනායක පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පළමු පෙළ ගෞරව සහිත ව ඉංජිනේරු උපාධිය ද පසුව එංගලන්තයේ මැන්චෙස්ටර් විද්‍යා හා තාක්ෂණ ආයතනයෙන් ආචාර්ය උපාධිය ද ලැබුවේ ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු පීඨයේ ප්‍රධාන මෙන් ම මහාචාර්ය ද වන ඔහු එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පරිගණක මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ද විය.

එසේ ම ඔහු ඇමෙරිකාවේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනය, එංගලන්තයේ විදුලි ඉංජිනේරු ආයතනය, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ආදියෙහි සාමාජිකත්වය දැරුවේ ය. 1996 වසරේදී වරලත් ඉංජිනේරුවරයකු බවට පත් වූ ඔහු එක්සත් රාජධානියේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ බලශක්ති ආයතනයේ බාහිර මහාචාර්යවරයෙකි. පුනර්ජනනීය බලශක්ති IET සඟරාව, සුළං ඉංජිනේරු සඟරාව සහ IEEE බලශක්ති පරිවර්තනය ආදියෙහි කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වූ මහාචාර්ය ඒකනායක විද්‍යා සඟරා බොහෝමයක ලිපි විශාල ප්‍රමාණයක් පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක, තිරසාර බලශක්ති අධිකාරිය, සුළං බල උත්පාදන ව්‍යාපෘතිය, හරිත බලශක්ති සංවර්ධන සහ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන, පුනර්ජනනීය සංවර්ධන සහ සුළං උද්‍යාන ප්‍රධාන සැලසුම් සහ සුළං උද්‍යානය සඳහා ව්‍යාපාර ආකෘතිය සකස් කිරීම ආදියෙහි ක්‍රියාකාරිකයෙකු වූ මහාචාර්ය ජනක ඒකනායක පවතින සහ අනාගත ජාල කේත අනුකූලතාව සඳහා සුළං ටර්බයින් උත්පාදක පාලනය සහ ගතිකත්වය පිළිබඳ ව ද පර්යේෂකයෙකි.

“මගේ අම්මා හේමලතා ඒකනායක වැඩ කළේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ යි. පසුව එයින් ඉවත් වෙලා තමන්ගේ ම ටයිපින් ආයතනයක් පවත්වාගෙන ගියා. අප්පච්චි පුංචි බණ්ඩා ඒකනායක යි. ඔහු ‘සණස’ එක්ක එකතු වෙලා එහි උප සභාපති හැටියටත් වැඩ කරමින් වයස අවුරුදු අනූ නවයක් ඉඳලා නැති වුණා. මගේ අක්කා විශේෂඥ වෛද්‍යවරියක්; එංගලන්තයේ පදිංචි වෙලා ඉන්නවා. තව මට නිවුන් නංගියෙක් සහ මල්ලියෙක් ඉන්නවා. ඒ දෙන්නා ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල දෙකක මහාචාර්යවරු ලෙස කටයුතු කරනවා. අපි පුංචිකාලේ හිටියේ මාතලේ නගරය මධ්‍යයේ නිවසකයි. අපේ නිවස වටේ ම හිටියේ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව යි. එතන සිටි එක ම සිංහල පවුල අපි විතරයි. නමුත් වර්තමාන සමාජයේ වගේ සිංහල, මුස්ලිම් කියලා අපේ වෙනසක් තිබුණේ නැහැ. අපි මුස්ලිම් ළමයි එක්ක එකට සෙල්ලම් කළා. ඒ කිට්ටුව පරණ කාර් ගොඩ ගහපු තැනක් තිබුණා. අපි එතන තමයි සෙල්ලම් කළේ.”

මූලික අධ්‍යාපනය ලැබීම සඳහා මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයයට ඇතුළත් කෙරුණ ද ඔහු පාසලට වඩා සිටියේ රෝහලේ ය. විවිධ රෝගවලට ගොදුරු වීම හේතුවෙන් නිතර නිතර රෝහල්ගත කෙරුණු ඔහු පන්තියේ අන්තිමයා වූ වාර අනන්ත ය. ඇතැම් විට මාතලේ සීත දේශගුණය හිමිදිරි පාන්දර පාසල් ගමනට එක් වන ඔහුට අගුණ වූවා විය හැකි ය. එසේ කාලය ගෙවෙද්දී රැකියාවේ ස්ථාන මාරුව හේතුවෙන් අම්මාට කොළඹ එන්නට සිදු වීම ඔහුගේ ජීවිතයේ සන්දිස්ථානයක් බවට පත් විය. එකී මාරුව හේතුවෙන් ඔහු නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ හතරේ පන්තියට ඇතුළත් කෙරිණි. මාතලේදී තිබූ ලෙඩ රෝග බොහෝමයක් සුව අතට පත් වී ඔහු සැමදා පාසල් යන්නෙක් බවට පත්වූවා පමණක් නොව මාතලේදි පන්තියේ අන්තිමයා වූ ඔහු නුගේගොඩදි පන්තියේ පළමුවැනියා, දෙවැනියා, තුන්වැනියා බවට පත් විය.

එයින් වසර දෙකක ඇවෑමෙන් නිවුන් නංගි සහ මල්ලී ලැබීමෙන් සිය මව රැකියාවෙන් ඉවත් ව දරු පවුල ද රැගෙන යළි මාතලේ බලා පිටත් වූයෙන් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ හයේ පන්තියට ඇතුළත් වන්නට ඔහුට සිදු විය. එයින් සාමාන්‍ය පෙළ සමත් ව උසස් පෙළ සඳහා ඔහු ඇතුළත් කෙරුණේ මාතලේ විද්‍යා විද්‍යාලයට ය.

“පාසල් කාලේ වෙන ළමයි වගේ ලොකු ලොකු ක්‍රීඩා කටයුතු, විෂය බාහිර වැඩ කළේ නැහැ. නමුත් මම පුංචි කාලේ පොඩි පොඩි විදුලි පද්ධති අරගෙන පොඩි පොඩි වැඩ කළා. පොල්ගාන හිරමනේ මල ගලවලා ඒකට ට්‍රාන්ස්පෝමරයක් සවි කරලා දවසක් අම්මාගෙන් බැණුම් ඇහුවා.

හතේ පන්තියේදී විතර රේඩියෝවක් හදලා, ඒක සුහුමු කරලා සින්දුවක් ඇහුවා. විදුලිය සම්බන්ධ ආසාවක් පුංචි කාලේ ඉඳලා තිබුණා. සහජ හැකියාවකුත් තිබුණා. ඒ නිසා ඒ පැත්තට නිකන් ම ඇදිලා ගියා. උසස් පෙළ කරන කාලේ අද වගේ ටියුෂන් තිබුණේ නැහැනේ. අපේ ගෙදර කැරම් බෝඩ් එකකුයි, කාඩ් සෙල්ලම් කරන තැනකුයි තිබුණා. අපේ පන්තියේ ළමයි පහළොවක් විතර හිටියා. ඒ හැමෝම වගේ පාසල ඇරුණු ගමන් අපේ ගෙදරට දුවගෙන ඇවිත් කැරම් සෙල්ලම් කරන්නයි, කාඩ් සෙල්ලම් කරන්නයි තැනක් අල්ල ගන්නවා. ඊට පස්සේ හැන්දෑවේ හතර විතර වනතුරු මාරුවෙන් මාරුවට සෙල්ලම් කරනවා. ඊට පස්සේ මම රෑ දහය විතර වනතුරු පාඩම් වැඩ කරලා පහුවදා උදේ පාන්දර පහට විතර නැගිටිනවා. එහෙම තමයි මගේ ජීවිතය ගෙවුණේ. උසස් පෙළ ඉහළින් ම සමත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වුණා. අපේ විශ්වවිද්‍යාල කාල පරිච්ඡේදය එතරම් හොඳ කාලයක් වුණේ නැහැ. අපි අයත් වුණේ 85/86 කාලයටයි. ඒ කාලයේ රටේ තිබුණු නරක කාලය අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට තදින් බලපෑවා. අවුරුදු තුනකින්, හතරකින් අවසන් කිරීමට තිබූ උපාධිය සඳහා අපට වසර හතක් ගත වුණා.

ඒ වුණත් අපිව ඉක්මනට විශ්වවිද්‍යාලයෙන් එළියට යවන්න අපේ ආචාර්යවරුන්ට කිසි හදිස්සියක් තිබුණේ නැහැ. ඒ අයගේ එක ම වුවමනාව වුණේ අපට හොඳට ඉගැන්වීම යි. ඒ නිසා කාලය ගියත් අපේ අධ්‍යාපනයේ අඩුවක් වුණේ නැහැ. දෙවන වසරේ සිට සෑම වසරකදී ම මට විශිෂ්ටත ම සම්මාන ලැබුණා. ඒ අතරට යාළුවෝ එක්ක චිත්‍රපටි බැලුවා. තෙවන වසරේදී විශ්වවිද්‍යාල මුළුමනින් ම වැහුවා. ඒ කාලේ මම කොළඹ ඇවිත් පරිගණක පන්ති කළා. ඒ කාලයේ පන්තියක් කරලා ඉවර කළා ම ආයි එහි රැඳුණේ නැහැ.

මොකද විෂය උගන්වන්න පුළුවන් වුණාට ඉංග්‍රීසි පිළිබඳ ලොකු හැකියාවක් ඒ කාලේ තිබුණේ නැහැ. විශ්වවිද්‍යාල ජීවිතය දීර්ඝ වුණත් බොහොම සතුටින් ගෙවුණා. ඊට පස්සේ ඒ විශ්වවිද්‍යාලයේ ම සහාය කථිකාචාර්යවරයෙක් ලෙස පත් වුණා. එයින් වසර දෙකකට පසුව එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණ ආයතනයට ඇතුළත් වෙලා ආචාර්ය උපාධිය ද ලැබුවා. සුළං විදුලි පද්ධති ආශ්‍රිත විදුලි බලාගාරයන් ප්‍රධාන විදුලි පද්ධතිය සමඟ සම්බන්ධ කිරීමේදී ඇති වන ගැටලු නිරාකරණය කරගත හැකි විද්‍යුත් පද්ධතියක් මම එහිදී නිර්මාණය කළා. ආචාර්ය උපාධිය නිමවීමත් සමඟ ම යුරෝපා සංගමයෙන් කළ ලොකු ව්‍යාපෘතියකට මට සම්බන්ධ වෙන්න ලැබුණා. මම ආචාර්ය උපාධියට හැදුවා වගේ ම උපකරණයක් ඩෙන්මාර්ක්වල තියෙන සුළං විදුලි බලාගාරයකට සම්බන්ධ කිරීමක් එම ව්‍යාපෘතිය මඟින් සිදු කෙරුණා. ඒ සඳහා ඩෙන්මාර්ක් විශ්වවිද්‍යාලයක් අපිත් එක්ක එකතු වුණා. පුනර්ජනනීය පද්ධතිවලට තියෙන දැනුම එයින් තවත් වැඩි වුණා. ඊට පස්සේ සෑම වසරක ම මාස තුනක නිවාඩු ලබාගෙන මම එංගලන්තයට ගිහින් නොයෙකුත් පර්යේෂණ කටයුතුවලට සම්බන්ධ වුණා. ඒ අතර වැඩි වශයෙන් ම සිදුකළේ සුළං විදුලි බලාගාර ආශ්‍රිත පර්යේෂණ යි.”

2005 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්යවරයකු බවට පත් වෙද්දී එහි සිටි ළාබාලත ම මහාචාර්යවරයා වූයේ ඔහු ය. 2008 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉවත් වී එංගලන්තයේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරට පසුව ලැබෙන උසස් තනතුර වන ‘රීඩර්’ තනතුර ලැබ එහි වසර හතරක කාලයක් පර්යේෂණ සහ ඉගැන්වීම් කටයුතුවල නිරත ව සිට 2013 වසරේදී නැවත ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස අයැදුම් කොට එය ලබා ගන්නේ ය.

ලංකාවේ විවිධ කටයුතු සඳහා ඔහුගේ දැනුම හා උපදෙස් ලබා ගන්නට විවිධ පාර්ශ්වයන් යොමු වන්නේ ඉන් අනතුරු ව ය. ඒ අනුව මෙගා වොට් සියයකින් යුතු මන්නාරමේ සුළං විදුලි බලාගාරයේ උපදේශකවරයකු ලෙසත්, බලශක්ති අමාත්‍යාංශයේ විවිධ උපදේශක කමිටුවලටත් ඔහු සම්බන්ධ වූයේ ය.

“අපේ රටේ සුළං විදුලි බලාගාර සැකසීම සඳහා අවශ්‍ය තාක්ෂණය උපරිම අයුරින් තියෙනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සහ ආයෝජනය ගැටලු සහිත යි. පළමු සුළං බලාගාරය ඒ.ඩී.බී. ආයෝජනයෙන් සිදු කළ. නමුත් තව ඒවා ස්ථාපිත කරන්න ආයෝජකයින් සොයා ගැනීම අපහසුයි. සුළං විදුලි බලාගාර තුළින් විදුලි පද්ධතියට සිදුවන එක ගැටලුවක් විසඳන්න විසඳුම් මාර්ගයක් අපි 2008 දි විතර සොයා ගත්තා. නමුත් ඒ සඳහා පේට්න් බලපත්‍රයක් ලබා ගන්න අපට මුදල් තිබුණේ නැහැ. එංගලන්තයේ පේට්න් බලපත්‍රයක් ලබා ගන්න ඒ කාලෙත් පවුම් පනස්දාහක් විතර වැය වුණා. අපි එදා සොයා ගත්ත විසඳුම් ක්‍රමවේදය පෞද්ගලික සමාගමකින් දෙන සුළං විදුලි ජනකවල සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කාලේ ඒ දේ අපේ කර ගන්න පුළුවන් වුණා නම් එහි අයිතියෙන් අපට ප්‍රයෝජනයක් ගන්න තිබුණා. නමුත් ඉතින් දැන් අපට ඒ අයිතිය ගැන කියන්න බැහැ.

පුනර්ජනනීය පද්ධති පිළිබඳ උපදේශකවරයකු ලෙස කටයුතු රැසකට සම්බන්ධ වූ මහාචාර්ය ජනක; කොපර් ආයතනය සම්බන්ධ වීමෙන් වියට්නාමයේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ රෙගුලාසි මාලාවක් සකස් කළ අවස්ථාවේදී ඊට උපදේශකත්වය ලබා දුන්නේ ය. මීගමුව හා කටුනායක ස්මාර්ට් මීටර්ස් සවි කළ අවස්ථාවේදී මෙන් ම මෙරට සෝලා පද්ධති කොපමණ එකතු කළ හැකිදැයි කළ පර්යේෂණයකදී ද සිය උපදේශකත්වය ලබා දුන්නේ ය. බංගලාදේශයේ මහාමායා ජලාශයෙහි පාවෙන සූරිය බල පද්ධතියක් සවි කෙරෙන අවස්ථාවේදී එහි ද උපදේශකයකවරයා වූ ඔහු ඉන් පෙර ද බංගලාදේශයේ විවිධ ව්‍යාපෘතිවලට සම්බන්ධ වූයේ ය. ශ්‍රී ලංකාවේ කොවිඩ් පර්යේෂණ කටයුතුවලදී තීරණ ගැනීම්වලට අවශ්‍ය වන තොරතුරු ලබා ගැනීම සහ එම තීරණ ගැනීමෙන් අත් විය හැකි ප්‍රතිඵල කවරේද කියා පෙන්වා දෙන කෘත්‍රිම බුද්ධි පද්ධතියක් මේ දිනවල කැනඩා ආධාර යටතේ නිර්මාණය කරමින් පවතින අතර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුම ද අත්සන් කර තිබේ.

එයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු, වෛද්‍ය හා කලා පීඨ තුනේ මහාචාර්යවරුන්, කොළඹ අයි. පී. එස්. ආයතනය හා මැලේසියාවේ විශ්වවිද්‍යාල කිහිපයක මහාචාර්යවරුන් සම්බන්ධ වන අතර එහි ප්‍රධාන උපදේශකවරයා ලෙස කටයුතු කරන්නේ මහාචාර්ය ජනක ඒකනායක යි. එසේ ම ලෝක බැංකුවේ එහෙඩ් ව්‍යාපෘතියේ ආධාර මත ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනය සමඟ එක් ව සූර්ය බලය අපගේ විදුලි පද්ධතියට වැඩි වශයෙන් යොදා ගතහැකි උපකරණ සම්බන්ධයෙන් ද මහාචාර්යවරයා සිය පර්යේෂණ හා උපදේශන කටයුතු මේ දිනවල ඉටු කරමින් පවතී.

“දැනුම අතින් වෙන රටවල් අබිබවා යා හැකි විද්වතුන් හා බුද්ධිමතුන් පිරිසක් තවමත් අපේ රටේ සිටිනවා. නමුත් ඒ සියලු දෙනා ම තමන්ගේ දැනුම, බුද්ධිය රටේ අභිවෘද්ධිය සඳහා යෙදවූවත් මේ රටේ ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති නිසා හැමදාම සිදු වන්නේ ව්‍යාපෘති යෝජනා එළිදැක්වීම් පමණයි. අලුතෙන් එන ආණ්ඩු විසින් එතෙක් තිබූ ප්‍රතිපත්ති වෙනස් කරලා නැවත නව ප්‍රතිපත්ති ඔවුන් විසින් හදාගෙන යනවා.

මේ නිසා දියුණුවක් ඇති වන්නේ නැහැ. 2050 වෙනකොට කාබන්ඩයොක්සයිඩ්වලින් තොර විදුලි පද්ධතියක් හදන්න එංගලන්තයට අවශ්‍ය වෙලා තියෙනවා. ඒගොල්ලෝ අවශ්‍ය ප්‍රතිපත්ති හදලා 2025 වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එයාලාට 2025 ඉඳලා ඒ සැලැස්ම අනුව වැඩ කරගෙන යන්න විතරයි තියෙන්නේ. ඒ සැලැස්ම කවුරු බලයට ආවත් වෙනස් වෙන්නේ නැහැ. අපේ රටේ එහෙම ස්ථිර තත්ත්වයක් හෝ ස්ථිර ගලා යාමක් නැහැ.”

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මහාචාර්ය සකුන්තලා යටිගම්මන ඒකනායක ඔහුගේ බිරිය වන අතර, ඔවුන්ගේ කැඳැල්ලට කිරි සිනා එක් වූයේ ඉතා ම මෑතකදී ය. සිඟිති දියණියගේ සුරතල් වදනින් ජීවිත වෙහෙස නිවා සැනහෙන බව පවසමින් ඔහු මේ කතාබහට විරාමය තැබුවේ ය.

Comments