රාජ්‍ය මාධ්‍ය තුළ ස්වාධීනව වැඩකරන්න පුලුවන් | සිළුමිණ

රාජ්‍ය මාධ්‍ය තුළ ස්වාධීනව වැඩකරන්න පුලුවන්

 

ප්‍රින්ස් ගුණසේකර

 (දිනමිණ ක්‍රීඩා කර්තෘ)

පසුගිය දා කර්තෘ මණ්ඩල සම්මාන උලෙළේ වසරේ හොඳම ක්‍රීඩා වාර්තාකරණයට හිමි සම්මානය හිමිවුණේ දෙස්, විදෙස් වාර්තාකරණයේ විපුල අත්දැකීම් සහිත මාධ්‍යවේදියකු ලෙස සැලකිය හැකි වර්තමානයේ දිනමිණ පුවත්පතේ ‘ක්‍රීඩා කර්තෘ‘ ප්‍රින්ස් ගුණසේකර ට ය. දසක දෙක හමාරකට අධික කාලයක් ක්‍රීඩා මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කරමින් සිටින ඔහු ලැබූ මෙම සම්මානය සම්බන්ධයෙන් හා ඔහුගේ මාධ්‍ය ජීවිතය පිළිබඳ ‘ක්‍රීඩා‘ පුවත්පත පවත්වන ලද සංවාදයකි මේ.

අපි මුලින්ම දිනමිණ ක්‍රීඩා කර්තෘවරයා වශයෙන් ඔබ, පසුගිය දා ලැබූ සම්මානය ගැන කතාකරමු

තමන් කළ කාර්යයක් මේ විධිහට සම්මානිත වීම ගැන මොකද හිතෙන්නේ?

ඒක විශාල සතුටක් වගේම ඉදිරි වැඩවලට යම් ධෛර්යයක්. දිනපතා පුවත්පත් ගණනාවකම දක්ෂ ක්‍රීඩා මාධ්‍යවේදියෝ අතුරින් මට සම්මානයක් ලැබීම වටිනා අවස්ථාවක්. ලේක්හවුස් ආයතනයේ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු මේ වගේ සම්මානයක් දිනා ඇත්තේ පළමු වරට බව බොහෝ දෙනෙක් කියනවා. ඒ නිසා මේක ආයතනයටත් ගෞරවයක්.

රාජ්‍ය මාධ්‍ය තුළ ස්වාධීනව කටයුතු කරන්න අමාරුයි කියන එක සමාජය තුළ පවතින මතයක්. හැබැයි ඔබේ මේ සම්මානය ඒ මතයට ව්‍යතිරේකයක් නේ ද?

රාජ්‍ය මාධ්‍ය තුළ ස්වාධීනව කටයුතු කරන්න අමාරුයි කියන මතය පිළිගන්න අමාරුයි. නමුත් යම් යම් ප්‍රශ්න එන බව සඟවන්න අවශ්‍ය නෑ. ඒත් අපේ සභාපතිතුමා, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකතුමා පත්තරේ වැඩවලට වාරණ දාලා නෑ. සාක්ෂි සහිතව යම් විවේචනයක් කරනවා නම් ගැටලුවක් ඇතිවන්නේ නෑ. ඉතින් රජයේ මාධ්‍ය තුළ ඒවැනි දේ කරන්න ඉඩකඩ නෑ කියන එක බොරුවක්.

ඔබත් බොහෝවිට ඔබේ ක්‍රීඩා පිටුවේ ප්‍රධාන සිරස්තලය වශයෙන් යොදාගන්න උත්සාහ කරන්නේ යම් අර්බුදයක් හෝ අක්‍රමිකතාවක්. යම් යම් විවේචන සිදුකළ පමණින් ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන්න පුලුවන් කියලා ඔබ හිතනවා ද?

විවේචනවලින් පමණක් ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන්න පුලුවන් කියලා මගේ විශ්වාසයක් නෑ. නමුත් විවේචනය සිදුකළ යුතු නම් එය සිදුකළ යුතුයි. සාධාරණ විවේචන කරනවා නම් එය ක්‍රීඩාව පැත්තෙන් ප්‍රතිඵල දායක වෙනවා.

ඒත් ක්‍රීඩා මාධ්‍යකරණයේ දී ක්‍රීඩකයා, ස්වේච්ඡා නිලධාරියා, පුහුණුකරුවා, ප්‍රේක්ෂකයා ඇතුළු සියලු දෙනා අධෛර්යයට පත් නොකොට ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම යම් අභියෝගයක් නේ ද?

මෙතැනදී සියලු දෙනාගේ අදහස්වලට එක හා සමාන තැනක් දිය යුතුයි. හැම දෙනා දිහාම එක විදිහට බලලා සාධාරණ ලෙස පෑන හසුරවනවා නම් කවුරුත් අධෛර්ය වන්නේ නෑ. හැබැයි ඔබගේ හා අපගේ කාලයෙන් පසු ක්‍රීඩාව ගැන අවබොධයෙන් යුතුව පෑන හසුරවන මාධ්‍යවේදීන්ගේ අඩුවක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ඉදිරියේ ඇතිවන ප්‍රධාන අභියෝගය.

සමාජ මාධ්‍ය, රූපවාහිනිය, ගුවන් විදුලිය එක්ක මුද්‍රිත මාධ්‍යයක ක්‍රීඩා පිටුවක් සංස්කරණය කිරීම තරමක් අභියෝගාත්මක කටයුත්තක්. මේ තත්ත්වයට ඔබ කොහොමද මුහුණ දෙන්නේ?

විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය අතර කවදත් ඔය පරතරය තිබෙනවා. ඔවුන්ට පුලුවන් අපට වඩා වේගයකින් ක්‍රීඩා ප්‍රවෘත්තිය දෙන්න. නමුත් පුවත්පතකට පුලුවන් ටිකක් ගැඹුරට ගිහින් ප්‍රවෘත්තිය ගැන ලියන්න. ඒ නිසා විද්‍යුත් මාධ්‍යයේ කලින් දකින පුවත ගැන තවත් වැඩි විස්තර පුවත්පතින් ලබා දිය හැකියි.

කොතරම් හොඳ ප්‍රවෘත්ති පළකළත් ඒවා සංවාදයට යොමුකරගන්න සිත් ගන්නා සුළු පිටු සැලසුමක් අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් ඔබේ අවධානය මොනවගේ ද?

පුවත්පතකට හොද ප්‍රවෘත්ති වගේම සියුම්ව ලබාගත් විශිෂ්ට ක්‍රීඩා ඡායාරූප අවශ්‍යයයි.එවිට ක්‍රීඩා පිටුවේ අලංකාරත්වය වැඩි වෙනවා. ලේක්හවුස් ආයතනයේ පිටු සැලසුම් අංශයේ අති දක්ෂ නිර්මාණශීලී තරුණ පිරිසක් ඉන්නවා. ඒක අපේ ආයතනයට ආඩම්බරයක්.

ඔබේ ජනමාධ්‍ය ජීවිතය දසක දෙක හමාරක් පමණ ඈතට දිව යන්නක්. අවසන් වශයෙන් ඔබේ මාධ්‍ය ජීවිතයේ ගමන් මඟ ගැනත් වත්මන් රාජකාරී පිළිබඳවත් කතාකරමු?

මා‌ කලින්ම ගුවන් විදුලි නිවේදකයෙක්. පසුව දේශපාලනික හේතුමත මාව සේවයෙන් නෙරපුවා. මම ලේක්හවුසියට ආවේ ජනදාස පීරිස් මහතා සභාපතිවරයා වශයෙන් සිටි කාලයෙයි. ඒ වෙද්දී මා පුවත්පතක වැඩ කරලා තිබුණේ නෑ. බන්ධුල මොල්ලිගොඩ, වර්නන් ගුණසේකර, සම්පත් බණ්ඩාර, සුසන්ත දිසානායක, ජගත් ප්‍රේමචන්ද්‍ර හා දිවංගත සුනිල් අබේවර්ධන වගේ අය මට ඒ සඳහා උදව් කළා. අද ෆවුස් මොහොමඩ් හා නිරෝෂාන් ප්‍රියංකර සමග ‘දිනමිණ‘ ක්‍රීඩා පිටුව සංස්කරණය කරන්නේ මම. අපි තමයි අඩුම කාර්ය මණ්ඩලයකින් ක්‍රීඩා පිටුවක් කරන පුවත්පත.

 

Comments