අතුල විජේනායක හා ක්‍රීඩාව අතර සම්බන්ධය බොහෝම ඈතට දිවයන්නක්. ඔහු නව ක්‍රීඩා රැසක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් එවැනි ක්‍රීඩා සම්බන්ධයෙන් විවිධ පොත පත ලියා පළ කළ ලේඛකයෙක්. එවැනි ක්‍රීඩා වෙනුවෙන් විවිධ සංගම් ආරම්භ කර ඒවා පාසල්වලට හඳුන්වා දෙන්නට මූලිකත්වය ගත් ගුරුවරයෙක්. අද ඔහු අලුත් වැඩකට අත ගසා ඇති බව ‘ක්‍රීඩා‘ වෙත අසන්නට ලැබුණා. මේ ඒ සම්බන්ධයෙන් ‘ක්‍රීඩා‘ ඔහු සමඟ පැවැත් වූ කෙටි සංවාදයකි.
කාලයකට පස්සේ මොකක්ද ඔබ අලුතින් සද්දයක් දාගෙන වැඩක් පටන් අරගෙන තිබෙන්නේ?
වසර 2500 කට එපිටින් තිබුණු ජන ක්‍රීඩා හඳුනාගෙන ඒවා ජන සමාජය වෙත රැගෙන යෑම තමයි අපි කරන්න යන්නේ. මේ වැඩේ මම පමණක් නොවෙයි මේ සංස්කෘතියට ආදරය කරන, මිනිස්සුන්ට ආදරය කරන කණ්ඩායමක් එකතු වෙලා ජන ක්‍රීඩා ප්‍රදර්ශනයක් සූදානම් කරලා තිබෙනවා. මේ මාසයේ 07 වැනිදා මේ ප්‍රදර්ශනය අපි නයිවල සතිපොළ පරිශ්‍රයේ දී ආරම්භ කරනවා.
දැන් ඔබ කොහොමද මේ ඉපැරැණි ජන ක්‍රීඩා හඳුනා ගන්නේ? මොකද ඒක මහා පර්යේෂණ වෑයමක්. එක දවසකින් දෙකකින් ඉවර කරගන්න පුළුවන් වැඩක් නොවෙයි?
ඔව්. මම ඒක දවසෙන් දෙකෙන් කළා කියලා කොහේවත් කියලා නෑ. මේ ජන ක්‍රීඩා සම්බන්ධයෙන් මම කරපු පර්යේෂණය වසර තිහක විතර කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුණා. ඒ තුළින් මම බොහො දේ සොයාගත්තා. ඇත්තටම මේක එක්තරා ආකාරයකට මහා පර්යේෂණයක් තමයි.
මොනවද මේ සඳහා ඔබ මූලාශ්‍ර කර ගත්තේ? ඒවා කර ගන්න කොහොමද ඔබ කාලය යෙදෙව්වේ?
මේ වැඩේ කරන්න පත පොත, පැරැණි ගැමියන් හමුවීම, අපේ ඓතිහාසික බිතු සිතුවම් අධ්‍යයනය, ජන කතා ඇතුළු බොහෝ මූලාශ්‍ර මම මේ වෙනුවෙන් යොදා ගත්තා. ඒ වෙනුවෙන් වසර තිහකට ආසන්න කාලයක් මම ගත කළා කිව්වාම ඔබට එය කොයිතරම් බැරෑරුම් හා ඉවසුම් සහගත වැඩපිළිවෙළක් බව තේරුම් ගන්න පිළිවන්.
දැන් ඔය සොයා යාම හරහා ඔබට ජන ක්‍රීඩා කීයක් විතර හම්බ වුණා ද?
මට ජන ක්‍රීඩා 450 ක් පමණ සොයාගන්න හැකි වී තිබෙනවා. ඊළඟට මම තහවුරු කරගත් දෙයක් තමයි ලංකාවේ තියෙන බොහෝ ජන ක්‍රීඩාවලට ඥාතිත්වයක් සහිත ජන ක්‍රීඩා ඉන්දියාව තුළ ඇති බව. එරට ගැමි සමාජය තුළ මෙවැනි ක්‍රීඩා හඳුනා ගන්න පිළිවන්. එයින් ගම්‍යමාන වෙන කරුණක් තමයි ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිදුවූ සංස්කෘතික ගලනය කොතරම් ප්‍රබලද කියන කාරණය.
ලෝකයේ ඕනෑ තරම් තරගකාරී ක්‍රීඩා, මුදල් උපයන්න හැකි ක්‍රීඩා තිබියදී අතුල විජේනායක මොකක් ද මේ ජන ක්‍රීඩාවක් අල්ලාගෙන කරන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද?
එහෙම හිතෙන්න පුළුවන් අයට මට කියන්න තියෙන්නේ ඒක මේ ක්‍රීඩාවේ පිරිහීම තුළින් ම පිළිතුර හදාගන්න කියලයි. අද ක්‍රීඩාව කොයිතරම් පිරිහිලා තියෙනවා ද? ජය පැරදුම රුස්සන්නේ නැති තත්ත්වයට අද ක්‍රීඩාව ඇවිත් තිබෙනවා. පිටියෙදි එකිනෙකාට පොලු මුගුරුවලින් පහර දෙන තත්ත්වයට ක්‍රීඩාව පත්වෙලා. මේවා සිද්ධ වෙලා තියෙන්නේ ක්‍රීඩාවේ සාරධර්ම බිඳවැටීම හේතුවෙනුයි. ඒක වළක්වන්න හැකි වෙන්නේ ජන ක්‍රීඩාව මඟිනුයි. මොකද ජන ක්‍රීඩාව තුළ ජය පරාජය විඳ දරා ගන්න හුරුව ලබා දී තිබෙනවා.
දැන් ඔබ මේ ජන කෙළි මඬල ප්‍රදර්ශනය පවත්වන්නේ කොහොම ද?
අපි මේ ජන ක්‍රීඩා මොනවාද? ඒවා ප්‍රදර්ශන පුවරු මඟින් පැහැදිලි කරනවා. පාසල් සිසුන් යොදවා ගනිමින් සංදර්ශන ආකාරයට ප්‍රදර්ශනාත්මකව සිදු කර පෙන්වනවා. ඒ ක්‍රීඩා ඇරැඹුණු ආකාරය, ඒවාට සිදුවූ බලපෑම්වලට මුහුණදීම, පසුකාලී ව ඒවා අභාවයට ගිය හැටි ගැන පවා මෙම ප්‍රදර්ශනයේ දී ඉදිරි පරම්පරාවට හඳුන්වා දෙනවා.
මේ වැඩේට විශාල වියපැහැදමක් යනවා ඇති නේ ද?
ඔව්. සැලකිය යුතු වැය බරක් අපිට දරන්න සිද්ධ වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් මෙම ව්‍යාපෘතිය කාලීන අවශ්‍යතාවක් බව තේරුම් අරගෙන අපට සුබ පැතුවා. ආයතන රාශියක් ඊට සහාය දක්වන්න කැමති වුණත් මේ මොහොතේ රටේ තිබෙන තත්ත්වයත් එක්ක ඒකට ඉදිරිපත් වන්නට බැරිකම ගැන කනගාටුව පළ කළා. ඔවුන් කියන්නේ ඉදිරියේ දී අනිවාර්යයෙන්ම ජන කෙළි මඬලට සහාය දක්වන්න කටයුතු කරනවා කියලයි. කොහොම නමුත් මගේ පෞද්ගලික මුදල් ද යොදවා ගනිමින් තවත් පෞද්ගලික මට්ටමේ හිතවතුන් යොදා ගනිමින් අපි මේ වැඩේ කරගෙන යනවා. ආරම්භ කළ වැඩක් පස්සට දාන්න මට හුරුවක් නෑ. රටේ අනාගතය භාරගන්න ඉන්න තාරුණ්‍යයට අවශ්‍ය ජවය එකතු කරන්න අපේ පෞඩ සංස්කෘතියේ උරුමය ඔවුන්ට තහවුරු කරලා දෙන්න තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ. එය සාර්ථක කර ගන්න අපි අනිවාර්යයෙන් කටයුතු කරනවා.
දැන් මේ ප්‍රදර්ශනය නයිවල සතිපොළෙන් ඉවර වෙනවා ද නැත්නම් රට පුරා සංදර්ශන චාරිකාවක නිරත වනවා ද?
මේක අපි රට පුරා සංදර්ශන මාලාවක් වශයෙන් පවත්වනවා. ඒ ඒ ප්‍ර දේශවලින් ලැබෙන ඇරැයුම් අනුව ප්‍රදර්ශන සංවිධානය කරන්න තමයි අපේක්ෂාව. මේ ගමනට සාපේක්ෂව විවිධ ජන ක්‍රීඩා පුහුණු කරමින් ජන ක්‍රීඩා කණ්ඩායම්, ජන ක්‍රීඩා සමාජ රටේ ස්ථාපිත කරමින් අපි මේ ගමන යන්නයි අපේක්ෂා කරන්නේ.
ඒ කියන්නේ මේක ලොකු වැඩක් වශයෙන් අඛණ්ඩව පවත්වාගෙන යන්න ඔබ ඇතුළු කණ්ඩායම සූදානම්?
ඇත්තෙන්ම. කවුරුන් කොහොම කකුලෙන් ඇද්දත්, මඟහැර ගියත්, කඩාකප්පල් කරන්න හැදුවත් අපි මේ ව්‍යාපෘතිය සිදු කරනවා. මේක කරන්නේ අනාගත දරු පරපුර වෙනුවෙනුයි. අපිට තියෙන සංස්කෘතික උරුමය ක්‍රීඩාව තුළින් සමාජගත කිරීම අපේ වැඩක්. එමඟින් ජාතික සමගිය වර්ධනය කරන්න, තරගකාරීත්වය වෙනුවට සුහදත්වය හුරු පුරුදු කරන්න, ජයග්‍රහණයම පතන ම්ලේච්ඡත්වය වෙනුවට මනුෂ්‍යත්වය රැගෙන එන්න අපිට හැකිවෙන බව විශ්වාසයි.
-------------------
ආසියානු කරාතේ පදක්කමට සැරසෙන ශාන්ත ප්‍රැන්සිස් විදුහලේ ඉෂ්කා
චීනයේ හැන්ජෝ හී දී මෙම වසරේ සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා කරාතේ කුමිතේ කිලෝග්‍රෑම් 50 බර පන්තිය වෙනූවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා කැලණිය, දළුගම ශාන්ත ප්‍රැන්සිස් මහා විදුහලේ ඉෂ්කා මූතූවන්තී ක්‍රීඩිකාව සුදුසුකම් ලැබුවා ය.
කරාතේ කූමිතේ බර පන්ති දහයකට සූදූසූකම් ලැබීමේ තරගාවලියේ දී මේ සඳහා ඈ තෝරාගත් අතර මීට පෙර ඈ මෙම ඉසව්වෙන් දකූණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
ඇගේ දක්ෂතාවයන්ට අනුව මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කමක් දිනා මව් රටට සහ විදුහල් මාතාවට කීර්තියක් අත් කර දෙනු ඇතැයි විදුහල්පති කුවින්ටස් පෝල්, පුහුණූකරු වසන්ත සෙනවිරත්න , ක්‍රීඩා උපදේශිකා කුමුදු ප්‍රියංකා යන මහත්ම මහත්මීහු විශ්වාසය පළ කරති.
ජෝශප් පයස්-වත්තල විශේෂ
--------------------
චාතුර්යය - අංජලිකා මැටි පිටි ජාතික ටෙනිස් ශූරයන්
ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය විසින් සංවිධානය කළ මැටි පිටි (Clay court) ජාතික ශූරතා ටෙනිස් තරගාවලියේ පිරිමි හා කාන්තා ශූරතා පිළිවෙළින් චාතුර්යය නිලවීර හා අංජලිකා කුරේරා විසින් දිනා ගත් හ.
සෙවණගල දී දරුදැරියන්ට පුහුණු සැසියක්
ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අනුග්‍රහය ඇතිව සෙවණගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ පාසල් දරු දැරියන් සදහා වූ ක්‍රීඩා පුහුණු වැඩමුළුවක් පසුගිය 25 වැනි දා සෙවණගල සීනි කර්මාන්ත ශෘලා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
කැම්ලස් කුසලාන මාතලේට
ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සංවිධානයෙන් පැවැති කැම්ලස් කුසලාන අන්තර් සමාජ පිරිමි හොකී තරගාවලියේ ශූරතාව දිනා ගැනිමට මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය. පසුගිය 27 වැනි දා පැවැති අවසන් මහා තරගයේ දී ඔවුන් සී.එච් අන්ඩ් එෆ්.සී. කාණ්ඩායම ගෝල 2 -0 ක් ලෙස පරාජය කළේ ය.
වසර හයකට පසු ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සය වසරකට පසු පූර්ණ ක්‍රිකට් තරගාවලියක් සදහා එළඹෙන ජූනි මසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. ජූනි හා ජූලි මාසවල දී පැවැත්වීමට නියමිතව ඇති මෙම තගරගාවලියට විස්සයි 20 තරග 3 ක්, එක්දින තරග 5 ක් හා ටෙස්ට් තරග 2 ක් ඇතුළත්ව ඇත.
අවසන් වරට 2016 වසරේ සිදු කළ ශ්‍රී ලංකා සංචාරය ටෙස්ට් තරගාවලිය තරග 3 – 0 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
නිදර්ශනාට රන් පදක්කමක්
ඉන්දියාවේ චෙන්නායි නුවර අන්තර්ජාතික බ්‍රේව් බොක්සිං කවුන්සිලය සංවිධානය කළ ජාත්‍යන්තර බොක්සිං තරගයකින් රන් පදක්කමක් දිනා ගැනීමට මුලතිව් හි යෝගරාසා නිදර්ශනා ක්‍රීඩිකාව සමත් විය.
ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ට මූල්‍ය අවභාවිත චෝදනාවක්
2016 වසරේ රියෝ ඔලිම්පික් උළෙල සඳහා පිටත්ව ගිය ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන් දෙදෙනකු අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඩොලර් දසදහසක් ගමන් වියදම් සඳහා ලබාගෙන තිබිය දී ඒ සඳහා වන වියදම් මෙරටින් ද ලබාගත් බවට චෝදනා විමර්ශනය කරන බව වාර්තා වෙයි.
‘එෆ්’ කාණ්ඩයේ වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලිය ඇරැඹේ
වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය වාර්ෂිකව සංවිධානය කරන වෙළෙඳ සේවා ක්‍රිකට් ‘එෆ්’ කාණ්ඩයේ පන්දු වාර 25 ලීග් තරගාවලියට සිව්වැනි වරටත් ‘ෆෙයාර් ෆස්ට්’ (fairfirst insurance) රක්ෂණ ආයතනයේ අනු-ග්‍රාහකත්වය පිරිනමා ඇත.
ෆෙයාර් ෆස්ට් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සංදීප් ගෝපාල් මහතා විසින් වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති නලීන් වික්‍රමසිංහ මහතා වෙත අනුග්‍රාහකත්වය පිරිනමමින්. ෆෙයාර් ෆස්ට් රක්ෂණ සමාගමේ ප්‍රධාන විකුණුම් නිලධාරී සසිත බබරදෙණිය, ප්‍රධාන අලෙවි නිලධාරී සංජය සිරිවර්ධන, තරගාවලියේ ප්‍රධාන විධායක මෙන්ම වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහේෂ් ඩී. අල්විස් හා වෙළෙඳ සේවා ක්‍රීකට් සංගමයේ ලේකම් තරීන්ද්‍ර කළුපෙරුම ද ඡායාරූපයේ වෙති.
ගීෂා මුණසිංහ