අඳුරු උමඟක සිර වුණු කඳුළු ජීවිතය එළිය කළේ රග්බි ක්‍රීඩාවයි | සිළුමිණ

අඳුරු උමඟක සිර වුණු කඳුළු ජීවිතය එළිය කළේ රග්බි ක්‍රීඩාවයි

 

වාර්ෂික ව පැවැත්වෙන ප්‍රධානත ම කාන්තා රග්බි තරගාවලිය ඉකුත් සති අන්තයේ දී ඇරඹිණි. ඒ සික්ස් නේෂන් හෙවත් ජාතීන් 06 තරගාවලිය යි. එහි දී පැවැති ආරම්භක තරගයක දී තරග කළේ අයර්ලන්තය සහ වේල්ස ය යි. එම වේල්ස් කණ්ඩායමට ඇතුළත් වූ ක්‍රීඩිකාවක් වූයේ ලොව්රි නොර්කෙට් ය.

ලොව්රි වේල්ස් සංචිතයට තෝරා ගැනීමම විශේෂිත ය. ඒ සිය නැඟණියගේ පැතුම ඉටු කිරීමට ඇයට අවසන දී හැකි වූ නිසා ය. එහෙත් මෙහි ඉතා කනගාටුදායක කරුණකුත් ඇත. එනම් සිය වැඩිමහල් සොහොයුරිය ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනු දැකීමට නැඟණිය අද ජීවතුන් අතර නැති බැවිනි.

නෝර්කෙට් පවුලේ දියණියන් දෙදෙනාගෙන් මුලින්ම වේල්ස් ජාතික කණ්ඩායම නියෝජනය කළේ නැඟණිය වූ එලී ය. ඇය වේල්ස් ජාතික රග්බි කණ්ඩායම 2014 සිට 17 දක්වා නියෝජනය කළා ය. එහි දී ඇයට ජාත්‍යන්තර තරග සතරකි. 2014 වසරේ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ළාබාලත ම ක්‍රීඩිකාව වූයේත් එලී ය. දෛවය මහා පුදුමාකාර ය. එය නොසිතූ දෙය ම සිදු කරයි. එලීටත් එය එසේම විය. 2017 වසරේ පෙබරවාරි මස දිනක එලී සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියා ය. අවාසනාවක මහත, මෝටර් රථය හදිසි අනතුරකට ලක්

විය. එලී හට මෙලොවින් සමු ගැනීමට සිදු වූවාය. එවිට ඇගේ වයස අවුරුදු

20 ක් පමණක් විය.

“එය අපි කිසිම කෙනෙකු බලා-පොරොත්තුව සිටිය දෙයක් නොවේ. අදටත් අපිට ඇයට සිදු වූ දේ ගැන

සිතා ගන්න බැහැ” ලොව්රි පවසන්නී ය.

ලොව්රි එවිට දැල්පන්දු ක්‍රීඩිකාවකි. එසේ වූවත් එලී හට අවැසි වූයේ සිය සොහොයුරියත් සමඟ ම රග්බි ක්‍රීඩාවෙන් ජාතික කණ්ඩායම නියෝ-ජනය කිරීමයි. ඔවුන් ඊට පෙර එකට රග්බි ක්‍රීඩා කර තිබුණේ පාසලේ

පැවැති තරගාවලියක දී පමණි.

“නංගි වෙනුවෙන් අනුස්මරණ තරගයක් පැවැත්වුණා. එම තරගයට ක්‍රීඩා කරන්න කියලා මට බොහෝ දෙනෙක් ආරාධනා කළා. ඉතින් මම ක්‍රීඩා කරන්න තීරණය කළා. එහි දී තමයි මම සෑහෙන කාලයකට පසුව රග්බි පන්දු-වක් නිසි පරිදි අතට ගත්තේ. එදා මට රග්බි ක්‍රීඩාව ගැන ආදරයක් ඇති වුණා. ඒ වගේම දිගුකාලීන ඉලක්කයක් තිබුණා. සිහිනයකුත් ඇති වුණා. ඒ කවදා හරි දවසක වේල්ස් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා කියලා. මගේ නංගිට ඕනෑ වුණෙත් එයමයි. දැන් අවුරුදු 05ක් ගත වී තිබෙනවා. අද එම සිහින සැබෑ කර ගැනීමට හැකි වීම ගැන මට හරිම සතුටක් දැනෙනවා. මගේ නංගි අද ජීවත් වී සිටියා නම් එයාත් අනිවාර්යයෙන්ම සතුටු වෙනවා” ලොව්රි අද පවසන්නී ය.

සිය නැඟණියට ගරු කිරීමක් වශ-යෙන් ලොව්රි රග්බි ක්‍රීඩාවේ දිගටම නිරත වූවා ය. ඊට ඇගේ ක්‍රීඩා හැකියා-වත් කදිමට ගැළපුණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඉකුත් දෙසැම්බරයේ දී වේල්ස් කාන්තා ජාතික රග්බි පුහුණු කඳවුරට ඇයට කැඳවීමක් ලැබීමයි.

එය සිදු කළේ වේල්ස් කාන්තා රග්බි ප්‍රධාන පුහුණුකරු වූ අයොන් කනිංග්හැම් විසිනි. “ඇය ව තෝරා ගත්තේ තනිකරම දක්ෂතාව මතයි. ඇය විශිෂ්ටයි. ඇය කණ්ඩායමට එකි-නෙකට වෙනස් ප්‍රහාරාත්මක ක්‍රීඩා රටා-වක් ගේනවා. පන්දුව අතේ තිබුණත් නැතත් ඇය ශක්තිමත් ව ක්‍රීඩා කර-

නවා. ඇයව හැඟීම්බරව කණ්ඩායමට තෝරා ගත්තේ නැහැ” කනිංග්හැම් පවසයි.

මීට සති කිහිපයකට පෙර ජාතීන් 06 තරගාවලියට පෙර සූදානමක් ලෙසට තරග කිහිපයකට වේල්ස් ජාතික කණ්ඩායම ක්‍රීඩා කළා ය. තරගයක් පැවැත්වූයේ අමෙරිකා එක්සත් ජනපදය සමඟිනි. ලොව්රිව එම කණ්ඩායමට තෝරා ගෙන තිබිණි.

ඉකුත් කාලයේ දී ඇය ක්‍රීඩා කළ ආකාරය අනුව ජාතීන් 06 තරගාවලියට තෝරා ගත් වේල්ස් සංචිතයටත් තෝරා ගත්තේ ය.

“නංගි නිසා තමයි මම අද රග්බි ක්‍රීඩිකාවක් වී ජගත් මට්ටමින් ක්‍රීඩා කරන්නේ. ඇය වෙනුවෙන් එදා මම ක්‍රීඩාවට යොමු වුණා. නමුත් අද මම මා වෙනුවෙනු ත් ක්‍රීඩා කරනවා. මම රග්බි ක්‍රීඩාවට ආදරෙයි. එලී නැති වූ වේදනාව තරමක් දුරට හෝ අඩු කර ගන්නට මට රග්බි උදව් කළා.” ලොව්රි තවදුරටත් පවසන්නී ය.

වැඩිදුරටත් අදහස් දක්වන ලොව්රි මෙසේ ද පැවසුවා ය. “උමඟක අවසානයේ ආලෝකය මට ලබා දුන්නේ රග්බි ක්‍රීඩාවයි. එලී අහිමි වුණාම ජීවිතය මොන වගේ ද කියලා දැනුණේ නැහැ. ඇය නැති ජීවිතයක් ගැන මම හිතුවේ නැහැ. අහිමි වීම ගැන දිනපතා දැනෙනවා. නමුත් එය තරමක් දුරට හෝ අඩු කර ගන්න රග්බි ක්‍රීඩාව උදව් වුණා.”

රග්බි ක්‍රීඩා කරන විට සිය නැඟණිය තමන් අසල සිටින බවට හැඟීමක් දැනෙන බව ලොව්රි පවසන් නීය. “ඔව්. ඒක ඇත්තක්. ඇයට අපි එකට ක්‍රීඩා කරනවා දකින්න ඕනෑ වුණා”. වත්මන් වේල්ස් කාන්තා රග්බි කණ්ඩායමේ නායිකාව වන්නේ සිවාන් ලිලික්‍රැප්ය. “එලී මගේ සමීපතම මිතුරියක් වී සිටියා. ඇය අපිට නැති වෙලා මෙතරම් කාලයක් ගත වූ බවට විශ්වාස කරන්නත් අමාරුයි. ලොව්රිට මෙය විශේෂිත අවස්ථාවක්. ඇයට මේ අවස්ථාව ලැබිය යුතුමයි. ඇය දැඩි කැපවීමකින් ක්‍රීඩා කරනවා. ඇය රග්බි ක්‍රීඩාවට ආවේ එලී නිසයි. එලීට ඕනෑ වුණෙත් එයමයි.”

තමන්ට දිනපතාම සිය නැඟණිය සිහිපත් වන බව ලොව්රි පවසන්නී ය. “එලී නැති වූ දා සිට ඇයව අපි විවිධ අයුරින් සිහිපත් කරනවා. ඇය ගැන නිතරම කතා කරනවා. සමහර විට ඇය නැති වූ බව දැනෙන විට තවමත් අපිට අමාරුයි. එහෙම වුණාම අතීතයේ දී ඇය අපි සමඟ ගත කළ කෙටි කාලය ගැන සිහිපත් කරලා සතුටු වෙනවා. ලෝක කුසලානයට සහභාගි වන විට ඇයට අවුරුදු 17 ක් විතරයි. හුඟාක් අයට එම වයසේ දී එවැන්නක් කළා කියලා කියන්න බැහැ. ඇය එතරම් ම දීප්තිමත් තරුවක්”.

ඉදිරියේ දී ජාතික කණ්ඩායම නියෝජනය කිරීම වෙනුවෙන් විශේෂිත කැප් තොප්පියක් ලොව්රිට ලැබෙනු ඇත. එය සිය මවුපියන් වන කිම් සහ කැරොලයින්ට ත්‍යාගයක් ලෙස පිරිනැමීමට ලොව්රි දැනටමත් තීරණය කර ඇත.

“ඇය මිය යෑමට කලින් නව සපත්තු ජෝඩුවක් ගෙනාවා. දැන් ඒවා තිබෙන්නේ මා ළඟයි. මම නිතරම ඒවා පලඳිනවා. ඇය ලෝක කුසලාන තරගාවලියේ දී භාවිත කරපු ටී ෂර්ටය දැන් තියෙන්නේ අපේ මවුපියන් ළඟයි. මට ලැබෙන කැප් එකත් ඔවුන්ට මම තෑග්ගක් ලෙස දෙනවා”.

ලොව්රි වෘත්තීමය ක්‍රීඩිකාවක් නොවේ. ඇය වෘත්තියෙන් ශාරීරික අභ්‍යාස ගුරුවරියකි. ඇගේ සහකරු වන ටොම් මෝර්ගන් ද රග්බි ක්‍රීඩකයෙකි. ඔහුත් ලද සෑම අවස්ථාවකදී ම ඇයට සිය සහාය ලබා දෙයි.

ලොව්රි ක්‍රීඩා කළ මංගල තරගය නැරැඹීමට මවුපියන්, ආච්චි සහ සීයා මෙන්ම ටොම් ද පැමිණ සිටිය හ. ඊට අමතරව සිය නැඟණියගේ ආශිර්වාදයත් නොඅඩුව තමන්ට ලැබුණු බව ලොව්රි ගේ විශ්වාසයයි.

 

Comments