මට ඕනේ වුණේ මගේ බිරිය කළ කැපකිරීමට වටිනාකමක් දෙන්න | සිළුමිණ

මට ඕනේ වුණේ මගේ බිරිය කළ කැපකිරීමට වටිනාකමක් දෙන්න

ඇත්තටම නම් දැනුම කියන එක සමාජයේ තියෙන්නේ. සමාජයේ දේවල් ගැන අවදියෙන් ඉන්න කෙනා තමයි නිවැරදි දැනුම තියෙන මනුස්සයා

මෙතන මට වැදගත් සල්ලි නෙවෙයි. මිනිස්සු මාව කොහොම වැළඳ ගනීද? කොහොම ප්‍රතිචාර ලැබෙයිද? ඒකට තමයි මම ආස වුණේ

 

දැනුම සහ බුද්ධිය උරගා බලන, සිරස ලක්ෂපති වැඩසටහන් ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් මිලියන 3ක් දිනාගත් ජයග්‍රාහකයකු පසුගිය දිනෙක බිහි වුණා. ඔහු නමින් ජූඩ්. සිය දැනුමෙන් සහ බුද්ධියෙන් මෙම විශිෂ්ට ජයග්‍රහණය ලබාගත් ජූඩ් ගැන බොහෝ දෙනෙක් මේ වෙද්දී කතාබහ කරනවා. ඒ නිසාම රසඳුන අපි අපේ සොඳුරු කතා බහකට ජූඩ්ව සම්බන්ධ කර ගත්තා.

 

නම - ජූඩ් පෙරේරා

ගම - බත්තරමුල්ල

පාසල - ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ බප/ජය ලංකා සභා කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සේ ශිෂ්‍යත්වයෙන් පාසලෙන් දෙවැනි තැනට වැඩිම ලකුණු අරන් සමත් වෙලා කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයට ගියා.

වෘත්තීය - පෞද්ගලික ස්වර්ණාභරණ විකුණුම් ආයතනයක ශාඛා කළමනාකරුවෙක් විදියට වැඩ කරනවා.

 

සිරස ලක්ෂපති තරගයට එන ගමන මතක් කළොත්

ඇත්තටම කියනවා නම් එහි සම්පුර්ණ ගෞරවය යන්න ඕනේ මගේ බිරියට. එයා දන්නවා මගේ දක්ෂතා සහ හැකියාවන්. ඒ නිසා ඉස්සර ඉඳන්ම මට කිව්වේ ඔයා ලක්ෂපති එකට යන්න කියලා. මම ඒත් අදිමදි කළා. මොකද මම දන්නවා කොච්චර ලොකු දැනුමක් තියෙන්න ඕනෙද කියලා. එයා 7780ට කතා කරලා එයා උත්තරේ දීලා එයා මගේ විස්තර දීලා තියෙන්නේ. මම වැඩ ඇරිලා ආවම කිව්වා ඔන්න මම කතා කළා මෙන්න නම්බර් එක දැන්වත් ලැස්ති වෙන්න කියලා. ඉතින් මට ඒක ප්‍රතික්ෂේප කරන්නත් බැහැ. අනික් අතට මමත් කැමති වැඩ සටහනක්. මම ටීවී බලන්නෙත් නැහැ. බලන්නෙත් වොයිස් ටීන් සහ ලක්ෂපති විතරයි.

 

එතකොට තරග අත්දැකීම කොහොමද?

මට එහෙම බයක් චකිතයක් තිබ්බේ නැහැ. දිගින් දිගටම ප්‍රශ්න වලට උත්තර දෙන එක මම කළා. නමුත් සමහර ප්‍රශ්න තිබ්බා මට හරියටම අදහසක් නැති. අන්න ඒ ප්‍රශ්නවලදී මට චකිතයක් තිබ්බා. කොහොමද මම ගළපා ගන්නේ කියලා. එතැනදී මම හරිම ලයිෆ් ලයින් එක ගන්නත් ඕනේ. අපි වැරදි ලයිෆ් ලයින් එකක් එහෙම පාවිච්චි කරා නම් සම්පුර්ණයෙන්ම තරඟය ඉවරයි. මට එතැනදී මුදල නෙවෙයි වැදගත් වුණේ. තරගයෙන් පුළුවන් තරම් ඉදිරියට එන්න. ඒ නිසා තමයි ගොඩක් කල්පනා කරලා ඒ ගමන ආවේ.

 

කොහොම හරි ඔබ මිලියන තුනක් දිනනවා, මොකද හිතෙන්නේ ඒ ගැන

ඇත්තටම කියන්න මිලියන තුනට වඩා මට සතුට තියෙන්නේ ඒ තරගය මම දින්නා කියන එක. ඒ කියන්නේ ඇත්තටම අද කාලේ හැටියට මිලියන තුනක් කියන්නේ ලොකු ගාණක් නෙවෙයි. දැන් තියෙන බඩු මිලත් එක්ක. ඒ නිසා මෙතන මට වැදගත් සල්ලි නෙවෙයි. නමුත් මිනිස්සු මාව කොහොම වැලඳ ගනීද? කොහොම ප්‍රතිචාර ලැබෙයිද? ඒකට තමයි මම ආස වුණේ. විශේෂයෙන්ම මගේ බිරිඳ කළ කැපකිරීමට මට ඇත්තටම ඕනේ වුණේ ඒකට වටිනාකමක් දෙන්න. ඒ වගේම මගේ ජිවිතේ ගොඩක් දේවල් තියෙන්නේ මම සතුටු වෙනවට වැඩිය අනුන්ව සතුටු කරන එක. මගේ අම්මා තාත්තා සහෝදරිය ඇතුළු පවුලේ අය සතුටු කරන එක. මාව දන්නා අය ඒක දන්නවා. අන්තිමට ඉතින් හැමෝම සතුටු කරන්න මට පුළුවන් වුණා.

 

ජූඩ් අනාගතය ගැන හිතලා මොනවද කරන්න ඉන්නේ

මම දැනටත් පොඩියට මගේම ව්‍යාපාරයක් විදියට ටිෂර්ට් ඩිසයිනින් කරගෙන යනවා. මම ආසයි ඒ දේට. ඩිසයිනින් පැත්තේ මම ඩිප්ලෝමාවක් පවා කරලා තියෙනවා. ඒ නිසා මම කැමතියි ඒ පැත්තෙන්ම ඉස්සරහට යන්න. මේ ජනප්‍රියත්වය මේ කතාබහ බොහොම තාවකාලික දේවල්. මගේ දේවල් දියුණු කරගෙන ඉස්සරහට යන්න තමයි අදහස් කරන් ඉන්නේ.

 

පවුලේ විස්තර ටිකක් කියමු

මට ඉන්නේ අම්මා, තාත්තා සහ නංගි. නංගී විවාහ වෙලා මාතර ඉන්නේ. අම්මා තාත්තා නම් දැන් වයසයි. දැන් ඇවිදින්නත් අමරුයි. ඒ නිසා තමා එදා එක්කගෙන ආවේ නැත්තේ. අම්මා තාත්තවත් බලාගෙන අපේ පුතාලා දෙන්නත් බලාගෙන ඉන්න යකඩ ගැහැනිය තමයි මගේ බිරිය. ඇයගේ නම රෝශිකා දිල්හාරි ජයසිංහ. ලොකු පුතා රාහෙල් රුවාෂ්. පොඩි පුතා රහීන් රෙහාෂ්.

 

සමාජයට මොන වගේ පණිවිඩයක්ද?

දැනුම කිව්වම ඉතාම වැදගත් යැයි සම්මත ටයි කොට් දාපු පෙනුමක් තියෙන චරිතයක් තමයි අපේ ඔළුවේ මැවෙන්නේ. හැබැයි ඇත්තටම නම් දැනුම කියන එක සමාජයේ තියෙන්නේ. සමාජයේ දේවල් ගැන අවදියෙන් ඉන්න කෙනා තමයි නිවැරදි දැනුම තියෙන මනුස්සයා. එතකොට අපි ඉන්නේ වැරදි ප්‍රතිරූපයක. අනික දැනුම කොටු කරන්න බැහැ. යම්කිසි ඇඳුමකින් දැනුම නිගමනය කරන්න බැහැ. මම ගොඩක් වෙලාවට දුරකතනය අතට ගත්තත් මම බලන්නේ රට තොට මොනවද වෙලා තියෙන්නේ කියන දේ. ඉගෙන ගන්න දෙයක් තියෙනවද කියන එක ගැන තමයි මම බලන්නේ. මගේ දරුවෝ පොඩියි. දැන්ම ඉඳන් මම ඒ අයට කියලා දෙන්නෙත් ඒවා. ඒ නිසා දැනුම කියන එක හැමදාම මම එකතු කර ගන්නවා. දැන් ෆෝන් එකෙන් ඕනෙම පොතක් කියවන්න පුළුවන්. ඒනිසා සමාජය එක්ක යාවත්කාලීන වෙලා ඉන්න ඕනේ. ඒ නිසා හැමතිස්සෙම හැමදෙයක් ගැනම අවදියෙන් ඉන්න කියන එක තමයි සමාජයට, අපෙන් පසු පරම්පරාවට කියන්න තියෙන්නේ.

Comments