
කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපන ලද උපාලි වනිගසූරිය නම් ඔහු දශක කිහිපයක් තුළ නවකතා රැසක් බිහිකරමින් යොවුන් ආදරයේ මතක සටහන් පාඨක හදවත් තුළ සනිටුහන් කළේය. ලේක්හවුස් අායතනය එවකට පළ කළ යොවුන් ජනතා පුවත්පතට, ධර්මසිරි ගමගේ සූරීන්ගේ ආරාධනයෙන් ඔහු ලියා කොටස් වශයෙන් පළ වූ ‘හෙට සමුගනිමු අපි‘ නවකතාව එදා පාඨක සිත් ඇඳ බැඳ ගත්තේය. සිය අධ්‍යාපන කටයුතුවලින් පසුව ආයතන කිහිපයකම රැකියාව කළ ඔහු අවසන්වරට රැකියාව කළේ උපාලි පුවත්පත් ආයතනයේ මානව සම්පත් කළමනාකරු ලෙසයි.
ඔහු ලියූ දෙව්දුව, කිරි සුවඳ, නව කතා ඇසුරින් චිත්‍රපටද, සුදුපියුම්, වසන්තය නිමාවිය, නොහඬන් සූරිය කාන්තා, ඉතින් මට අවසරයි, හෙට සමුගනිමු අපි, මාලතී මල් නවකතා ඇසුරෙන් ටෙලිවෘතාන්ත ද නිර්මාණය විය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ මහ ලේකම් ලෙස වසර විස්සක් කටයුතු කළ උපාලි වනිගසුරිය වර්තමානයේ ඒ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
1. මගේ පළමු නවකතාව
රොනට ඇදුණු සමනලියක් මගේ පළමු නවකතාව. එය පළවුණේ 'ශ්‍රී' සඟරාවේ මහ දිග කතාව යන විශේෂාංගය යටතේ. දකුණු පළාතේ ගිං ගඟ පසුබිම් කරගෙන ලියැවුණ අනුවේදනීය ආදර කතාවක්.
නමුත් පොතක් වශයෙන් පළවුණු මගේ පළමු නවකතාව 'ප්‍රේමකතාව'යි..1969 වසරේ ඇමරිකානු ලේඛකයෙක් වන එරික්සෙගාල්ගෙ ලව්ස්ටෝරි කියන නවකතාව නිකුත් වුණා. එය අපේ රටේ ඉතාම ජනප්‍රිය වුණා.ඒඋණුසුමේමයි මගේ පළමු මුද්‍රිත නවකතාව සුදානම් වුණේ. ඒ නිසා ම එයට ප්‍රේමකතාව යන නම තැබුවා. ඒ කතාවට අන්තර්ගත වුණේ යොවුන් ප්‍රේමය. එය ගොළු හදවතත් සමඟ පැතිරුණු ප්‍රේමකතා රැල්ලේ ප්‍රතිඵලයක් කියන්නත් පුඵවන්.
2. එහි සිත්ගත් හා සංවේදී අවස්ථා
රොනට ඇදුණු සමනලියක්හි ප්‍රධාන චරිතය සේපාලි නම් ශිෂ්‍ය ගුරුවරියක්. ඈ පාසලේම ගුරුවරයෙක් සමඟ පෙමින් බැඳෙනවා. නමුත් ගුරුවරයාගේ මව මේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වෙනවා. පාසලට පැමිණ සිසුන් ඉදිරියේ ඇයට නින්දා අපහාස කරනවා. අවසානයේදී ගුරුවරිය ගිං ගඟට පැනදිවි නසා ගන්නවා. නමුත් හැම කෙනෙක්ම සිතන්නේ ඇය රළපහරකට හසුව මියයන්නට ඇති බවයි. ඒ නවකතාව අවසන් වන්නේ මේ විදිහටයි.
'අද සවස අක්කාගේ භූමදානය සිදුවිය. පාසලේ ශිෂ්‍යශිෂ්‍යාවන් මෙන්ම ගුරු මණ්ඩලයද අක්කාට අවසන් ගෞරවය දැක්වීම පිිණිස පැමිණ සිටියහ.පිස්සියක් සේ හඬා වැලපෙමින් අවමංගල පෙරහරේ ගමන් කරන මා අසලින් අක්කාගේ පන්තියේ ශිෂ්‍යාවන් කිහිප දෙනෙකුද ගමන් කරන අයුරු මට පෙණින. ආධ්‍යාත්මික ආදරයයි. අපි සේපාලි මිස්ගෙ අවමංගල්ලෙට එන්න ලැහැස්ති වෙනකොට ආරංචියක් ආව සෝමරත්න සර්රුත් ගඟේ ගිලිලා මැරිල කියලා'. මේ කොටස් මගේ මතකයේ ඇති සංවේදී අවස්ථා.
3.මගේ වෙනත් නවකතා සහ ලැබුණු පාඨක ප්‍රතිචාර
පාඨක ප්‍රතිචාර ඉහළින්ම ලැබුණු පොත් දෙකක් ගැන සඳහන් කරන්නට කැමතියි. එකක් දෙව්දුව, අනික සුදු පියුම්, දෙව්දුව නවකතාවට පසුබිම් වුයේ ඕගන් වාදකයකු හා කන්‍යා සොයුරියක් අතර ඇතිවන අපරිමිත සෙනෙහසයි. මෙය චිත්‍රපටයක් ලෙසත් ප්‍රතිනිර්මාණය වුණා.
මාලනී ෆොන්සේකා නීලියා නැමති කන්‍යාසොයුරිය ලෙසත් විජය කුමාරතුංග ඕගන් වාදනය කරන ඇන්ටන් ලෙසත් රඟපෑවා. දෙව්දුව චිත්‍රපටය තහනම් කරන ලෙස ආගමික සංවිධාන චිත්‍රපටය ප්‍රදර්ශනය කළ සිනමා ශාලා අසල උද්ඝෝෂණය කළත් එවැනි තහනමක් පැනවුයේ නැහැ.
අනික් නවකතාව තමයි සුදු පියුම්. කුල බේදය කරපින්නා ගත් මවුපියන් නිසා තරුණ ජීවිතවලට සිදුවන හානිය ගැනයි මේ නවකතාවෙන් කියවෙන්නේ.
සරෝජිනී ගමේ තරුණයෙක් වන පරාක්‍රම සමඟ පෙමින් බැඳෙනවා. ඔහු අයියාගේ මිතුරෙක්. නමුත් ඔහු මේ ප්‍රේම සම්බන්ධයට විරුද්ධයි. සරෝජිනි හා පරාක්‍රම සිනමා ශාලාවකින් එළියට එද්දී නැඟණිය දකිනවා.
ඇය පැමිණ අයියාට කේලම කියනවා. නිවසට පැමිණි සරෝජිනිට අයියා පහර දීම නිසා ඇගේ මොළයට හානි වී ඇය අංශබාග රෝගියකු බවට පත්වෙනවා.
මේ අතර අයියා හා පරාක්‍රම අතර ඇතිවන බහින්බස්වීමක් දුරදිග ගොස් අයියා අත තිඛෙන උදැල්ල ඔහු අතින් ගිලිහී ඒ මත ඇද වැටී ඔහු මිය යනවා. එය පරාක්‍රම අතින් සිදුවූ මිනීමැරුමක් නොවුණත් ඔහුට සිරගත වන්නට සිදු වෙනවා. සියලු දෙනා හිතන්නේ පරාක්‍රම විසින් සොහොයුරා මරා දැමු බවයි. අවසානයේ සරෝජිනි හා පවුලේ සාමාජිකයන්ට ගම අතහැර යන්නට සිදුවනවා. මෙය දියසුළිය නමින් ටෙලිනාට්‍යයක් ලෙස ප්‍රති නිර්මාණය වුණා. නිල්මිණි තෙන්නකෝන්, පාලිත සිල්වා, ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, රත්නාවලි කැකුණවෙල, සුනීතා විමලවීර එහි රඟපෑවා. මෙතෙක් සියලුම නාළිකාවල විකාශය වූ එකම ටෙලිවෘතාන්තය දියසුළියයි.
එය අධ්‍යක්ෂණය කළේ උදයකාන්ත වර්ණකුලසුරියයි. ඒ අතින් මම වාසනාවන්තයි. පාඨක සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර දෙකම මගේ කතාවලට ලැබී තිබෙනවා.
4. මා නොලියූ මා කැමති වෙනත් පොත්
මා වඩාත්ම කැමති පොත් දෙකක් තිඛෙනවා. ඒ විභූතිභූෂණ බන්ද්‍යෙපාධ්‍යයගේ අපරාජිත (අපරාජිතෝ) සහ පොථෙර් පංචලී (මාවතේ ගීතය.)මෙය කෙළින්ම වංග භාෂාවෙන් සිංහලට පරිවර්තනය කළේ චින්තා ලක්ෂ්මී සිංහආරච්චි. ඇගේ භාෂාව අතිශයින්ම සුන්දරයි. මටසිලුටුයි. ඇය අප අතර සිටි ඉතාම දක්ෂ ලේඛිකාවක්. නමුත් ඇයට නොසිතූ මොහොතක අකල් මරණයකට ගොදුරු වන්නට සිදුවුණා.
5. මගේ ඉදිරි සැලසුම්
මම අලුත් පොතක් ලියනවද කියලා තවම තීරණයක් නැහැ. එයින් කියන්නේ මම ලියන්නේ නෑ කියලා නෙවෙයි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස මම පොත් නිර්මාණකරුවන් මෙන්ම පාඨක ජනතාවට විශාල වැඩකොටසක් කරන්නටයි ඉදිරියේදී සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේම මට නවකතා ක්ෂේත්‍රයට එන්නට උපකාර කළ අය අතර ප්‍රමුඛයන් තිදෙනෙක් සිටිනවා. ඒ ශ්‍රියා රත්නකාර, ධර්මසිරි ගමගේ සහ ආතර් යූ. අමරසේන ඒ ත්‍රිත්වයයි. ඔවුන් සදාකල්හි මගේ ගෞරවයට පාත්‍ර වෙනවා.