
තෙවැනි ඇසින් ලෝකය දකිමින්, එහි අපූර්වත්වය තම කාචය තුළ සුන්දර අයුරින් සටහන්කරගැනීමට නිරතුරු වෙහෙසෙන ඔහු කලාවට බොහෝ සේ හිතැත්තෙකි. මෙරට පමණක් නොව වත්මනෙහි විදේශයන්හිද ඔහුගේ හැකියාව විහිදී ඇත. රුවන් අධිකාරි නම් වූ ඔහු අද ජාත්‍යන්තරය ජයගත් ඡායාරූප ශිල්පියෙකි. රුවන් මුල් කාලයේ රංගනයට ඇලුම් කරමින් වේදිකා නාට්‍ය ගණනාවක සුළු චරිත රඟපාමින්, වේදිකා පරිපාලන කටයුතු ඇතුළු අංශ ගණනාවකට සම්බන්ධවී කටයුතු කර ඇත. ප්‍රවීණ කලා ශිල්පී ජයලත් මනෝරත්නයන්ගේ ගුරු තරුව, අන්දරේලා, ලෝකය තනියායක්, ඔහු දායක වූ නිර්මාණ අතරින් කිහිපයකි.
‘මං ඡායාරූපකරණයට පිවිසුණෙත් කලාවට ඇති කැමැත්ත නිසාමයි. අනුරාධපුරේ සිට කොළඹ ඇවිත් මට කලාව තුළ රැඳිලා ඉන්න, ජීවත් වෙන්න මුදල් ඕන වුණා. ඒ නිසා මං ඡායාරූප කලාවට යොමු වුණා. එය හැදෑරුවා. පසුව එය සාර්ථක වුණා. ඒ 2006 වසරෙදි විතර. ඉන් පසු මං ටෙලි නාට්‍ය වලත්, පුවත්පත් ඡායාරූප ශිල්පියෙක් ලෙසත්, චිත්‍රපට කිහිපයකම නිශ්චල ඡායාරූප ශිල්පියෙකු ලෙසත් කටයුතු කළා. ඉන්පසු ලංකාවේදී මම ඡායාරූප ශිල්පියකු ලෙස කාර්ය බහුල වුණා.‘ රුවන් පැවසීය.
ඔහු කාලයක්ම ලංකාව තුළ ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කළත්, වර්තමානයේ ඔහුගේ තෙවැනි ඇස සම්පූර්ණවම ක්‍රියාත්මක වන්නේ යුරෝපය තුළයි. තම බිරිය වන දුලීකා සමඟ අද ඔහු ඔස්ට්‍රියාවේ පදිංචිව සිටිමින්, එහිදී කාර්යබහුල ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කරයි. ඔවුන් එහි සාර්ථක ලෙස අවන්හලක්ද පවත්වාගෙන යයි. එම අවන්හල 2018, 2019 වසර වලදී දිස්ත්‍රික් අතර හොඳම අවන්හල බවටද පත්වී ඇත. දුලීකාගෙන් රුවන්ගේ වැඩකටයුතුවලට ලැබෙන්නේ නොමද සහායක් බවද ඔහු පවසයි.
විවිධ රටවල සංචාරය කරමින්, විවිධ ආයතන සහ පුද්ගලයින් සමඟ අද ඔහු ඡායාරූපකරණයෙහි නියැළෙයි. ඊටත් අමතරව ඔහු ඔස්ට්‍රියාවේ සිටින තවත් ලාංකික හිතවතුන් පිරිසක් සමඟ එක්ව ‘ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා සංකෘතික සංගමය‘ නමින් සංවිධානයක්ද පිහිටුවාගෙන ඇත. එමඟින් ලංකාවේ ඉන්න කාලාකරුවන්ට මෙන්ම අසරණ පිරිසකට යම් තරමින් හරි පිහිටවීමටද ඔවුන්ට හැකිව ඇත.
අප්‍රේල් මාසය තුළ ඔස්ට්‍රියාව ඇතුළු රටවල් කිහිපයක ලංකාවේ ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනෙකු සමඟ වේදිකා නාට්‍යක් රඟදැක්වීමටද ඔහු මේ දිනවල සූදානම් වෙයි. එය ඔහුගේ නවතම කාර්යයයි.
මීටත් අමතරව ඔස්ට්‍රියාවේ සහ ලංකාවේ සංස්කෘතිය විදහා දක්වමින් ඡායාරූප දැක්මක් පැවැත්වීමටද ඔහු බලාපොරොත්තු වෙයි.
‘ලංකාව කියන්නේ ලස්සන රටක්. ඔස්ට්‍රියාව කියන්නේ දියුණු වගේම හරිම ලස්සන රටක්. එහේ අය හරිම සාමකාමීයි. ඔවුන් කැමතියි ලංකාවට. මම මගේ කාචය හරහා මේ සංස්කෘතීන් දෙක යාකරන්න උත්සාහයක් ගන්නවා. ඒ ගැන ඡායාරූප එකතුවක් මා ළඟ තිබෙනවා.‘ රුවන් පවසයි.
එමෙන්ම දෙරටෙහි තානාපති කාර්යාල උදව් කරගෙන ලංකාවේ සංචාරක කරමාන්තය ආශ්‍රිතව ව්‍යාපාරයක් කිරීමද ඔහුගේ බලාපොරොත්තුවයි.