
ගමන් මඟ
කොළඹ සිට මහනුවර හරහා දහ අට වංගුව බැහැලා අම්පාර පැත්තට ඔබ ගමන් කරනවා නම් පදියතලාව නගරයට ආසන්නයේම ඇති හෝලිකේ දොරකුඹුර පාරේ වමට හැරිලා 12 km පමණ ගිය තැනදි වහව ගමට ළඟා වෙන්න පුළුවන්.
මදුනාගල උණු දිය පොකුණෙන් ඔබ ස්නානය කරල ඇති. කන්නියා උණු දිය පොකුණෙනුත් ඔබ ස්නානය කරලා ඇති. මහ ඔය තියෙන පොකුණෙන් හරි නාලා මුව දොවල ගතට සිතට ලැබෙන අමුතු ප්‍රබෝධය ආශ්වාදය ඔබ විඳල ඇති. එහෙම ස්නානය කරනවා කියන්නේ වෙනස්ම අත්දැකීමක් අපි හැමෝටම. ගඟක දොළක මුහුදක නානවට වඩා වෙනස් අත්දැකීමක්. මහ සෙනඟ ගොඩක් මැද්දේ නාන්න පනිට්ටුවකුත් අරන් පෝලිමේ ඉදල මේ උණු දිය පොකුණු ළඟ ඉවසිල්ලක් නැතුව ඔබ බලන් ඉඳල ඇති වරක් හෝ දෙතුන් වරක්. අපේ රටේ තියෙන උණු දිය පොකුණු බලන්න එක වරක් හරි ගිහින් ඇති; නාලා ඇති. අද ඔබව රැගෙන යන්නේ ටිකක් වෙනස් උණු දිය බුබුළකට. මේ ලංකාවේ තියෙන එකම උණු දිය පිහිල්ල. මේක පිහිටල තියෙන්නේ වහව. නම නම් සමහර විට නුහුරු ඇති. අහලත් ඇති.
කොළඹ සිට මහනුවර හරහා දහ අට වංගුව බැහැලා අම්පාර පැත්තට ඔබ ගමන් කරනවා නම් පදියතලාව නගරයට ආසන්නයේම ඇති හෝලිකේ දොරකුඹුර පාරේ වමට හැරිලා 12 km පමණ ගිය තැනදි වහව ගමට ළඟා වෙන්න පුළුවන්. අතීත බින්තැන්නට අයත් වර්තමානයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයිති ගමක් තමයි වහව.
දෙපස පැතිරුණු මනරම් කුඹුරු වතුපිටි පහු කරමින් කිරි වැදෙන බඩ ඉඟුරු හේන් යායවල අසිරිය ද එන මඟ දෙපස සුන්දර වටපිටාවක අසිරිය විඳින්නත් ඔබට පුළුවන්. හෝලිකේ තිසාහාමිගේ උපන් ගම වන හෝලිකේ එහෙම පහුකරල තමයි වහවට එන්න පාර පැතිරිලා තියෙන්නෙ.
මේ පිල්ලෙන් නොකඩවා ඇද හැලෙන උණු දිය කඳ හරිම උණුසුම්. ආගන්තුකයකුට නම් එක වරක් අත දික් කළොත් ආයෙ අත දාන්න බැරි තරම් උණුසුම්. ඒත් ඒක ටික වෙලාවකින් මඟ ඇරල උණුසුම් දිය දහරේ පහසින් මුව කට දොවාගන්න ඔබට පුළුවන්. ගමේ අය නම් මේ පිහිල්ලෙන් නානවා, රෙදිපිළි හෝදනවා. නොයෙක් කටයුතු කරනවා. මේ පිල්ලෙන් වැටෙන ජලය ගලාගෙන යන්නේ අසල තියෙන වෙල්යායට. ඔබ විශ්වාස කරන්න ගමේ කුඹුරු ගොවිතැන් කරන්න පාවිච්චියට ගන්නේ මේ උණු දිය ජලය. මේ පිල්ල විතරක් වුණාට වහව ගම වටේම තියෙනවා උණු දිය පොකුණු දහ අටක් විතර. සමහර ඒවා මඳක් රස්නෙයි. සමහර ඒවාට අතක් වත් දාන්න බැරි තරමට හරි රස්නෙයි. උණු බුබුළු දමනවා එක දිගට. එකිනෙකට වෙනස් උණුසුම් බවක් මෙවායෙහි තියනවා. ඒක මේ ගමට සුවිශේෂී වූවක්.
මේ, ලංකාවේ මෙහෙම ඉහළට විඳින එකම උණුදිය උල්පතයි. මෙමඟින් මුදාහරින ජලයෙහි ඇති උෂ්ණත්වය සෙල්සියස් අංශක 42-45 අතර පමණ වනවා. පොළොවේ සිට අඟල් 13 පමණ උසට මින් ජලය විහිදෙනවා. ඉඩෝර කාලයේදි වුණත් නොසිඳී නොඅඩුව මෙයින් ජලය ගලා එනවා. මේ උණු දිය උල්පත වහව ගමට වගේම අපේ රටටත් විශාල සම්පතක්. සොබාදහමේ පුදුමයක්. මෙයින් ගලා යන ජලය ඇළ වේලි මඟින් කුඹුරුවලට හරවා ගොවිතැන් බත් කරන්නට ගම්වැසියන් සමත් වී තිබෙනවා.
එක කාලෙක ගම් වැසියන් විසින් නළ ලිඳක් ඉදි කිරිමට යාමේදි මේ උණු වතුර බුබුළ හමුවෙලා තියෙනවා කියල තමයි ගමේ අය කියන්නේ. ඉන් අනතුරුව තමයි මේ උණු දිය පීල්ල නිර්මාණය කරල තියෙන්නේ. මේක දිහා බලා ඉන්න සුන්දරයි. නොකඩවා වැටෙන දිය කෙමෙන් ඒ අසල ඇති වෙල් යායට ගලාගෙන යනවා. මේ තවත් සොබාදහමේ අපුර්ව දායදායක්. ලංකාවේ කොහෙදිවත් දැක ගන්න ස්නානය කරන්න නොලැබෙන කදිම තැනක්.
මෙය දැක බලා ගන්න එන ඔබට නාන්න අවශ්‍ය කරන සියලු සනිපාරක්ෂක පහසුකම් සලසාදී තිබෙනවා. ඒ සඳහා සනිපාරක්ෂක ගොඩනැගිල්ලක්ද ඉදිකොට තියෙනවා. මේ ස්ථානය ගැන ගොඩක් අය දැනුවත් නැති හින්ද ම ද කොහෙද මේ ඉදිකිරීම් පාවිච්චියක් නැතුව ගරාවැටෙමින් තිබෙනවා. ඒ නිසා ඔබ දිගාමඩුල්ලේ සංචාරයක එනව නම් මේ අපූරු සොබාදහමේ චමත්කාරය දැකගන්න විඳ ගන්න අමතක කරන්න එපා.
වහව ගොඩක් සුවිශේෂී මේ උණු දිය පොකුණු හින්දා විතරක් නොවෙයි. මේ උණු දිය පීල්ල අසලම තියෙනවා ගරා වැටුණු අතීත රජ දවස ඉදි කළා යැයි විශ්වාස කරන්න පුළුවන් තැන තැන විසිරුණු නටඹුන් කිහිපයක්ම. ඒ අතර ගරා වැටුණු සෑයවල් දෙකක් යැයි හිතන්න පුළුවන් ශේෂ. ගල් කණු වගේම ගොඩනැගිලිවල ශේෂ තාමත් දකින්නට ලැබෙනවා. තවත් සුවිශේෂත්වයක් වන්නේ දිගාමඩුල්ල දනව්වේ කිසිම තැනක දක්නට නොලැබෙන ශෛලමය මල් වැලක් සහිත ආයතාකාර ගල් කණුවක් මෙහි දකින්නට පුළුවන් වීම. ඒ තුළින් විශ්වාස කරන්න පුළුවන් අතීත රජ දවස මෙහි පැමිණි රාජකීයයන් උණු දිය ස්නානය කිරීමේ පහසුව සඳහා ඇඳුම් රඳවා තබන්නට වගේ දේවල්වලට මෙම ගොඩනැගිලි හෝ මෙම සුවිශේෂ ශෛලමය නිර්මාණ කරන්න ඇති කියලා. ඒත් තවමත් මෙහි නිසි පුරාවිද්‍යා සංරක්ෂණයක් සිදු වෙලා නැහැ. අතීත රෝහණ රාජධානියේ යම්කිසි පාලකයකු මෙහි එම ඉදිකිිරීම් කරන්නට ඇතැයි අනුමාන කළ හැකියි.