අපිට ඕන ජාත්‍යන්තරය එක්ක අපි ඉන්නවා කියලා පෙන්වන්න | Page 3 | සිළුමිණ

අපිට ඕන ජාත්‍යන්තරය එක්ක අපි ඉන්නවා කියලා පෙන්වන්න

ලංකා ඉතිහාසයේ මෙතෙක් පැවති අති උත්කර්ෂවත් මුහුරත් උළෙලක් පසුගියදා කොළඹ ශැංග්‍රීලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ තිකෝ ෆිල්ම්ස් නිෂ්පාදනය කරන මායාජාල සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල. සම්මානිත ජනප්‍රිය රංගනශිල්පී පුබුදු චතුරංග සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන මායාජාල නිෂ්පාදනය කරන්නේ තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් ඉසුරු බණ්ඩාර සහ තිලිණි ප්‍රියමාලි විසින්. සිළුමිණ රසඳුන මේ කතාබහ දැවැන්ත නිෂ්පාදන කර්තව්‍යකට උරදුන් තිකෝ ෆිල්ම්ස් හි ඉසුරු බණ්ඩාර සමඟ.

 

තිකෝ ෆිල්ම්ස් හි ආරම්භය මතක් කළොත්

තිලිණි ප්‍රියමාලිත් මමත් සිනමාවට අවතීර්ණ වීමත් සමඟ තිකෝ ෆිල්ම්ස් බිහිවෙනවා. ඒ ප්‍රවීණ නිෂ්පාදක සුනිල් ටි ප්‍රනාන්දු සහ ප්‍රවීණ රංගධරයෙක් වන ජීවන් කුමාරණතුංගගේ ආරාධනාවකට සහ ඔවුන්ගේ මඟ පෙන්වීමෙන්. අපේ මුල්ම චිත්‍රපටය විදියට ජීවා චිත්‍රපටය නිෂ්පාදනය කරනවා.

ඒ නිර්මාණය තුළින් තමයි ජීවන් කුමාරණතුංග ප්‍රථම වරට අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ. ඊට පස්සේ කොරෝනා අවදානම එක්ක රට වැහෙද්දී අපි ගෙදරට සිමා වෙලා ඉද්දි අපි බැලුවේ නෙට්ෆිලික්ස්, ගූගල් ප්‍රයිම් විඩියෝස්. ඒ දේවල් බලද්දී අපි දැක්කේ නැහැ ලංකාවේ එක නිර්මාණයක්වත් නෙට්ෆිලික්ස්වල. අනිත් පැත්තෙන් අපි KLM ෆලයිට්, ඇමරිකන් ෆලයිට් වල යද්දී එක ලංකාවේ ෆිල්ම් එකක්වත් නැහැ. හැබැයි ලංකාව කියන්නේ අති දක්ෂයන් ඉන්න රටක්.

නමුත් සිනමාව අතින් අපි ඉතා පහළ මට්ටමක ඉන්නේ කියන එක අපි අවබෝධ කර ගත්තා. එහි පළවෙනි පියවර විදියට අපි අපේ දෙවැනි නිර්මාණය කරනවා "Back to Elephant Walk" කියලා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන්. ඒක කරන්නේ නෙට්ෆිලික්ස් එකට විදෙස් නළු නිළියන් එක්ක. තුන්වෙනි නිර්මාණය විදියට තමයි අපි මායාජාල චිත්‍රපටය තෝරා ගත්තේ.එය අධ්‍යක්ෂණය කරන්නේ ජනප්‍රිය නළු පුබුදු චතුරංග ඔහුගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය.

 

අධ්‍යක්ෂවරුන් නොවන අය අධ්‍යක්ෂවරුන් කරමින් එවැනි අභියෝගයක් ගන්නේ ඇයි?

බෙන්ස් අයිතිකරුගෙන් දිනක් මාධ්‍යවේදිනියක් අහනවා බෙන්ස් නිෂ්පාදන මෙතරම් සාර්ථක වෙන්න හේතුව. එතකොට ඔහු කියන්නේ එන්ජින් එක ගැන දන්නේ ඉංජිනියර්, ඒ නිසා ලෝකේ ඉන්න හොඳම ඉංජිනියර් මම මගේ ළඟට ගත්තා.

ඩිසයිනින් එක ගැන දන්නේ හොඳම ඩිසයිනර් නිසා මම ලෝකේ ඉන්න හොඳම ඩිසයිනර් මගේ ළඟට ගත්තා. තාක්ෂණය ගැන දන්නේ හොඳම ටෙක්නිශියන් නිසා ඔහුව මගේ ළඟට ගත්තා. එතකොට හොඳම කට්ටියගේ අවුට්පුට් එක හොඳ විය යුතුයි. ජීවන් කියන්නේ සිනමාවේ හොඳ රංගධරයෙක් වගේම හොඳ දේශපාලඥයෙක්. එතකොට එයාගේ අධ්‍යක්ෂණයෙන් බිහිවෙන නිර්මාණය හොඳවිය යුතුයි. පුබුදු කියන්නෙත් ඕනෙම රංග පරාසයක් තුළ රංගනයේ නියැළෙන අභියෝග බාර ගන්න කැමති දක්ෂ නළුවෙක්.

තිකෝ ෆිල්ම් හි අරමුණ තමයි තුන්වෙනි නිර්මාණයේ සිට ලාංකීය සිනමාවට වගේම ජාත්‍යන්තර සිනමාවට අපේ නිර්මාණ අරගෙන යන්න.

ඒ අරමුණ ඇතිව තමයි අපි මායාජාල හදන්නේ. ලංකාවේ තිරගත කිරීමෙන් පස්සේ හඬ කැවීම් කරලා ඉන්දියාවේ තිරගත කරනවා.

 

මෙවැනි දැවැන්ත මුහුරත් උළෙලක් තියන්න හිතුවේ ඇයි?

සිනමාවට අලුත් ජවයක් දෙන්න ඕනේ. අලුත් පණක් දෙන්න ඕනේ. ඒ නිසා තමයි තිකෝ ෆිල්ම් මෙවැනි දැවැන්ත සිනමා උළෙලක් තියලා අපි ආරම්භය ලබා ගත්තේ. මේ වෙනුවෙන්ම අපේ ආරාධනයෙන් ඉන්දියාවේ ජනප්‍රිය නිළි මොයිනි රෝයි (ප්‍රේම දඩයමෙහි ශිවන්‍යා) ලංකාවට එනවා. මේක අපේ පළමු පියවර විතරයි. මින් ඉදිරියටත් ඉන්දියානු කලා ශිල්පින් වගේම හොලිවුඩයේ කලා ශිල්පින් සමඟ අපේ කලා ශිල්පින් සම්බන්ධ කරන්න උත්සහ කරනවා. සිනමාව කර්මාන්තයක් වශයෙන් ගොඩ නඟන්න තියන්න ඕනේ අඩිතාලම තමයි අපි තිබ්බේ. ඒ වෙනුවෙන් ප්‍රවීණ ජනප්‍රිය කලාශිල්පීන් සහ ශිල්පිනියන් වගේම දේශපාලනඥයන් සහ තානාපතිවරුන් ඇවිත් හිටියා.

 

මොයිනි රෝයි ලංකාවට ආවාට ඇය සිනමා නිර්මාණයේ රංගන දායකත්වය ලබා දෙන්නේ නැහැ නේද?

නැහැ. ඇය මායාජාලා හි රඟපාන්නේ නැහැ. අපි ඇයට ආරාධනා කරේ අපි ජාත්‍යන්තරය එක්ක ඉන්නව කියන එක පෙන්වන්න විතරයි. අපි කටින් කිව්වට අපි ජාත්‍යන්තරය එක්ක ඉන්නව; අපිට අපේ නිර්මාණ ජාත්‍යන්තරයට අරන් යන්න පුළුවන් කියලා එය විශ්වාස කරන්නේ නැහැනේ. මොයිනි රෝයි ට වඩා දක්ෂ නිළියන් අපේ රටේ ඉන්නවා. අපිට ඕනේ වුණේ ඉන්දියාව එක්ක සම්බන්ධතා ඇති කරගනිමින් අපේ නිර්මාණය තුළ ගුණාත්මක බව වැඩි කරන්න.

 

චිත්‍රපටයේ බජට් එක කොහොමද?

දැනට බජට් කරලා තියෙන්නේ ලක්ෂ 350 ත් 400ත් අතර. නමුත් දිනෙන් දින රුපියලේ අගය අඩුවීමත් එක්ක මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියන්න බැහැ. කෙසේ වෙතත් තිකෝ ෆිල්ම් ආයතනය සියලු අභියෝග ජය ගන්නවා.

 

සුපර් ස්ටාර් ගැන ප්‍රශ්නාර්ථයක් තියලා තිබ්බේ, ඒ රන්ජන් රාමනායක ද හේමාල් රණසිංහ ද? නැත්නම් ඉන්දීය නළුවෙක් ද?

මුලින්ම අපි උත්සහ කරා මේ නිර්මාණයට අක්ශේ කුමාර් ව යොදා ගන්න. අපි අවස්ථා කිහිපයක කතා කරත් දිගටම අපිට ඒ සම්බන්ධතාව තියා ගන්න ලැබුණේ නැහැ. ඒ නිසා අපි හිතුවා නැහැ මේ සැරේ අපි ලංකාවේ චරිතයකට අවස්ථාව දෙනවා කියලා. නමුත් අපේ හතරවෙනි නිර්මාණයට අපි අනිවාර්යෙන්ම අක්ශේ කුමාර් ව ප්‍රධාන භූමිකාවට යොදා ගන්නවා. මෙතැනදී සුපර් ස්ටාර් ගැන හිස්තැනක් තිබ්බේ ඔක්කොම එක පාරට කිව්වොත් අගයක් නැති නිසා ඉදිරියේදී ඒ ගැන කියන්නම්.

 

මේ නිර්මාණය ප්‍රදර්ශනය වන කාලයේ ලැබෙන ආදායමෙන් 75%ක් සමාජ සුබසාධනයට එහෙමත් නැත්නම් අපේම සහෝදර ආබාධිත අය වෙනුවෙන් වෙන් කරන බව කිව්වා. මේ ඉසුරුගේ දේශපාලන ප්‍රවේශයක ආරම්භක සලකුණක් ද?

කිසිසේත් නැහැ. තිකෝ ගෘෆ් ඔෆ් කම්පැනි කියන්නේ, කම්පැනි හයක එකතුවක්. තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් මෙතෙක් වියදම් කළා මිසක් කිසිදු ආදායමක් ලබලා නැහැ. හේතුව තවම අපේ චිත්‍රපට තිරගත වෙලා නැහැ. අපි තිකෝ ෆිල්ම්ස් බ්‍රෑන්ඩ් එක ගොඩනැඟුවේ ජාත්‍යන්තරයට යන්න. අපි කලාවට කලාකරුවන්ට ආදරෙයි.

ඒ නිසා ලාබ ලබන පරමාර්ථයෙන් කරන දෙයක් නෙවෙයි. අපි හඳුනාගත්තා කොට්ඨාසයක් මානසික වශයෙන් ආබාධ තියෙන අය ගැන වැඩි කතාබහක් අවධානයක් නැහැ කියන එක. ඒ නිසයි හිතුවේ අපේ චිත්‍රපටයට මේ ළමයින්ව යොදා ගනිමින් ඒ අය ගැනත් කතාබහක් ඇති කරන්න අපි ලබන ආදායමෙන් 75%ක් ඒ අය වෙනුවෙන් යොදවනවා. එතකොට සමාජයේ අවධානය ඒ අයට යොමුවෙයි කියන එක මමත් තිළිණිත් තරයේ විශ්වාස කරනවා.

ඡායාරූප - හිරන්ත ගුණතිලක

Comments