කබඩි ක්‍රීඩකයාට වෙඩි තැබුවේ කවු ද? | සිළුමිණ

කබඩි ක්‍රීඩකයාට වෙඩි තැබුවේ කවු ද?

 

‘පසුගිය දා ඉන්දියාවෙන් බිහි වූ සුපිරි කබඩි ක්‍රීඩකයකු වෙඩි තබා ඝාතනය කළේ ය. ඒ වෙඩික්කරුවන් සිව් දෙනකු විසිනි. මේ එම ඝාතනය සම්බන්ධයෙන් තැබෙන සටහනකි.’

ප්‍රබල ජාත්‍යන්තර කබඩි ක්‍රීඩකයකුවන ඉන්දීය ජාතික සන්දීප් සිං නන්ගල් අම්බියන් (38) ජලන්දර් හි නකෝදාර් මල්ලියන් කුර්ඩ් ගම්මානයේ දී වෙඩි තබා ඝාතනය කෙරිණි. එංගලන්තයේ දිවි ගෙවන්නකු වූ සන්දීප්, ඝාතනයට පත්වන විට ඉන්දියාවට පැමිණ තිබුණේ කබඩි තරගාවලියක් සඳහා ය. එසේ ඉන්දියාවට පැමිණි අතරතුර සන්නද්ධ ප්‍රහාරකයන් සිව් දෙනෙකු විසින් ඔහුගේ හිස ඉලක් කොට සැඟවී සිට වෙඩි තබා තිබුණේ යැයි වාර්තා විණි.

වෙඩි වැදුණු සන්දීප් වහා රෝහලට ඇතුළත් කර තිබූ නමුත් ඔහු මියගොස් තිබුණේ ය.

සන්දීප් යනු කලාපයේ කබඩි තරග මාලාවන්හි විශාලත ම සංවිධායකයන්ගෙන් කෙනෙකි.

මල්ලියන් කලන් ගම්මානයේ පැවති කබඩි තරගාවලියක් අතරතුර දී සන්දීප් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනය විණි. එම ඝාතනයට අදාළ වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍යයන්හි සැරිසරමින් පවතී. එකී වීඩියෝ පටයේ දක්නට ඇති පරිදි ගස් ගොන්නක් මැද සිට වෙඩික්කරුවන් කීපදෙනකු නොපෙනෙන අයකුට වෙඩි තබනු දර්ශනය වන බව ඉන්දීය වාර්තා සඳහන් කළේ ය.

තරගයක් පැවැත්වෙන විවෘත ක්‍රීඩාංගණයක් අසල සිටි පුද්ගලයාට ප්‍රහාරකයන් අවම වශයෙන් වෙඩි හතක් හෝ අටක් පමණ තබා ඇතැයි පැවසේ.

සන්දීප් ඉන්දියාවට පැමිණ ඇත්තේ කබඩි තරගයක් සංවි-ධානයට අමතරව මංගල උත්සව කිහිපයකට සහභාගී වීමට බවද පැවසේ.

ඉන්දීය කබඩි කණ්ඩායමේ හිටපු නායකයා වූයේ ද ඔහු ය. ඔහු ෂාකොට් හි නන්ගල් අම්බියන් ගම්මානයේ සිට පැමිණි අයෙක් බව පැවසේ. ඔහුගේ බිරිය සහ පුතුන් දෙදෙනා ජීවත් වන්නේ එංගලන්තයේ බව පැවසෙන අතර, ඒ හේතුවෙන් ඔවුන්ගේ දිවි ගැලවී ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

අදාළ ඝාතනය වී ඇත්තේ 14 වැනිදා පස්වරු 6.15 ත් 6.30 ත් අතර කාලයේ දී ය. සවස් වරුවේ ආරම්භ වීමට නියමි-තව තිබූ තරගයකට සහභාගි වීමට සන්දීප් සිය කණ්ඩායම සමඟ පැමිණ තිබිය දී මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබිණි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්-වන ඉන්දීය පොලිසිය සඳහන් කර ඇත්තේ පෞද්ගලික එදිරිවාදිකමක් හෝ වෘත්තීයමය සිද්ධියක් වෙඩි තැබී-මට හේතු වන්නට ඇති බවයි.

සංදීප් ලොව හොඳ ම කබඩි ක්‍රීඩක-යන් පස් දෙනා අතරට සහ මේජර් කබඩි ලීග් සම්මේලනයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කළේ ය. ඔහු කබඩි ලෝක කුසලාන තරගාවලිවල නායකයා ලෙස එක්සත් රාජධානියේ කණ්ඩායම නියෝජනය කළේ ය.

කෙසේ නමුත් සෑම ශීත සෘතුවක දී ම කබඩි තරග වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහු ඉන්දියාවට පැමිණීමට හුරු වී තිබිණි. කබඩි ක්‍ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසන්නේ ක්‍රීඩාවේ විශාල මුදලක් ගැවසෙන බැවින්, මැරයන් කිහිප දෙනෙකු ද එයට සම්බන්ධ බවත්, ඔවුන් ක්‍රීඩා කළ යුත්තේ කුමන කණ්ඩායමට ද ජය හිමිවිය යුත්තේ කවර කණ්ඩායමට ද යන්න නියම කරන බවත් ය. මෙම තත්ත්වය ඔහුව ඝාතනය කරන්නට ඉවහල් වන්නට ඇතැයි දැනට විශ්වාස කෙරේ.

 

Comments