![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/03/25/9.jpg?itok=ozzKVkzP)
‘ක්‍රිස් සිල්වර්වුඩ් අළු බඳුන තරගාවලිය පැවැත්වෙන තුරු එංගලන්තයේ වීරයෙක් වගේ හිටිය පුහුණුකරුවෙක්. ඒත් ඔස්ට්‍රේලියාව හා පැවැති අළු බඳුනෙන් පස්සේ ඔහුගේ ඇඟේ තැවරී තිබූ ගෞරවයේ සායම් ඔක්කොම සේදිලා ගියා. අන්තිමට සිද්ධ වුණේ ඔහුට එංගලන්ත කණ්ඩායමට ආයුබෝවන් කියලා කොට්ට මෙට්ට අකුළාගෙන ගෙදර යන්න. එහෙම කොට්ට, මෙට්ට අරන් යන්න ගිය සිල්වර්වුඩ් පයිසයක් වටින්නේ නෑ කියලා ඇතැමුන් සිතුවා. ඒත් දැන් එංගලන්ත කණ්ඩායමෙන් විසි වුණු සිල්වර්වුඩ් තම්මැන්නාවට ගොඩ බහින්න සූදානම් කියලා ආරංචියක් යනවා. මේ ඒ ගැන.‘
‘ක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වීමට සාකච්ඡා කරමින් සිටින්නේ ඔහුව එංගලන්තයෙන් නෙරපා හැර මාස දෙකකට පසුව ය.‘
‘47 හැවිරිදි සිල්වර්වුඩ්ට ජනවාරි මාසයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ 4-0 ක නින්දිත පරාජයෙන් පසුව ඔහුගේ පුහුණුකාර ධුරය අහිමි වූ නමුත් ඉක්මනින් ජාත්‍යන්තර ක්‍රීඩාවට නැවත පැමිණීමට සූදානම් බව පෙනේ.‘
‘පසුගිය නොවැම්බර් සහ දෙසැම්බරයේ ඩර්බිෂයර් හි ක්‍රිකට් ප්‍රධානියා වීමට දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් එකඟ වූ දා සිට ශ්‍රී ලංකාව නව පුහුණුකරුවකු සොයමින් සිටී.‘ මේ ජාත්‍යන්තර මාධ්‍ය තුළ පළ වූ සිරස්තල කීපයකි.
මේ අනුව එංගලන්ත හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවට වන වාර්තාවලට වේගයෙන් තටු පැමිණෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ හිටපු පුහුණුකරු මිකී ආතර්ගේ ඉවත්වීමෙන් පසු අන්තර් වාර ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක කටයුතු කළ නමුත්, එය පූර්ණ කාලීන කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් බවක් නොපෙනුනේය. ඔහුගේ භාරකාරත්වය යටතේ ඔස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි20 තරගාවලිය 4-1ක් ලෙස ද,අනතුරුව පැවැති , ඉන්දියාව සමඟ ටෙස්ට් සහ විස්සයි20 තරගාවලිය ද සම්පූර්ණයෙන් ම පරාජය වීම ඊට ප්‍රධානත ම හේතුවය.
නිමා වූ අළු බඳුන තරගාවලියේ දී තරග 4-0 ක් ලෙස ලැබූ දරුණු පරාජයෙන් අනතුරුව සිල්වර්වුඩ්ව ධුරයෙන් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පෙබරවාරි මස මුල් සතියේ දී තීරණයක් ගෙන තිබිණි. සිල්වර්වුඩ්ගේ පුහුණුකාරී ධුරය යටතේ එංගලන්ත කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග 14 න් තරග 10 ක් ම පරාජයට පත්ව තිබූ අතර, ජය ගෙන තිබුණේ එක් තරගයක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර්ගේ වසර දෙකක ධුර කාලය 2021 දෙසැම්බර් මාසයේ දී අවසන් වූ දින සිට අදාළ ධුරය අද වන විටත් පවතින්නේ පුරප්පාඩුව ය.
ඊට පෙර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කලමනාකාර අධ්යක්ෂ ඈෂ්ලි ජයිල්ස් ද ඉවත්විය.එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස 2019 වසරේ දී ක්‍රිස්ව පත් කරනු ලැබුවේ ද ඈෂ්ලි ජයිල්ස් විසිනි. මේ වන විට වැඩබලන කළමනාකරණ අධ්යක්ෂ ලෙස ඇන්ඩෲ ස්ට්රාවුස් කටයුතු කරන අතර, ඔහු විසින් බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අරමුණු කර ගනිමින් වැඩබලන පුහුණුකරුවකු ඉදිරියේ දී පත් කිරීමට නියමිත ය.
ක්‍රිස් සිල්වර්වුඩ් ප්‍රධාන පුහුණුකාරිත්වයෙන් නෙරපා හැරීමෙන් පසුව, ඔහු මෙසේ පැවසී ය: “එංගලන්තයේ ප්‍රධාන පුහුණුකරු වීමට ලැබීම පරම ගෞරවයක්, අපගේ ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩලය සමඟ වැඩ කිරීමට ලැබීම ගැන මම අතිශයින් ආඩම්බර වෙමි. මගේ භූමිකාවේ යෙදී සිටි කාලය තුළ ඔවුන් ලබා දුන් වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ කැපවීම වෙනුවෙන් ඔවුන් සැමට ස්තුති කිරීමට අවශ්‍ය වන අතර , ඔවුන් සියලු දෙනාටම ඉදිරි ගමනට සුබ පතමි.
පසුගිය වසර දෙක ඉතා කාර්ය බහුල නමුත් මම කණ්ඩායම සමඟ ගත කළ කාලය සම්බන්ධයෙන් සැබවින්ම සතුටුයි. අභියෝග සලකා බැලීමේ දී මෙම කණ්ඩායම ගැන මම ඉතා ආඩම්බර වෙමි. මම සොඳුරු මතකයන් සමඟින් නික්ම යන්නෙමි. දැන් මගේ පවුලේ අය සමඟ හොඳ කාලයක් ගත කිරීමටත් ඉන්අනතුරුව එළඹීමට නියමිත ඊළඟ පරිච්ඡේදය වැළඳ ගැනීමටත් බලාපොරොත්තු වෙමි.
මේ අතර, ශ්‍රී ලංකා පුහුණුකරු තනතුර සඳහා සලකා බලමින් සිටි තවත් අපේක්ෂකයකු වූයේ ඔස්ට්‍රේලියානු හිටපු ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ය. ඔහු අළු බඳුන තරගාවලියෙන් පසු සිය භූමිකාවෙන් ඉවත් විණි. ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වා පසුගිය මාසයේ ලැන්ගර් කෙරෙහි ඔවුන්ගේ උනන්දුව ප්‍රකට කර තිබුණේ ය.