![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/03/25/7.jpg?itok=jIV6c7FX)
2018 ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී ක්‍රියාත්මක කෙරුණු 18 වෙනි ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලිය ආශ්‍රිතව ජාත්‍යන්තර පදක්කමක් දිනා ගැනීමෙන් අනතුරුව තවත් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. එම පදක්කම සිව් වසරකට පසුව ජයැගැනීම ද විශේෂත්වයකි.
ආසියානු හොකී සම්මේලනය විසින් 1997 නොවැම්බර් මස හොංකොං දේශයේ දී අභිනවයෙන් හඳුන්වා දෙන ලද "ආසියානු හොකී සම්මේලනය කුසලාන" තරග ඉතිහාසය වසර 25 ක ඈතට දිව යයි. එම කාල සීමාව තුළ අවස්ථා 05 ක දී ම පදක්කම් අතර රැඳී සිටීමට ශ්‍රී ලංකාවට හැකි විණි. එයට රිදී පදක්කමක් සමග ලෝකඩ පදක්කම් 04 ක් අයත් වෙයි. ඒ අනුව බලන කළ ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලිය යනු ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා ගත හැකි මට්ටමේ එකකි. ඒ පසු ගිය විසි පස් වසර දෙස විපරම් කර බැලීමේදී දක්නට ලැබෙන තත්ත්වය ය.
1997, 2002 සහ 2012 වසර වල ලෝකඩ පදක්කම් දිනා ගෙන ඇති ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තම ඉහළම දක්ෂතාවය ප්‍රදර්ශනය කරමින් රිදී පදක්කමට හිමිකම් කියන්නේ 2016 වසරේ දී ය. එවර තරග මාලාවේ විනයගරුකම රට බවට පත්වීමට නලන්ත ද සිල්වා ගේ නායකත්වයෙන් සමන්විත වූ ශ්‍රී ලාංකේය ක්‍රීඩකයින්ට හැකි වූ හ. පදක්කමක් අහිමි වූ එකම අවස්ථාව වූ 2008 දී සිව් වැනි ස්ථානයෙන් සෑහීමට පත් වන්නට සිදු විය.
එහි සිව්වැනි ලෝකඩ පදක්කම සටහන් කර ගැනීම සඳහා ගිය මෙවර ගමනේ දී ප්‍රතිවාදී කසකස්ථානය දෙවතාවක් පරාජය කිරීමට සමත්වීම කැපී පෙනුණේ ය.
ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කළ මූලික වටයේ දී තායිලන්තය ගෝල් 06 - 02 ක් ලෙස ද උස්බෙකිස්ථානය ගෝල් 05 - 00 ක් ලෙස ද කසකස්තානය ගෝල් 04 - 00 ක් ලෙස ද පරාජය කරමින් අපහසුවකින් තොරවම අවසන් පූර්ව තරග වටයට වරම් ලද එකම කණ්ඩායම බවට පත් විය. ඒ මූලික වටයේ සියලුම තරග ජය ගනිමින්ය.
පසු ගිය වර දිනා ගත් රිදී පදක්කම ආරක්ෂා කර ගැනීමට හෝ රන් පදක්කමක් දිනා ගැනීම දක්වා යාමට ගත් ප්‍රබල උත්සාහය තීරණාත්මක අවසන් පූර්ව තරගයේ දී මග හැරී ගියේ ප්‍රතිවාදී ඕමානය හමුවේ ගෝල් 02 - 01 ක් ලෙස පරාජය වීමත් සමගිනි.
තරගය පරාජය වුව ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕමානයට එල්ල කළ අභියෝගය ප්‍රශංසනීය ය.
එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකඩ පදක්කම සඳහා සටන් වදින්නට ශ්‍රී ලංකාවට සිදුවිය. එහිදී ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පිල ප්‍රතිවාදී කසකස්ථානයට එරෙහිව පසු ගිය ඉරිදා (20) ගෝල් 04 - 03 ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කළේ තම සිව්වැනි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙමිනි.
තියුණු තරගයක්
ශ්‍රී ලංකාව සහ කසකස්ථනය අතර පැවති මෙම තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය තියුණු මුහුණුවරක් ඉසිලීය. තරගය ඇරැඹී පළමු කාර්තුවේ දී කිසිදු ගෝලයක් වාර්තා නොවුණ ද දෙවන කාර්තුවේ දී පළමු ගෝලය සටහන් කර ගනිමින් පෙරමුණ ගැනීමට කසකස්ථානය ට හැකියාව ලැබිණ.
එහෙත්, තෙවැනි කාර්තුව ආරම්භවීමත් සමගම සංයමයෙන් යුතුව පන්දුව හැසිර වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෝල් ත්‍රිත්වයක්ම සටහන් කරමින් තරගයේ පාලනය සියතට ගැනීමට සමත් වූ හ.
එස්. එස්. ප්රියලංකා සහ අනුරාධ සුරේෂ් 32 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම සහ දෙවැනි ගෝලය එක මිනිත්තුවක් තුළ දී සටහන් කළ අතර ළහිරු වීරසූරිය 45 වැනි මිනිත්තුවේ දී දඬුවම් විදීමක් ආශ්‍රිතව තෙවැනි ගෝලය ලබා ගත්තේ ය.ඒ වන විට ගෝල් තත්ත්වය 03 - 02 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
56 වැනි මිනිත්තුවේ දී කුසල් තිලකසිරි රැස් කළ ගෝලයත් සමගම ශ්‍රී ලංකාවේ ගෝල් එකතුව 04 ක් බවට පත්විණි. ඊට මිනිත්තු 02 කට පසුව දඬුවම් විදීමක් ආශ්‍රිතව තම තෙවැනි ගෝලය වාර්තා කර ගැනීමට කසකස්ථානය සමත් වුවද එය පරාජයෙන් ගැලවීමට ප්‍රමාණවත් නොවිණි.
මූලික ටටයේ දී
ශ්‍රී ලංකාව සහ කසකස්ථනය මෙවර මූලික වටයේ දී "ඒ" කාණ්ඩය යටතේ තරග වැදුණු අතර එහිදී ගෝල 04 - 00 ක පහසු ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි වීම කැපී පෙනුණි.
මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මධුරංග විජේසිංහ ගේ නායකත්වයෙන් සහ මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන තරංග ගුණවර්ධන ගේ උප නායකත්වයෙන් සැදුම්ලත් වූ පදක්කම් ලාභී ශ්‍රී ලංකා පිලට ඉෂංක ජයසුන්දර , නලන්ත ද සිල්වා , ළහිරු වීරසූරිය , ධම්මික රණසිංහ, එස්.එස්. ප්රියලංකා , තරිදු හේන්දෙණිය , සී.ආර්. ප්‍රනාන්දු , එස්.එස්.ද කොස්තා , එම්.එස්.වීරසූරිය , ආර්.එස්.නිමංක , එම්.ජී.සංජීව , කුසල් තිලකසිරි , එම්. අනුරාධ සුරේෂ් , රජිත් කුලතුංග , පී.යූ.ප්‍රනාන්දු , විපුල ධනුෂ්ක , ඩී.එල්.බණ්ඩාර සහ වයි.ඩී.අල්විස් ඇතුළත් වූ හ.
මෙම ක්‍රීඩකයින් මාතලේ ක්‍රිස්තුදේව විදුහල (10), වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහල (05), මාතලේ විජය විදුහල (02), මාතලේ සාන්ත තෝමස් විදුහල (01), මාතර සාන්ත තෝමස් විදුහල (01) සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල (01) වෙතින් හොකී ක්‍රීඩාවට අවතීර්ණ වූවෝ වෙති.
මීට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නායකත්වය දී ඇති ඉෂංක ජයසුන්දර , නලන්ත ද සිල්වා , ළහිරු වීරසූරිය සහ එස්.එස්. ප්රියලංකා යන ක්‍රීඩකයින් සිව් දෙනෙකු මෙවර කණ්ඩායමට ඇතුළත්ව සිටීම ගෙන දී තිබුණේ අමතර ශක්තියකි.
හොකී ක්‍රීඩාවට සුප්‍රසිද්ධ කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්ක වල එකදු ක්‍රීඩකයෙකු හෝ මෙවර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත් වී නොතිබීම ද කැපී පෙනෙන්නකි.
මෙවර තරගාවලිය තුළ ආක්රමණයේ දී කැපී පෙණුනු ඉෂංක ජයසුන්දර 03 , අනුරාධ සුරේෂ්ධ 03, ධම්මික රණසිංහ 02, එස්.එස්.ප්රියලංකා 03 , කුසල් තිලකසිරි 02, ළහිරු වීරසූරිය 02, ධනංජය බණ්ඩාර 02, රජිත් කුලතුංග 01, පී.යූ.ප්‍රනාන්දු 02 ප්‍රතිවාදී කණ්ඩායම්වලට එරෙහිව ගෝල් රැස් කරන්නට සමත් වූහ. නවක ක්‍රීඩකයින් වූ ධනංජය බණ්ඩාර සහ කුසල් තිලකසිරි පිළිබඳව තැබූ විශ්වාසය අකුරටම ඉටු කරමින් ක්‍රීඩා කිරීම කැපී පෙනුණි.
ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් මධුරංග විජේසිංහ සහ 39 හැවිරිදි ප්‍රවීණ ක්‍රීඩක ඉෂංක ජයසුන්දර තරග ද්විත්වයක දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලබන අතර වාරයේ මෙවර තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස තිළිණ ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ නවක ක්‍රීඩක කුසල් තිලකසිරිට හැකි වීම කැපී පෙනුණි.
රටවල් 09 ක් අතර ක්‍රියාත්මක කෙරුණු මෙවර තරගාවලියේ රන් පදක්කම බංග්ලාදේශය හිමි කර ගන්නා අතර වාරයේ ඕමානයට රිදී පදක්කමෙන් සෑහීමට පත් වන්නට සිදුවිය. අතිශය තියුණු මුහුණුවරක් ගත් මෙම තරඟය සඳහා නියමිත කාලය නිම වන විට දෙපිලම ගෝල් 01 - 01 ක් ලෙස සම තත්ත්වයක පසු විය.
අනතුරුව ක්‍රියාත්මක කරන ලද දඩුවම් පහර (08 SECONDS PENALTY SHOOT OUT) ආශ්‍රිතව ගෝල් 03 - 01 ක ජයග්‍රහණයක් සටහන් කර ගනිමින් පිට පිට සිව්වන වතාවටත් රන් පදක්කමට හිමිකම් කියන්නට බංග්ලාදේශයට හැකි විය.
මෙවර 04 වැනි ස්ථානය කසකස්ථනය ටද 05 වැනි ස්ථානය තායිලන්තයට ද 06 වැනි ස්ථානය ඉරානයට ද 07 වැනි ස්ථානය සත්කාරක ඉන්දුනීසියාවට ද 08 වැනි ස්ථානය උස්බෙකිස්තානය ට ද 09 වැනි හෙවත් අවසන් ස්ථානය සිංගප්පූරුවට ද හිමි විය