සිනමාව තමයි මගේ ගමනාන්තය;ඒකට යන පාරේ මම ඉන්නේ - තුන්පනේ නාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායක | Page 3 | සිළුමිණ

සිනමාව තමයි මගේ ගමනාන්තය;ඒකට යන පාරේ මම ඉන්නේ - තුන්පනේ නාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායක

සුදු කළු සහ අළු මිනිසුන්ගේ කතන්දරයක් මේ දිනවල ජාතික රූපවාහිනියෙන් දැක ගන්නට ලැබෙනවා. ඒ සුපුන් රත්නායක නිර්මාණ අධ්‍යක්ෂණයක් වන ‘තුන්පනේ’නාට්‍යයෙන්. බොහෝ ප්‍රේක්ෂකයන් ආදරෙන් වැළඳගෙන තියෙන "තුන්පනේ" ගැනයි සුපුන් සමඟ මේ සොඳුරු කතාබහ.

 

තුන්පනේට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර නම් ඉතා ඉහළයි. දැනට මම කරපු නිර්මාණ වලට වඩා වෙනස් විදියේ වින්දනයක් සහ මිනිස්සු ආස විදියේ කතාවක් කියන එක හැමතැනින්ම වගේ කියනවා. ඉතින් කරපු නිර්මාණයක් මිනිස්සු ආදරෙන් වැළඳ ගන්න එක තමයි නිර්මාණකාරයෙක්ගේ එකම සතුට. මම ඒ සතුට තුන්පනේට ලැබෙන ප්‍රතිචාර තුළින් ලබනවා.

 

තුන්පනේ කොටස් කීයක් ද? කොටස් 61යි.

තුන්පනේ කියන වචනය සාමාන්‍යය ව්‍යවහාරයේ ත් තියෙනවා, නමුත් සුපුන් අරන් එන්නේ වෙනත් අර්ථකතනයකින්

ඔයා හරි. තුන්පනේ කිව්ව ගමන්ම හතරලියැද්ද නුවර පැත්තේ තියෙන ගමක් මතක් වෙනවා. අපි සමාජ ව්‍යවහාරිකව කතා කරත් හද්දා පිටිසර වගේ දෙයක් ඔලුවේ තියාගෙන තමයි අහන්නේ. නමුත් ඒ තුම්. මම මෙතනට අරන් එන්නේ තුන්. ඒ කියන්නේ ප්‍රාණයන් තුනක් ගැන. විකුම්සිරි,ඉලක්ශ,සහ සුසන්ත. මේ කතාවේ හැම තැනකම ගැටුමක් තියෙනවා. ඒක ප්‍රේමය සම්බන්ධ හෝ දේශපාලන බලය සම්බන්ධ ගැටුමක් හෝ ආර්ථිකය සම්බන්ධ ගැටුමක් වෙන්න පුළුවන්. ඒ ගැටුම නිර්මාණය වෙන්නේ තුන්දෙනෙක් අතර. ඒකයි තුන්පනේ කියලා දැම්මේ.

 

තුන්පනේ නිර්මාණය වෙන්නේ කොහොමද?

මේක මිට අවුරුද්දකට දෙකකට කලින් මගේ ඔළුවට ආව කතාවක්. කොරෝනා කාලේ දිනපතා එන කුණු ට්‍රැක්ටරය එතකොට ආවේ සතිදෙකකට දවසක් වගේ. ඒ දවස්වල පුදුමාකාර ආඩම්බර මිනිස්සු ටිකක් තමයි බලන්න හම්බුණේ. ලේසි නැහැ ඒ කාලේ ඒ අය එක්ක කතා කරන එකත්. ආයේ එන්නේ කවදද ඇහුවත් ලැබෙන උත්තරය වුණේ ඒක කියන්න බෑ, අපිට තව වැඩ තියෙනවා, අපිටත් මේ ලෙඩ හදාගන්න බෑ වගේ දේවල් කියන්නේ. ඒ අය හරි අභිමානෙන් ඒ ටික කළේ. මොනවා හරි කිව්වොත් අපෙන් කුණු ගන්නේ නැහැ. ඒ නිසා මොනවා කිව්වත් හිනාවෙලා තමයි ඉන්නේ. ඔය කාලේ මට මේ අයගේ ජිවිත ඇතුළේ ඔය අපිට පෙන්වන ගොරහැඩි කෑල්ලට වඩා සුන්දරත්වයක් ඇති කියලා මට හිතුණා. මගේ යාළුවෙක්ගෙ තාත්තා කෙනෙක් හිටියා කුණු ට්‍රැක්ටරයේ වැඩ කරපු. එයා එක්ක කතා කරද්දී රහ කතා ගොඩක් දැනගත්තා. ඒවාත් එක්ක මට හිතුණා මගේ තිබ්බ කතාව නිර්මාණය කරන්න. ඒ කතාව නිර්මාණය කරන පරිසරය කුණු ට්‍රැක්ටරය හරහා එකතු කරගත්තා.

 

සුපුන් දක්ෂ වෙනවා තමන් තෝරා ගන්නා රංගන ශිල්පින් ශිල්පිනියන් සම්මානිත ශිල්පින් සහ ජනප්‍රිය තලයේ ශිල්පින් බවට පත් කරන්නත්, මෙහි චරිත තෝරා ගැනීම් ගැනත් අපි කතා කරමු

ඇත්තටම ඔය ප්‍රශ්නය ඔය විදියට අහපු එකට මම සතුටුයි. මොකද මට තියෙන චෝදනාවක් තමයි එකම රංගන ශිල්පීන් භාවිත කරනවා කියන එක. හැබැයි කෙනෙක් එහෙම චෝදනා කරද්දී මම ආදරෙන් ඒක පිළිගන්නවා. ඔව් එකම කට්ටිය තමයි ඉන්නේ. හැබැයි මම පෙරළා ප්‍රශ්න කරනවා මේ අයට දෙන චරිතය කරපු එක අවස්ථාවක් කියන්න.

එතකොට උත්තර බඳින්න ලෑස්තියි. ලෝකයේ ඕනෙම නිර්මාණකරුවෙක්ට හැදුණු කුලකයක් තියෙනවා. ප්‍රේක්ෂකාගාරය ගැන නෙමෙයි මම කියන්නේ. මලයාලම් ෆිල්ම් බැලුවත් තේරුම් යයි මම කියන මේ කාරණය. ඒ අධ්‍යක්ෂවරු වැඩ කරන්නේ එක කට්ටියක් එක්ක. අනික මේ කට්ටිය එක ගහේ වහන එක කුරුල්ලෝ වගේ යාළුවො.

ඒ නිසා වැඩ කරන්නත් පහසුයි. හැබැයි යාළුවො නිසා චරිත දීලා නැහැ. මම මොන චරිතය දුන්නත් මේ අය ඒක කරනවා හොඳටම.

මම සාමාන්‍යයෙන් මගේ කතා නිර්මාණය කරන්නේ මගේ මිත්‍රයා වන මධුර ප්‍රභාස්වර (විකුම්සිරි) සමඟ. එහෙම හදපු කතා තියෙනවා 10ක් විතර. සමහර වෙලාවට එයාම කියනවා අපි කතා කරපු අර කතාවට මෙහෙම කොටසක් ආවොත් මොකද කියන්නේ කියලා. එතකොට මේ මධුෂානි කියන චරිතය ආවම මට හිතුණා මෙච්චර කාලයක් මා එක්ක වැඩ කරේ නැති චරිතයක් ගන්න ඕනේ. හැබැයි ගොඩක් ටෙලි නාට්‍යය වල දැකපු නැති කෙනෙක්. එහෙම හිතන කාලේ තමයි රුවි ව මම වෙළඳ දැන්වීමකින් දැකලා කතා කළේ. ඇය ඉතා සතුටු වුණා මගේ ආරාධනයට. මොකද ඇය කැමැත්තෙන් ඉඳලා තියෙනවා මගේ නිර්මාණයක වැඩ කරන්න.

 

අපි කණ්ඩායමම මතක් කළොත්

සමනලී ෆොන්සේකා, ශාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, උමාලි තිලකරත්න, දයාදේව එදිරිසිංහ, නදී කම්මැල්ලවීර, සංජය මුරමුදලි, තරංග දිසානායක, මධුර ප්‍රභාස්වර, දීපානි සිල්වා, සූර්යා දයාරුවන්, රම්‍යා වනිගසේකර, ශ්‍රියන්ත මෙන්ඩිස්, සම්පත් ජයවීර ඇතුළු පිරිවර.

 

හැමදාම එකිනෙකට වෙනස් නිර්මාණ

පුංචි තිරයට කරන සුපුන් කවදද සිනමාවට නිර්මාණයක් කරන්නේ

සිනමාව තමයි මගේ ගමනාන්තය. ඒකට යන පාරේ මම ඉන්නේ. හෙට ෆිල්ම් එකක් කරන්න පුළුවන් නිෂ්පාදකවරු කැමති වෙලත් තියෙනවා. ඒ වුණාට එහෙම කරන්නම් වාලේ ෆිල්ම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ටෙලි නාට්‍යය සහ සිනමාව කියන්නේ ලොකු පරතරයන් දෙකක් තියෙන විෂයන් දෙකක්. මට ඒක කලබලෙන් කරන්න අවශ්‍ය නැහැ. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 20ක්. ඒ නිසා තව ටෙලි නිර්මාණ දෙකක් විතර කරලා. ලබන අවුරුද්දේ අන්තිමට විතර චිත්‍රපටයේ පිටපත ලියන්න පටන් ගන්න ඕනේ කියන එකයි දැනට මගේ අදහස.

 

තුන්පනේ ජාතික රූපවාහිනියේ විකාශය වීමත් ඔබට සුවිශේෂියි නේද?

මම මාධ්‍යවේදියෙක් විදියට කලාකරුවෙක් විදියට එළියට එන්නේ 2002දී ජාතික රූපවාහිනිය තුළින්. මගේ ජිවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්නේ එතැනින්. ඒ නිසා ඒ ආයතනයේ මගේ ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා කියන්නෙම මට මාර අවස්ථාවක්. මම අද එතන මීටින් එකකට ගියත් එතන ඉන්නේ මට උගන්වපු අය. ඒ අයටත් හරි සතුටක්.

 

තුන්පනේ බලන ප්‍රේක්ෂකයාට කියන්න යමක් ඇති

තවම මේ නිර්මාණයෙන් තුනෙන් එකයි ප්‍රේක්ෂකයා අතරට ගියේ. සීසන් 1 තමා මේ සතියේ ඉවර වුණේ. ලබන සතිය වෙද්දී සීසන් 2පටන් ගන්නවා. එතැනදී වර්ණ සංයෝජනයේ ඉඳලා වෙනස් වෙනවා. මෙය ප්‍රේක්ෂකයාට සමීප වෙන්නේ සීසන් 3 විදියට කොටස් තුනකින්. මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ ප්‍රේක්ෂකයාට ස්තුති කරන එක. මොකද නිර්මාණ විශ්වාස කරනවට. හැම කලාකරුවකුටම තමන්ට අනන්‍ය වුණු ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා. එහෙම අන්‍ය වූ ප්‍රේක්ෂකයාට හානියක් නොකරන නිරමාණයක් කරන එක කලාකරුවාගේ වගකීමක්. මේ මොහොත දක්වා තුන්පනේ සම්බන්ධයෙන් එන ප්‍රතිචාර ඉතාම හොඳයි. මේ තුන්පනේ එන චරිත ඉදිරියේදී එහෙම් පිටින්ම වෙනස් වෙනවා. ඒ වෙනස ගැන මම කියන්නේ නැහැ. අපි ඉඟියක් වත් දීලා නැහැ නිර්මාණය තුළින්වත්. මෙතක් කල් මම කරපු ශානරයන්ගෙන් වෙනස් වුණු කතාවක්. ඒ නිසා ප්‍රේක්ෂකයාට දවසින් දවස කුතුහලය එක්ක එකතු කරගන්න පුළුවන් කතාවක් වෙයි.

 

ජායාරූප - අසංක දිමුත්

 

 අනුෂා රණසිංහ

Comments