වාණිජ අරමුණු මත කිසිම කලා නිර්මාණයක් බිහි වෙන්නෙ නැහැ - චිත්‍ර ශිල්පී හෂාන් කුරේ | Page 2 | සිළුමිණ

වාණිජ අරමුණු මත කිසිම කලා නිර්මාණයක් බිහි වෙන්නෙ නැහැ - චිත්‍ර ශිල්පී හෂාන් කුරේ

අප්‍රේල් දහ වෙනිදා දක්වා කොළඹ 7, හෝර්ටන් පෙදෙසේ සස්කෙයා ප්‍රනාන්දු කලාගාරයේ දී පැවැත්වෙන 'දැන්වීම් ඇලවීම තහනම්' චිත්‍ර ප්‍රදර්ශනය වෙනුවෙනි.  නිසංසලා සංගීතා සමරතුංග

 

සුවහසක් කලා මාධ්‍ය අතර සුවිශේෂී වන චිත්‍ර කලාව හරහා සමාජ , දේශපාලන, සංස්කෘතික ආදී විවිධ පැතිකඩයන් අපූරුවට සන්නිවේදනය කළ හැකියි. හෂාන් කුරේ යනු ජාත්‍යන්තර චිත්‍ර සාමූහික කිහිපයකම නිර්මාණ ඇතුළත් තරුණ චිත්‍ර ශිල්පියෙකි.ඔහුගේ සිවුවන චිත්‍ර හා නූතන මාධ්‍ය ප්‍රදර්ශනය අප්‍රේල් දස වෙනිදා දක්වා කොළඹ 7, හෝර්ටන් පෙදෙසේ සස්කෙයා ප්‍රනාන්දු කලාගාරයේ දී පැවැත්වෙනවා. හෂාන්ගේ ඒක පුද්ගල චිත්‍ර සහ නව නිර්මාණ තිහක් ඇතුළත් ඒ ප්‍රදර්ශනයත් ලාංකේය චිත්‍ර කලාවත් පිළිබඳව ඔහු සමඟින් රසඳුන කළ කතාබහයි මේ.

 

චිත්‍ර අඳින්න පටන් ගත්තේ කොයි කාලෙද.?

චිත්‍රවලට පුංචි කාලෙ ඉඳන්ම ලොකු උනන්දුවක් තිබුණා. බොහෝ දෙනෙක් මාව වැඩිපුර හඳුනගෙන තිබුණෙත් ඒ හරහායි. පාසල් කාලයේ දී වසර කීපයක් සමස්ත ලංකා ජයග්‍රහණ ලැබීමත් ජපානයේ පැවති කනගාවා පාසල් චිත්‍ර තරගාවලියේ සහ ඉන්දියාවෙ ශංකර් චිත්‍ර තරගයේ අවසන් තේරීම් ලයිස්තුවට ඇතුළත් වෙන්න ලැබීමත් සංධිස්ථානයක්. උසස් පෙළට චිත්‍ර හදාරල සෞන්දර්ය විශ්ව විද්‍යාලයට තේරුණත් ඒ වෙනකොටත් වෙ‍ෙළඳ ප්‍රචාරණ ආයතනයක තෘප්තිමත් රැකියාවක් කළ නිසා ඒ සඳහා උනන්දුවක් තිබ්බෙ නෑ. පාසල් කාලෙ මුණ ගැසුණ අනුර හඳුන්නෙත්ති ගුරුතුමා හරහා පාසල හා ඉන් බැහැරව චිත්‍ර විෂය තුළින් සමාජශීලි වීම, දේශපාලන සමාජ කියවීමක් සහිතව කලාවේ යෙදෙන්න ඉවහල් වුණා කිව්වොත් නිවැරැදියි.

 

චිත්‍ර අඳින්න අවශ්‍ය හේතු ලෙස ඔබ දකින්නේ මොනවද?

චිත්‍රයක් අඳින්න අවශ්‍ය වෙන්නෙ මූලික කාරණා දෙකයි.ඒ ඇයි අඳින්නෙ සහ මොකක්ද අඳින්නෙ යන්නයි. සමාජ කියවීම තුළින් තමයි ඒ ප්‍රශ්න දෙකට පිළිතුරු ලබාගන්න වෙන්නෙ. ඇයි අඳින්නෙ කියන දේට පිළිතුරු ලැබුණොත් මොකක්ද අඳින්නෙ කියන එකට උත්තරය ඉබේම ලැබෙනවා. මගෙ පළමු ඒක පුද්ගල ප්‍රදර්ශනය LAB RATES (විද්‍යාගාර මීයො) නමිනුත් දෙවැන්න PARAHUMAN (පශ්චාත් මානවයා) සහ තෙවැන්න DESIRE (ආශාව) යන තේමා ඔස්සේ පැවැත්වුවා. මේ වෙනකොට කණ්ඩායම් චිත්‍ර ප්‍රදර්ශන දොළහකට වැඩි ගණනකට සම්බන්ධ වෙලා තියෙනවා.

 

මෙවර ප්‍රදර්ශනයේ විශේෂත්වය මොකක්ද ?

ප්‍රදර්ශනයෙ තේමාව තමයි Stick Bills(දැන්වීම් ඇලවීම තහනම්). රටක් විදියටත් සමාජයක් විදියටත් මුහුණ දීල තියෙන ප්‍රශ්න කලාකරුවෙක්ගෙ ඇසින් කතා කරන්නෙ කොහොමද කියල පෙන්වන්න තමයි මං මේ හරහා උත්සාහ කළේ. දේශපාලනය කලාව එක්ක බද්ධ වෙන්නෙ කොහොමද සහ කලාව දේශපාලන මුහුණුවරකින් පෙන්වීමටත් මට අවශ්‍ය වුණා.

 

ඔබ මේ සඳහා භාවිත කළේ කුමන මාධ්‍යයක් ද?

දිය සායම් , තෙල් සායම් , කොලාජ් වගේ සාම්ප්‍රදායික මාධ්‍යවලින් එහාට ගිහිල්ලා මෙවර මිශ්‍ර මාධ්‍ය ක්‍රමවේදයක් තමයි මම භාවිත කළේ. ඇතැම් තැන්වල පැලැටිග්නම්, පැස්ටල් පවා යොදා ගත්තා.විශේෂයෙන් මුද්‍රණ මාධ්‍යවල පාවිච්චි කරන පෝස්ටර්වල කොටස් අරගෙන ඒවයෙ දේශපාලනික කාරණා සහ සමාජ විරෝධී ප්‍රශ්න ආදියත් කතා කළා. චිත්‍රය තත්කාලීන ගැටලු කතා කරන කලාවක් විදියට ගත්තොත් එමඟින් මට ආවේණික ලෙස මේ අර්බුදය මිනිස්සුන්ට කාවද්දන්න මට අවශ්‍ය වුණා. මම වෘත්තියෙන් වෙ‍ෙළඳ ප්‍රචාරණ ආයතනයක කලා ආධ්‍යක්ෂකවරයෙක්. ඉතින් එදිනෙදා වෘත්තිය ඇතුළෙදි මම දකින ප්‍රශ්න රටේත් ප්‍රශ්න නිසා ඒවාට පිළිතුරු හොයන්න මිනිස්සු පොලඹවන එක කලාව තුළත් මගේ කාර්යයක්.

 

ඔබේ අරමුණ කොතෙක් දුරට සාර්ථකයිද?

සාම්ප්‍රදායික මාධ්‍ය ඇතුළෙ නම් බොහොම සීමිත පිරිසක් තමයි මේක ධාරණය කරගන්න පුළුවන් මට්ටමක හිටියෙ. සින්දුවක් ටෙලි හෝ වේදිකා නාට්‍යය හරහා පණිවිඩයක් ගෙනියන්න පුළුවන් නම් චිත්‍රයෙන් ඒ දේ කරන්න බැරි නැහැ. ප්‍රදර්ශනය ආරම්භ වුණායින් පස්සෙ එය බලන්න කියවන්න උත්සාහ කරන අයගෙ අදහස් සහ ප්‍රතිචාරවලින් නිවැරදි ක්‍රමවේදය භාවිත කළොත් මේ පණිවිඩය සමාජගත කරන්න පුළුවන් කියල මට වැටහුණා. මේ මොහොතේ සමාජයේ තියෙන්නෙ අවදානම් තත්වයක් නම් එය ප්‍රේරණය නොකර අවදානම් මුහුණුවරකින් ප්‍රකාශ කිරීම කලාකරුවාගේ වගකීම බවයි මගෙ අදහස. මෙවර ප්‍රදර්ශනය පෙරට වඩා ආක්‍රමණශීලී වුණත් බොහෝ දෙනෙක් එය ග්‍රහණය කරගෙන තිබීම සතුටක්.

 

ලංකාවෙ චිත්‍රයක් විඳින්න පුළුවන් සෑහීමකට පත්විය හැකි පිරිසක් ඉන්නවද.?

චිත්‍රය සන්නිවේදන මාධ්‍යයක් වුණත් එම නිවැරැදි හඳුනාගැනීම නොමැති විම ලංකාව වැනි බොහෝ තුන්වෙනි ලෝකෙ රටවල තියන ගැටලුවක්.මෙය නිහඬ මාධ්‍යක්.ලංකාවෙ පොත් කියවන්න රුචියක් තිබුණත් ,සිංදු අහන්න , නාට්‍යයක් බලන්න පෙලඹවීමක් තිබුණත් චිත්‍ර වලට එවැනි හුරුවක් හෝ පෙලඹවීමක් නැහැ.ඉතින් අල්ප ප්‍රමාණයක කුලකයක් විතරයි මේක කියවන්න සහ විඳින්න හුරු වෙලා ඉන්නෙ.නමුත් වර්තමාන තරුණ පරම්පරාව දේශපාලන කරුණු ගැන වුණත් දූපත් මානසිකත්වයෙන් මිදුණු විශ්වීය කියවීමක ඉන්න නිසා ඔවුන් තුළ මේ චිත්‍ර කියවන්න දැඩි උනන්දුවක් තියෙනවා.ඩිජිටල් නිර්මාණ , ස්ථාපන කලා මාධ්‍ය ඇතුළත් ගරිල්ලා උපක්‍රම මේ සඳහා යොදාගෙන තිබීම නිසා ඔවුන්ට පෙරට වඩා සමීපව දැනෙන එක එයට හේතුවක් වෙන්නැති.

 

වාණිජ අරමුණු වෙනුවෙන් චිත්‍රය භාවිත කරන්නෙ කොහොමද?

නූතනයේ සියල්ල කර්මාන්තයක්. හැබැයි වාණිජ අරමුණු මත කිසිම කලා නිර්මාණයක් බිහි වෙන්නෙ නැහැ. එහෙම වුණොත් ඒක නිෂ්පාදනයක්. හැබැයි අරමුණ මොකක් වුණත් මේ කාලෙ ඕනම දේකට වාණිජ ප්‍රතිලාභයක් තියන නිසා මමත් ඒ ප්‍රතිලාභ භුක්ති විඳිනවා. ඕනෑම තැනක මගෙ නිර්මාණ වෙනුවෙන් පෙනී ඉන්න මට පුළුවන්. මගේ චිත්‍ර එකතු කරන විදේශිකයන් පවා මතවාදීව තර්ක කළත් ඒ නිර්මාණ මිලදී ගන්නවා.

 

චිත්‍ර ශිල්පියා කෙරෙහි පවතින සමාජ ආකල්පය මොකක්ද ?

මං හිතන්නෙ ඒක පන්තිමය වෙනස එක්ක තීරණය වෙනව කියලයි.බහුතරයක් නියෝජනය කරන පොදු ජන සමාජය තුළ ඔවුන් අතර තවත් කෙනෙක් කියන අදහස ඇරෙන්න සුවිශේෂීත්වයක් නැහැ.

 

Comments