
ඒ 1967 වසරයි. ඇය හත්වැනි පන්තියේදී එනම් 'අවුරුදු එකොළහේදී මොනිටර් එක්සයිස් පොත් දෙකක සිය පළමු නවකතාව වූ 'තුසර බින්දු' ලියුවාය. ඉන්පසු 1997 දී අත් අකුරු කළ නවකතා ගොන්නක් රමණී බුලත්සිංහල නමින් මුද්‍රණයවී පාඨකයන් අතරට එක්වූයේය. රෝලන්ඩ්. ඒ. ප්‍රනාන්දුට ඇය ලබා දුන් 'තාරුකා' තාරක ප්‍රකාශනයක් ලෙසින් මුද්‍රණය වී 2004 දී වසරේ දෙසැම්බර් මාසයේදී ඇයගේ මුල්ම නවකතාව ලෙස පාඨකයන් අතට පත්විණි. එදා මෙදා තුර රමණී පොත් අසූ හයක් පාඨකයන්ට තිළිණ කර ඇත. තිස් හත් වසරක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සැලසුම් ශිල්පිනියක ලෙස සේවය කළ ඇය මොරටුව කටුබැද්ද විශ්වවිද්‍යාලයේත් රත්මලාන කාර්මික ආයතනයේත් බාහිර උපදේශකවරියක ලෙස ද සේවය කර තිබේ. එඩ්වඩ් ජයකොඩි මහතාගෙන් සංගීතය හැදෑරූ රමණී භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමාධාරිනියකි.
මගේ නවකතා සහ පාඨක ප්‍රතිචාර
මා ලියූ නවකතා සියල්ලම මම එක වගේ ආදරෙයි. එහෙත් සිතට කිසියම් වෙනසක් දැනෙද්දී එය නවතා ගැනීමට මා නිරතුරු කියවන නවකතා ද්විත්වයක් තිබෙනවා. ඒ 'ගිවිසුම' නවකතා ද්විත්වයයි. එය කියවන විට මගේ සිතට බොහෝ සැනසිල්ලක් ලැබෙනවා. නීලියා,කඩුපුල්, අහිංසා, කැලඹිල්ල, දයාබර ශාන්ත, දෝලනය, රූ චායා,උල්කාපාත, නිලුපුලී, දෑලය, ගිනිසිළුව, සහයෝගය, ආදරණිය නිම්සා,තුල්සි, සත්සර සිහිනය, රත්මිණ, එක් යුවතියක්, ළබැඳිය, රෑ කුමරිය,වාසුගී, පිනිබිඳු, මනුසත්, ස්වේතා, ඇතුළු නවකතා රැසකට මට ලැබුණු ,තවමත් ලැඛෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. හොඳ ප්‍රතිචාර සියයක් අතරට ලැබුණු එක් ප්‍රතිචාරයක් මට අද ද මතක් වනවා. කැලඹිල්ල නවකතාව කියවූ එක් මාතාවක් මට තරමක චෝදනාවක් ගෙන ආවා. එවැනි නවකතා තමන්ගේ දූවරුන්ට කියවන්නට දෙන්නේ කෙසේදැයි ඇය අසා සිටියා. මට වඩාත් පුදුමයක් ආවේ ඒ නවකතාව කියැවීමට හොඳ නැති බව ඇයට පෙන්වා දී ඇත්තේද ඇයගේ දියණියම වීමයි. ඒ දියණිය සමහරවිට අවුරුදු දහයක දැරියකවත්දැයි කුතුහලයෙන් දියණියගේ වයස ඇයගෙන් ඇසුවා. දියණියගේ වයස අවුරුදු විසිදෙකක්. ඇය ඉගෙන ගන්නේ ද ඇමෙරිකාවේ. පොතක චරිතයකින් තමාගේ චරිතය මැවෙන විට සමහරුන්ට ඒ පොත හොඳ නැතිවන බව මට වැටහුණේ ටික දිනකින්.
මා නොලියූ මා කැමැති වෙනත් පොත්
මා සතුව එදා මෙදා තුර ලේඛක ලේඛිකා ගොන්නකගේ පොත් තිෙබනවා. මේ සියලුම ලේඛක ලේඛිකාවන්ගේ පොත් අතරින් කියවන්නට කැමැති පොත් ඛාණ්ඩ දෙකක් වනවා. ඒ පෙරීමේසන් නම් චරිතය අඩංගු ලසිත රවීන් උමගිලිය ලේඛකයාගේ කතා හා රහස් පරීක‍්ෂක නවකතා පොත් ලියන ඩී. එම්. අනුර දිසානායක ලේඛකයාගේ පොත්. මෙයට අනික් ලේඛක ලේඛිකාවන් මා හා උරණ නොවනු ඇතැයි මම සිතනවා. බොහෝ ජනප්‍රිය නවකතාවලට මම වහ වැටී සිටියද මේ දෙදෙනාගේම ලේඛන ශෛලීය මෙන්ම ඒ කතා ද මගේ සිතේ රැඳී තිබෙනවා.
ඒ වගේම 1965 වසරේදී මට කියවන්නට ලැබුණු ලෙටීෂියා බොතේජු ලේඛිකාවගේ 'එළිපත්තෙන් උඩවත්තට' නම් පොත. එතෙක්ම සුරංගනා කතා ළමා කතා කියවමින් සිටි මා නවකතා කියවන්නට හුරු වූයේ එම නවකතාව කියවීමෙන්. මේ නිසා ඒ පොතට මම අදත් ආදරය කරනවා.
මගේ ඉදිරි සැලසුම්
2022. 03. 22 දිනයට වසර 68ක් පිරෙන මට ඉදිරි සැලසුම් රැසක් තබාගත හැකිදැයි මම දන්නේ නැහැ. මගේ සියවෙනි නවකතා පොත ලියන්නට මම බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ සඳහා මට වරම් ලැබේවායි ප්‍රාර්ථනාවයි. ලැබුණු නොලැබුණු බොහෝ දේ අතර, මට ඛෙහෙවින් ආදරය කරන දියණියක මෙන්ම මගේ පොත්වලට ආදරය කරන පාඨක සමූහයකින්ද මා ධනවන්තියක්. නොලැබුණු දෙයට වඩා ඒ ලැබුණු වාසනාවට මම දිවිය නිමාවෙන තෙක්ම ආදරය කිරීම ඉදිරි සැලසුම් අතර වනවා. මෙතෙක් ආ ගමනේදී මට ශක්තියක් වූ දිවංගත රෝලන්ඩ්. ඒ. ප්‍රනාන්දුටත්, වරාය අධිකාරියේ විනීතා අමරසිංහට හා සිරිල් රුද්‍රිගු ප්‍රවීණ ලේඛක මහතාටත් සැලසුම් ශිල්පී අංශයේ 2004 වසරේ සේවය කළ සියලුම සේවක සේවිකාවන්ටත් මගේ ආදරණීය දියණියටත් මගේ ස්තුතිය හිමි වෙනවා.
මගේ පළමු නවකතාව
තාරුකා මුද්‍රණ ද්වාරයෙන් බිහිවූ මගේ පළවෙනි නවකතාවයි.
වරාය අධිකාරිය අසලම මිලර්ස් සාප්පුවෙන් දැමූ කුඩා ඡායාරූප ශාලාවක් තිබුණා. තොග ගණන් දලසේයා පටලවලට නැඟූ මගේ දියණියගේ ඡායාරූප ගන්නට බාර දුන්නේම එතැනට. දිනක් හදිසියෙන් මෙන් පැමිණි තරුණයෙක් මුදල් අදිමින් ඔහුගේ ඡායාරූප කවරය පසෙකට තබා ඔහු ඉදිරියෙන්ම ඇති මගේ ඡායාරූප දැමූ කවරය ගන්නට ගියා. හොඳ වේලාවට මම එක්වරම අත දමා එය පසෙකට ගත්විට සිනහසුණු ඔහු ඔහුගේ කවරය ගෙන නික්ම ගියා . තාරුකා ගේ කතාව මතුවෙන්නේ එතැනින්. එයට මම තවත් තුනපහ එකතු කරලා රසවත් ව්‍යාංජනයක් සැදුවා. මාපියන්ට කීකරු දරුවකු වන ඇයට, ඇයගේ සිතේ ඇති දේ කියන්නට නොහැකි අවස්ථාවන්වල නැඟණිය මඟින් ඒවා කියවන ආකාරය මම ගොඩනැඟුවේ සැලසුම් ශිල්පී පාඨමාලාව කරද්දී මා හා ළබැඳි අනුලා මිතුරිය ගැන සිතමින්.
එහි සිත් ගත් හා සංවේදී අවස්ථා
මෙහි එන අමල් සර්ට නිකිල් කියලත් නමක් තියෙනවා. ඔහුව තාරුකා දන්නේ නිකිල් කියන නමින්. කිසිදින තාරුකා නිකිල්ව දැක නැහැ. දුරකතන පණිවිඩයක් මඟින් ඇතිවූ දැනහැඳුනුම්කමකටයි ඇය නිකිල්ට ආදරය කරන්නේ. දිනක් තාරුකා සහ අමල් සර් තාරුකාගේ ගමේ යනවා. අමල් සර් නිකිල් කියන්නේත් තමන්මයි කියලා එදා ඇයට කියන්නයි සිටින්නේ. නමුත් තාරුකා නිකිල් ගැන ආදරයෙන් පිරී බලාපොරොත්තු ගොන්නක් අමල් හමුවේ කියවද්දී නිකිල් කියන්නේ තමන්, මෙතෙක් කල් ඒක කියන්න බැරිවුණා කියලා තාරුකාට කියා ගන්න බැරිව ළතවන අවස්ථාවට මම හරිම කැමතියි. ඒවගේම අමල් කියන්නේ නිකිල්මයි කියලා කැලණි පන්සලේදී තාරුකා දැන ගත් අවස්ථාවේදී දෙදෙනාම සංවේදී වන අවස්ථාව මමත් ඒ කතාවේ සංවේදී වූ අවස්ථාවක්.
බුද්ධිකා ඉඹුලාන