
මට අවශ්‍ය මා ගැයු ගීත ප්‍රමාණය මෙච්චරයි කියලා සංඛ්‍යාව ලොකු කරලා පෙන්වන්න නෙමෙයි. රසිකයන්ගේ මතකයේ රැඳෙන, නිර්මාණාත්මක ගීත ගායනා කරන්නයි
මම ගීත ගයන්නේ තෝරා බේරාගෙන. මම ගීත ගයනවා කියලා මගේ ස්වරයට නොගැළපෙන, රසාස්වාදයක් නැති, හරසුන් ගීත ගයන්න නම් මට ඕන නැහැ. ඒ ගයන ගීතයෙන් මම තෘප්තියක් ලබන්න ඕන. ඒ වගේම මගේ රසිකයා තෘප්තියක් ලබන්නත් ඕන.
කලක් තිස්සේ නිහඬව සිටි ගායක ගායිකාවට යළිත් වේදීකාව විවෘත වෙමින් තිබේ. මෙවන් වාතාවරණයක් යටතේ එළැඹෙන අප්‍රේල් මාසයේදී සිය ඒක පුද්ගල ගීත ප්‍රසංගය පැවැත්වීමට කටයුතු කරන්නෙකි ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් හේවාවිතාරණ. දිගු නිහැඩියාවකට පසු යළිත් වේදිකාවට පිවිසෙන ඔහුගේ මුල්ම ප්‍රසංගය පැවැත්වෙන්නේ අප්‍රේල් 2 වැනිදා ගලේවෙල දී යි.
දිගු කලකට පසු සිළුමිණ රසඳුනට එක්වූ ලක්ෂ්මන් සිය ප්‍රසංගය ගැන තොරතුරු කීවේය.
“ 2019 වසරේ වසරේදී කරගෙන ගිය නිහඬ ගීතය එක පුද්ගල ගීත ප්‍රසංගය පාස්කු ප්‍රහාරයත් සමඟ අතරමඟ නතර වුණා. ඉන් පස්සේ 2020 වසරේ කොරෝනා වයිරසය පැතිර යාමත් සමඟ ප්‍රසංගය නතර වෙලාම ගියා. වසර දෙකකට පස්සේ තමයි නැවත මේ වසරේ එළැඹෙන අප්‍රේල් මාසයේදී යළිත් පෑල දිග අහසේ නමින් මගේ ගීත ඇතුළත් ගී ප්‍රසංගය ඇරඹෙන්නේ. මේ ගීතයට මා මෙතෙක් ගැයූ ගීත දොළහක් පමණ අඩංගු වෙනවා. විශේෂයෙන්ම මම මෑතකදී ගැයු ගීත කිහිපයකුත් මෙයට අඩංගු වෙනවා.
අප හා කතාවට එක්වෙමින් ලක්ෂ්මන් පැවැසීය.
මගේ මතකයේ හැටියට ඔහු මට මුලින්ම හමුවන්නේ 2004 වසරේදී දිනකය. ඒ ඔහු ගීත ගායනයට යොමු වූ මුල්කාලයේ ය. නිල්වලා කැසට් ආයතනයෙන් ඔහුගේ මුල්ම කැසට් පටය බිහි වන්නේද මේ කාලයේ ය. ඒ 'මං අහන්නේ නම් නෑ රත්තරනේ' කැසට් පටයයි. තම ගමන් මගේ ආරම්භය සිහි කළ ලක්ෂ්මන්.
“අවුරුදු ගාණක් මම හිටියේ ප්‍රංසයේ. එහේ මගේ යාළුවන්ට සංගීත කණ්ඩායමක් තියෙනවා. ප්‍රංසයේ ප්‍රසංග පැවැත්වෙනකොට අපේ සංගීත කණ්ඩායම වාදනයෙන් සහාය වෙනවා. මගේ යාළුවෝ සින්දු කියනවා. සංගීත භාණ්ඩ වාදනය කළාට මට ගායනා කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. දවසක් ප්‍රසංගයකට ගුණදාස කපුගේ අයියා ආවා ප්‍රංශයට. අපි හැමෝම ඉන්න අවස්ථාවේ ඔහු මට කිව්වා උඹ හැමදාම මඟ අරිනවා. අද නම් සින්දුවක් කියන්න ඕනමයි කියලා. කපුගේ අයියගෙ වදේට තමයි මම සින්දුවක් කියන්න ගත්තේ. සින්දුවේ ටිකක් කියන කොට කපුගේ අයියා කිව්වා උඹට ලස්සන හඬක් තියෙනවා කියලා. ලංකාවට ආවාම කියන්න මම ගානේ ලස්සන සින්දුවක් හදලා දෙනවා කිව්වා. ඔහු තමයි මාව මේ ගායන ලෝකයට කැන්දාගෙන ආවේ.
පසුව මම ලංකාවට ආ දවසක එතුමන් හමු වන්නට ගියා. ඒ ගිය දවසක තමයි එතුමා මට ගීත දෙකක් නිර්මාණය කර දුන්නේ ගයන්න. ඉන් එක් ගීතයක් තමයි “ආදරය වගෙ නොවේ“ කියන ගීතය. කපුගේ අයියා ඒ පෙන්නපු මඟ මම තවම යනවා. මම ගීත ගයන්නේ තෝරා බේරාගෙන. මම ගීත ගයනවා කියලා මගේ ස්වරයට නොගැළපෙන, රසාස්වාදයක් නැති, හරසුන් ගීත ගයන්න නම් මට ඕන නැහැ. ඒ ගයන ගීතයෙන් මම තෘප්තියක් ලබන්න ඕන. ඒ වගේම මගේ රසිකයා තෘප්තියක් ලබන්නත් ඕන. එහෙම හිතලා තමයි මට ලැබෙන ගීත තෝරා බේරාගෙන ගයන්නේ. ගෙවුණ කාලය තුළ ඔහු ගයා ඇති ගීත සංඛ්‍යාවෙන් විශාල නැත. යූ ටියුබය හරහා අද අපට විවිධ ගායක ගායිකාවන්නේ ගීත ශ්‍රවණය කරන්නට ලැබේ. මේ අතර ලක්ෂ්මන්ගේ බොහෝ ගීත ද අපට අසන්නට දකින්නට ලැබෙන්නේ යූ ටියුබය ඔස්සේය.
“ විවිධ නාලිකා ඔස්සේ මගේ ගීත ප්‍රචාරය වෙනවා. නමුත් මුලින්ම ගීතයක් ගැයුවාම එය යු ටියුබයට මුදා හරිනවා. ඇත්තටම විශාල රසික ප්‍රතිචාර ඊට ලැබෙනවා. ඒ ප්‍රතිචාර දුටුවාම මට හිතෙනවා මගේ ගීත වලට ලැබෙන ප්‍රතිචාරය හොඳයි කියලා. රසිකයෝ මගේ ගීත වලට ආදරය කරන බව මම දන්නවා. එහෙම බැලුවාම මට මගේ නිර්මාණ ගැන තිබෙන්නේ නිහතමානී සතුටක්. මම මගේ ගමන යන්නේ හෙමින්. මට අද සතුටක් දැනෙනවා මම මේ ගෙවන ජීවිතය ගැන. කාලයක් මම ඉතාලියේ හිටියේ. ඒ ජීවිතය හරි සරලයි.
අලුතෙන් මට ගීත ලියු කිහිපදෙනෙක්ම ඉන්නවා. ඒ ගී අතර මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජගත් ප්‍රේමචන්ද්‍ර ලියූ ගිරිදුර්ග පසු කරන්, තරින්ද ගුණවර්ධන ලියු සඳවතට, සුගත් රාජපක්ෂගේ සඳක් ලස්සන, තිලක්ෂි චතුරිකාගේ සඳ කිරණ දොවා, ප්‍රභාත් චන්ද්‍රකිර්තිගේ ඉසිඹුවක්, දිලීප විතානගේ කොළොම්තොට සරසවිය, නිලන්ත පෙරේරාගේ බිඳුනු හදකට, කරුණාරත්න පෙරේරා යන අයගේ ගීත මං ගායනා කරලා තියෙනවා. අද වන කොට මගේ ජීවිතේ ගීත ගැයීම හා සංචාරය කිරීමයි. නමුත් මම හැමදාම හොඳ නිර්මාණ තෝරාගෙන ගායනා කරන්න උත්සාහ කරනවා. මට අවශ්‍ය මා ගැයු ගීත ප්‍රමාණය මෙච්චරයි කියලා සංඛ්‍යාව ලොකු කරලා පෙන්වන්න නෙමෙයි. රසිකයන්ගේ මතකයේ රැඳෙන, නිර්මාණාත්මක ගීත ගායනා කරන්නයි.
මේ දිනවල නිවෙසටම වී සිටින මම ගහකොළ පරිසරය අතර තමයි වැඩි කාලය ගෙවා දමන්නේ. නිර්මාණකරුවන් හැටියට අපේ යුතුකම තමයි අපේ රසිකයන්ට හොද නිර්මාණ, රසවිඳින්නට සැලසීම. ඒ නිසා මම හැම විටම ගීතයක පද ගැන හොඳින් විමසිලිමත් වෙනවා.“
තම ගායන දිවියේ තවත් නව පියවරක් තබන්නට සූදානම් වන අතරේ ලක්ෂ්මන් අප හා පැවැසුවේ එවැන්නක්.
ලක්ෂ්මන්ට ඇත්තේ ප්‍රේමණීය හැඟුම්බර හඩකි. ඒ හඬට රසිකයෝ පෙම් බඳිති. මෙතරම්ම ඒ හඬ ප්‍රේමණීය වූයේ මන්දැයි කියා විමසු විට ඔහු දුන්නේ මේ වගේ උත්තරයක්.
බොහෝ අය ඔය කතාව කියනවා. මම නම් ඒ ගැන හිතන්නේ මෙහෙමයි. මම මුල් කාලේ සිටම ගීතයක් ගැයීමට තෝරා ගැනීමේදී එහි පද පෙළ ගැන බොහෝම කල්පනාකාරී වෙනවා. ඒ වගේම තමයි පද පෙළේ තියෙන්නේ විරහව ද, ප්‍රේමය ද කියලා බලන මම ඒ ගීතය ගැයීමේදී මගේ ජීවිතයේ අත්දැකීම් සිතට නඟා ගන්නවා. පද පෙළේ ඇති අරුත මගේම කර ගන්නවා. ඒ නිසා වෙන්නැති රසිකයෝ කියන්නේ මගෙ හඬ දුක්බරයි කියලා. “