නරකයි කියන මිනිස්සුගෙන් පවා මම දේවල් ඉගෙන ගත්තා - ජනප්‍රිය රංගන ශිල්පිනී තිලක්ෂිනී රත්නායක | සිළුමිණ

නරකයි කියන මිනිස්සුගෙන් පවා මම දේවල් ඉගෙන ගත්තා - ජනප්‍රිය රංගන ශිල්පිනී තිලක්ෂිනී රත්නායක

නිරන්තරයෙන් රූප මාධ්‍යය ඔස්සේ දකින්න නොලැබුණත් තමන්ට ලැබෙන චරිතය තුළ තමන්ටම වූ අනන්‍යතාවක් ගොඩ නගා ගැනීමට සමත් වුණු දක්ෂ චරිතාංග රංග ශිල්පිනියක් තමයි ඇන්ටනට් තිලක්ෂිනී රත්නායක කියන්නේ. ඒ නිසාම රසඳුන අපි තිලක්ෂිනීගේ කලා කටයුතු ගැන ජිවිතේ ගැන අපි මොහොතක් කතා බහ කළා.

 

තිලක්ෂිනී මේ දවස් වල මොකද වෙන්නේ

නිර්මාණ ගැන කියනවා නම් මාණික්කාවත ෂූටින් ඉවර වුණා. තව අලුත් නිර්මාණයකට කතා කරලා තියෙනවා අශෝක අතාවුදහෙට්ටි අයියාගේ. ඒකට සුදානමින් ඉන්නවා. ඒ එක්කම ආරියරත්න ඇතුගල ගේ සිසිවන වුවන කියන නාට්‍යයට මම රංගනයෙන් දායක වුණා.

 

අපි කතා කරොත් සිසිවන වුවන හි ඔබේ චරිතය ගැන

මගේ චරිතයට නමක් නැහැ. විත්තියේ නීතිඥවරියගේ භූමිකාව තමයි මම නිරූපණය කරන්නේ.

 

වේදිකාව පැත්තෙන් මොනවද මේ දවස්වල නිර්මාණ

මගේ රංගනය සහිත වේදිකා නිර්මාණ නම් මේ දවස්වල වේදිකාගත වෙන්නේ නැහැ. රටේ තත්ත්වය හොඳ වුණොත් සහ වේදිකා දර්ශන වලට ආරාධනා ලැබුණොත් ''විකෘති'' නාට්‍යයේ සහ රාජිත දිසානායක අයියගේ සිහින හොරු අරන් නාට්‍යයවල තමයි මම වැඩ කරන්නේ. ඊට අමතරව ප්‍රසන්න විතානගේ අලුතින් කරනවා වේදිකා නාට්‍යයක්. ඒකට පෙර පුහුණුවීම් වල නිරත වෙනවා.

 

තිලක්ෂිනීව නිතර දකින්න නොලැබෙන්නේ චරිත තෝරා බේරා ගැනීම් කරන නිසාද?

තෝරා බේරා ගැනීමක් ලොකුවට කරන්නේ නැහැ. මට ආරාධනා ලැබෙන විදියට චරිත කරනවා. අකමැති විදියේ සහ කරන්න බැරි දේවල් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ වගේම දිනවකවානු එක්ක ඇතැම් නිර්මාණ මඟහැරිලා තියෙනවා.

 

වෘත්තීය රංගන ශිල්පිනියක් ද?

වෘත්තීමය රංගන ශිල්පිනියක් නෙමෙයි කියන්න බැහැ. මොකද මම වෘත්තියක් විදියට සලකලා තමයි මේ ක්ෂේත්‍රයේ කටයුතු කරන්නේ. අනිත් අයටත් ඒ වෘත්තීයමයභාවය පවත්වා ගන්න මම උදව් කරනවා. ඒක මට ලැබෙන මුලින්ම මම වෘත්තීයභාවය කියන දේ එතනින් ගන්නේ නැහැ. සිංහලෙන් වෘත්තීයමය භාවය කිව්වට වෘත්තීයභාවය කියන එක ඇතුළේ තව තව ගොඩක් දේවල් තියෙනවා. වෙලාවට වැඩ කිරීමේ ඉඳලා මම හිතන්නේ වෘත්තීයමයභාවය කියන දේ ඇතුළත්. ඒ නිසා මම වෘත්තීයමය විදියට වැඩ කරනවා.

 

තිලක්ෂිනී තවත් රැකියාවක් කරනවද?

නැහැ. මම විශ්වාස කරන්නේ වෙනත් රැකියාවක් කරන ගමන් කලාව කියන දේ කරන්න බැහැ කියලා. මම මේකට පූර්ණකාලීනව කැපවෙලා ඉන්නේ. මම ෂූටින් යන්නේ නැත්නම් සහ වේදිකා නිර්මාණයක් නැත්නම් මම ගෙදරට වෙලා නිකම්ම ඉන්නේ නැහැ. මම ඒ කාලයේ තමයි මේ විෂය ගැන හැදෑරීම් කරන්නේ.

 

කොහොමද මේ කලාවට සම්බන්ධ වෙන්නේ

මම පාසලෙන් අයින් වුණාට පස්සේ ප්‍රසිද්ධ වේදිකාවේ කෙටි නාට්‍යයක් හරහා තමයි රංගනයට අවස්ථාව හම්බ වෙන්නේ. ඊට පස්සේ ඉතින් ඒකට ලැබුණු ඇගයීම් එක්ක මම තීරණය කරනවා; මේ කලාව තුළ මම දිගටම නියැළෙනවා සහ මම මේ දේ ගැන ඉගෙන ගන්නවා කියලා. මේ මොහොත වෙද්දී මට රඟපාන්න මට ආවේණික වුණු මට සතුටු වෙන්න පුළුවන් හේතුවක් තියෙනවා. ඒ හේතුවත් එක්ක මම වැඩ කරමින් යනවා.

 

කලාකාරිනියක් වීම ගැන තිලක්ෂිනී තෘප්තිමත් ද?

මම ජිවිතේ කොහොමත් පසුතැවෙන දේවල් කරන්නේ නැහැ. ඒක මගේ තීරණයක්. මම පසුතැවෙනවා නම් මට බැරි නම් මට එපා නම් මම කරන්නේ නැහැ.

එක මම සිහියෙන් ගන්න තීරණයක්. ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවා විසඳාගෙන ඉදිරියට යන්න ඕනේ. මීට වඩා හොඳ තත්ත්වයක් ඉදිරියට නිර්මාණය විය යුතුයි කියන විශ්වාසය මට තියෙනවා. මම අකමැත්තෙන් කිසිම දෙයක නියැළෙන්නේ නැහැ. කරන්නෙත් නැහැ. ඒ නිසා මම කරන හැමදෙයක්ම කරන්නේ සියයට සීයක්ම හිතට එකඟව.

 

ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩියෙන්ම ලැබුණු නිර්මාණ මොනවද?

සිනමාවෙන් නම් ප්‍රසන්න විතානගේ උසාවිය නිහඬයි චිත්‍රපටයට සහ ලලිත් රත්නායකගේ විෂම භාග චිත්‍රපටයට. ප්‍රේක්ෂකයන් හුඟක් ඒ චරිත දෙක ගැනම ප්‍රතිචාර දැක්වූවා. පුංචි තිරයේ නිර්මාණ අතරින් ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරෙන් මාව බාරගත්තේ තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ සුලෝ කියන චරිතය. වේදිකාවේ නම් කාලෙන් කාලෙට වෙනස් ප්‍රතිචාර ලබලා තියෙනවා.

 

ඉදිරියේදී සිනමාව ද පුංචි තිරය ද කියලා චරිත තෝරා බේරා ගැනීම් තියෙනවද?

එහෙම බෙදීමක් නැහැ. නමුත් මම තේරුම් අරන් තියෙනවා මට මේ වෙද්දී ලැබිලා තියෙන වැඩත් එක්ක ඒ ඒ නිර්මාණවලට ලබාදිය යුතු කැපවීම ගැන මම තේරුම් අරන් තියෙනවා. ඒ අදාළ වැඩේට මගේ කැපවීම දායකත්වය ලබා දෙමින් ඉදිරියට යනවා.

 

ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ

මට වැඩ කරපු සියලු දෙනා සම්බන්ධව grateful feelings එකක් තියෙනවා. මොකද මට හොඳ නිර්මාණ, හොඳ අධ්‍යක්ෂවරු සහ හොඳ නළු නිළියන් හම්බුණා. ඒනිසා ඒ හැමෝගෙන්ම මම පෝෂණය වුණා. හැමෝම මට දෙයක් ඉගැන්වුවා. කොච්චර නරකයි කියන මිනිස්සුගෙන් පවා මම දේවල් ඉගෙන ගත්තා.

ඒ නිසා කළයුතු දේ සහ නොකළ යුතු දේ දෙකම මට ඉගැන්වුවා මේ අවුරුදු 10 තුළ මට මුණගැහුණු මිනිස්සු. ඒ නිසා ඒ හැමදෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම මම තේරුම් අරන් තියෙනවා මම කොතනින් ද වෙනස් වෙන්න ඕනේ තව මොනවද මම ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් සතුටුයි.

 

දැන් ආදරවන්තියක් ද? - ඔව් අපි කියමුද ඒ කවුද කියලා

විස්තර ඉතින් පස්සේ කියන්නම්. මම විශ්වාස කරනවා මම හැමදාම ආදරවන්තියක් කියලා.

 

අවසාන වශයෙන් කලාවේ හෙට දවසේ බලාපොරොත්තු මොනවද?

රටේ සහ ලෝකයේ තියෙන තත්ත්වයන් සහ මිනිස්සු තනි තනිවම අත්විඳින තත්ත්ව එක්ක දැනෙන නිර්මාණ තව කෙරෙන්න ඕනේ. ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ කරන එක තමයි මගේ බලාපොරොත්තුව.

 

Comments