
අක්කර 163ක භූමි ප්‍රමාණයෙන් යුත් ජනශූන්‍ය දූපතක් වන ‘කච්චතිව්’ පිහිටා තිබෙන්නේ කන්කසන්තුරේ සිට කිලෝමීටර 86කට ආසන්න දුරකින් මහා දියඹේය. යාපනය අර්ධද්වීපය වටා පිහිටි දූපත් ගණනාවෙන් සාපේක්ෂව එක් රේඛාවක ඉන්දියාව දෙසට විහිදී යන මන්ඩතිව්, පුන්කුඩුතිවු, ඩෙල්ෆ්ට් දූපත් පසුකරන විට මේ අපූරු දූපත හමුවේ. දෙවියන්ගේ දූපතක් යැයි සැලකෙන කච්චතිව් දූපත පිහිටා ඇත්තේ අපටත් වඩා ඉන්දියාවට සමීපවය. රාමේෂ්වරමට කිලෝමීටර 24කට(නාවික සැතපුම් 13.05)ආසන්නයෙනි.
කිසිවකුටත් ඇතුළුවීමට අවසර නැති මේ ජනශූන්‍ය දූපත අවුරුද්දේ එක් සීමිත දින ගණනකට පමණක් ජනතාව වෙනුවෙන් විවෘත වන්නේය. ඒ, උත්තුංග දේව වන්දනාවක් වෙනුවෙනි.
කිතුනු බැතිමතුන්ගේ විශ්වාසය මේ දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන් වැඩවසන බවයි. අන්තෝනි මුනිඳුන්ට කැපවූ අනුහස් පූර්ණ පල්ලියක් කච්චතිව් හුදෙකලා දූපතේ වේ. ඒ වෙනුවෙන් පවත්වන මංගල්‍යයට සමුද්‍රීය අසල්වැසියන් වන ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව එකතු වෙති. එක්ව මංගල්‍යය සමරන ඔවුහු මංගල්‍යයෙන් අනතුරුව පිටත්ව ගිය පසු දූපත යළිත් ජන ශූන්‍ය වන්නේය. දේවස්ථානය ද හුදෙකලා වන්නේය. වසර ගණනාවක් තිස්සේ සිදු වන්නේ එයයි.
කච්චතිව් දූපතේ පිහිටි සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවැති වාර්ෂික දේව මංගල්‍යය මාර්තු 11 හා 12 දෙදින පැවැත්වූයේ එකී සිරිත අනුවය. මෙවර ඊට සහභාගී වූයේ සීමිත බැතිමතුන් පිරිසකි. ප්‍රධාන වශයෙන් ධීවරයන් සහ පූජකවරුන්ගෙන් සමන්විත ඉන්දියානු වන්දනාකරුවන් 100කට ආසන්න පිරිසක් ඊට සහභාගී විය. ශ්‍රී ලංකාවෙන් ද එවැනිම වන්දනාකරුවෝ පිරිසක් මෙම උත්සවයට සහභාගී වී සිටියහ.
මංගල්‍යයේ සංවිධාන කටයුතු සඳහා මඟපෙන්වනු ලැබුවේ සෞඛ්‍ය නීති රිතී සහ මාර්ගෝපදේශනය. දේව මංගල්‍යයේ කටයුතු සාර්ථකව සිදුකර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සුපුරුදු ලෙසම ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනුග්‍රහයෙන් සිදු කෙරිණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මඟපෙන්වීම මත වාර්ෂික කච්චතිව් මංගල්‍යය සඳහා අවශ්‍ය පහසුකම් සපුරා දීම උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ අධීක්‍ෂණය යටතේ සිදු විය. කච්චතිව් මංගල්‍යය සඳහා සහභාගී වූ බැතිමතුන්ට අවශ්‍ය ආහාර, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කර දීම, විදුලි පහසුකම් සලසා දීම, බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීම මෙන්ම වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් යෙදවීමටත් නාවික හමුදාව කටයුතු කර තිබිණි.
ඉන්දියාව වෙනුවෙන් යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල්, රාකේෂ් නට්‍රාජ් සහ කොන්සල් කාර්යාලයේ අනෙකුත් නිලධාරීන් විශේෂ ආරාධිතන් ලෙස මංගල්‍යයට එක් වී සිටියහ. කච්චතිව් දූපතට පැමිණි බැතිමතුන් පිළිගනු ලැබුවේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසිනි. මෙවර දේව මංගල්‍යයේ ප්‍රධාන දේව මෙහෙය යාපනය දියෝකිසය භාර අනුනායක ජෝෂප් ජෙබරත්නම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණි.ඒ සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තවත් පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් පිරිසක් එක්ව සිටියහ.
වාර්ෂික උත්සවය සෑම වසරකම පැවැත් වෙන්නේ ඉන්දියානු වන්දනාකරුවන්ගේ උද්යෝගිමත් සහභාගීත්වයෙනි. එය මහා සංස්කෘතික ලේ නෑකමක බැඳීමක් ප්‍රකාශ කළේය. වර්ෂ 2020 දීත් මෙම උත්සවයට ඉන්දියාවේ සිට වන්දනාකරුවන් 3,000 කට වැඩි පිරිසක් සහභාගී වූහ. මෙම ඉන්දියානු වන්දනාකරුවන්ට යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය විසින් කොන්සියුලර් සහ අනෙකුත් ආධාර ලබා සපයා දුනි.
එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් කච්චතිව් මංගල්‍යය පසුගිය වසරේ පැවැත්වූයේ නැත. ඒ උවදුරට යම් පමණකට මුහුණ දීමට ශක්තියක් ඇති වූ සැණින් කොවිඩ් සෞඛ්‍ය නිර්නායකවලට අනුකූලව සීමිත ජන සහභාගීත්වයකින් යුතුව පැවැත්වීමට අවසර ලැබී තිබිණි. ඵල දැරුවේ ඒ අවසරයය.
ඉන්දීය ශ්‍රී ලංකා මානව සංස්කෘතික සබඳතා දීප්ත කළ මේ දෙවියන්ගේ දූපතට කැප වූ අන්තෝනි මුනිඳුන් පිළිබඳ වූ බැතිබර කතා බොහෝය. ධීවර ප්‍රජාවගේ උත්තම ගැලවුම්කරුවාත් ආරක්ෂකයාත් ලෙස සැලකෙන්නේ අන්තෝනි මුනිඳුන්ය. ඔවුන්ගේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීම සඳහා වැඩිපුර මාළු ලබා දෙන්නා උන්වහන්සේය. එතුමෝ මුහුද මැද හා ඒ අවට පෑ ආශ්චර්ය පිළිබඳ ධීවරයෝ නොනිත් විශ්වාසයෙන් පසුවෙති.
ඩෙල්ෆ්ට් දූපත හා බැඳුණු ප්‍රධාන ප්‍රවාදයේ අතීතය මීට අවුරුදු 112ක අතීතයට දිවෙයි. මේ වකවානුවේ එක්තරා දිනයක පෝක් සමූද්‍ර සන්ධිය අවට ධීවර කටයුතු කරමින් සිටි ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙක් දියඹේදී අනතුරුට ලක් විය. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු මේ ධීවරයෝ අන්තෝනි මුනිඳු සිහිකර යාඥා කිරීම ඇරඹූහ. ඔවුන්ගේ ප්‍රාර්ථනාව වී තිබුණේ කෙසේ හෝ පය ගැසිය හැකි ගොඩබිමකි. රළ පහරත් සමඟ මේ දෙපළ කුඩා දූපතකට පැමිණ තිබේ. තමන්ගේ ජීවිතය ආරක්ෂා වුණේ අන්තෝනි මුනිදුන්ගේ පිහිටෙන් බව විශ්වාස කළ මොවුන් දෙවියන් වෙසෙන දූපතේ පණිවුඩය ඉන්දියානුවන්ට ගෙන ගිය බවත් අද අන්තෝනි මුණිඳුන් වෙනුවෙන් කැපවූ දේවස්ථානය ඉදි වන්නේ ඔවුන් දෙපළගේ මැදිහත් වීමෙන් නිසා බවත් කියැවෙන කතාවකි.
අතීත රජ දවස මේ හුදෙකලා දූපත අයත්ව තිබුණේ ලංකාවටය. ද්‍රවිඩ බලය ලංකාවට ඍජුව බලපෑම් කළ 13 වන සියවස වනතුරුවත් මේ බලය ලංකාවේ රජු යටතේ තිබිණි. කච්චප යනු පාලි බසින් කැස්බෑවාය. කැස්බෑ ලෙලි නිපදවීම පිළිබඳ ලෝ පතල කීර්තියක් ලක්දිව සතුව තිබුණු ඉතිහාසයක් විය. කැස්බෑ දූපත යන අදහස එන පාලි පදයකින් කච්චතිවු යන දෙමළ නම බිඳී එන්නට ඇතැයි යනු මතයකි.
ඉතිහාසය අනුව ක්‍රි.ව. 1766 දී ලන්දේසීන් සමඟ ගිවිසුම්ගත වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු යාපා පටුන ඊට අඩංගු රටවල් ද සමඟ ලන්දේසින්ට පවරා දීමට එකඟ වී ඇත. එනම් 18 වැනි සියවස අග භාගය වනතුරුම උතුරු මුහුදේ දූපත්වල අයිතිය සිංහලයේ රජු සතුව තිබිණි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීහු බොහෝ විට ස්වකීය පරිපාලන කටයුතු කරගෙන ගියේ ඉන්දියාව හා ලංකාව ප්‍රධාන ඒකකයක් කරගනිමිනි. ඒ වකවානුවේ මේ දූපත පිළිබඳ ගැටලු උපන්නේ නැත. අතීත සිතියම්වල ද ලංකාවට අයත් දූපතක් ලෙස සඳහන් වුවත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් අනතුරුව වර්ෂ 1974 වනතෙක් මේ දූපත ඉන්දියානුවන් යටතේ තිබිණි.
වර්ග කිලෝමීටර 1.5 ක් වූ කච්චතිවු ඉතිහාසයේ සෑම කලෙකම ස්ථිර පදිංචියෙන් තොර ජනශූන්‍ය භූමියකි. එසේ වීමට ප්‍රධානම හේතුව වන්නට ඇත්තේ එහි පානීය ජලය නොමැති වීම විය හැකිය. එහෙත් එය සියවසක් තිස්සේ දෙවියන් වෙනුවෙන් කැප කළ ශුද්ධ භූමියක් සේ සැලකිණි. එමෙන්ම කච්චතිව් දෙරටේ ධීවරයන්ගේ තාවකාලික නැවතුම්පොළක් වූයේය. තම දැල් ආම්පන්න අලුත්වැඩියා කර ගැනීමටත්, ඇතැම් විට දියඹේදී සිදුවන ආපදාවලදී ගොඩබැසිය හැකි ආරක්ෂිත ස්ථානයක් ලෙසත් ඔවුහු කච්චතිවු දූපත යොදා ගත්හ.
එහෙත් පුදබිම් පවා අශීලාචාර පවුකාරයෝ ස්වකීය ගුබ්බෑයම් කර ගනිති. වර්ෂ 1974 වනවිට මේ දූපත මිනිස් ජාවාරම් කරුවන්ගේත්, හොර බඩු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේත් තිප්පලක් වී තිබිණි. දූපත පිළිබඳ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික එළඹුමට ප්‍රධානකොටම බලපෑවේ මේ ගැටලුව හා එහි ඓතිහාසික හිමිකාරිත්වය සම්බන්ධ සාධකය. කෙසේ වෙතත් වර්ෂ 1974 දී සිරිමා ශාස්ත්‍රි ගිවිසුම අනුව දූපත ලංකාවට අයත් විය. දූපත අදත් ජන ශූන්‍යය. යුද සමයේ දී දූපත සම්බන්ධව ඍජු බලපෑමක් නොවුණත් මේ වනවිට එය ඇත්තේ නාවික හමුදාව භාරයේය. එම භූමිය මංගල්‍යය පවතින කාලය හැරුණු විට සිවිල් වැසියන්ට තහනම්ය. දැනටත් දූපතේ ඉදිව ඇත්තේ ස්ථිර ගොඩනැඟිලි දෙකකි. එකක් අන්තෝනි මුනිඳුන්ට කැපකළ දේවස්ථානය ය. අනෙක නාවික හමුදාව ස්වකීය අවශ්‍යතා වෙනුවෙන් ඉදිකළ ගොඩනැඟිල්ලය.
වර්ෂ 1908 න් පසු ශාන්ත අන්තෝනි මුණිඳුන් වෙනුවෙන් වාර්ෂිකව දේව මෙහෙයක් පැවැත්විණි. සම්ප්‍රදාය අනුව එම දේව මෙහෙය පවත්වන්නේ පෙබරවාරියේ හෝ මාර්තුවේදීය. වර්ෂ 1974 ට පෙර ඊට එක් වූ අතිමහත් බහුතරය ඉන්දියානුවෝය. අනතුරු වකවානුවේ ඉන්දියානුවන් මෙන්ම ශ්‍රී ලාංකේයන් ද එක්ව මේ පුදබිමේ මහා මංගල්‍යය පැවැත් විය. එහෙත් 30 වසරක සිවිල් යුද සමය කච්චතිවු දූපත ඉන්දියානු හෝ ශ්‍රී ලාංකේය සිවිල් වැසියන්ට තහනම් කලාපයක් විය. නැවත මේ මංගල්‍යය ආරම්භ වන්නේ වර්ෂ 2010 දීය. එදා සිට ඊට අනුග්‍රාහකත්වය සැපයුවේ නාවික හමුදාවය.
වර්ෂ 2016 වනවිට නාවික හමුදාව විසින්ම මේ දේවස්ථානය අලුත්වැඩියා කළේය. වර්ෂ 1990 දී මහ සයුර මැද බිහිසුණු අනතුරකට ලක් වූ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, මෙන්ම හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඇතුළු කණ්ඩායමක් වරු දෙකක් තිස්සේ කළ රුදුරු අරගලයකින් පසු කච්චතිවු දූපතට ළඟා වී ජීවිතය බේරා ගැනීම දේවස්ථානයට නවකම් කිරීමේ නිමිත්ත විය.
නිමා වූ කච්චතිව් මංගල්ලය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබුණේ මෙම උත්සවය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු මානුෂීය සම්බන්ධතා මෙන්ම කල් පවතින සංස්කෘතික බැඳීම්වල යථාව අවධාරණය කරන බවය.
දෙරටේ ධීවර ප්‍රජාව හමුවීමෙන් ඔවුන් අතර ඇතිවන සමීප අන්තර්ක්‍රියා සඳහා මෙම අවස්ථාව මඟ පාදා දෙන බවත්, එකිනෙකාගේ ගැටලු වඩාත් හොඳින් දැන ගැනීමට මේ අවකාශයේදී අවස්ථාව සැලසෙන බවත් එහි සඳහන් ය. ශතවර්ෂ ගණනාවක් පැරණි සමීප සමුද්‍රීය අසල්වැසියන් දෙදෙනකුගේ සාධනීය සම්බන්ධතාවට හේතු වූයේ දෙරටේ ජනතාව අතර ඇති වූ බැඳීමය. සංස්කෘතික බැඳීම ලෝක උවදුරු හමුවෙත් උද්දීප්ත බව මේ සංස්කෘතික මංගල්ලය යළි යළිත් කියා දුන්නේය.
ටානියා මෝසස්, කච්චතිව් සංචාරයකින් පසුව