ගොඩක් අය ක්ෂේත්‍රයේ බොරුවට රැඩිකල් වෙන්න හදනවා | සිළුමිණ

ගොඩක් අය ක්ෂේත්‍රයේ බොරුවට රැඩිකල් වෙන්න හදනවා

බිබිලේ දුනු මෑව විදුහලට ක්‍රීඩා ගුරුවරියක ලෙස යමුනාට පත්වීමක් ලැබෙයි. දුනු මෑව විදුහලේ රාජකාරි අරඹන යමුනාට එහි විදුහල්පතිවරයා විසින් කිසියම් අභියෝගයක් බාර දෙයි. ඒ පාසලේ නාමය ක්‍රීඩාවෙන් ඔසවා තැබීමටයි. යමුනා ඒ අභියෝගය නොපැකිළවම බාර ගනියි. ඇය ක්‍රීඩාවට කැමති ශිෂ්‍යාවන් එකතු කරගෙන කාන්තා පාපන්දු කණ්ඩායමක් නිර්මාණය කර ගනියි. ඇයට විවිධාකාර අභියෝගය ගලාගෙන ආවත් ඊට නොපැකිළවම මුහුණ දෙයි. නොසිතූ අවස්ථාවලක යමුනාට වෙනත් පාසලකට මාරු වීමක් ලැබෙයි. නමුත් දුනුමෑව විදුහල අතර නොයන ඈ සවසට එහි පැමිණ ළමුන්ට අවශ්‍ය පුහුණුවීම් කටයුතු ලබා දෙයි. සමස්ත ලංකා දක්වා පාසල ඔසවා තැබීමට ඇයට හැකි වෙයි.

 

මේ ස්වර්ණවාහිනී නාළිකාවෙන් සතියේ දිනවල රාත්‍රී 9.00ට විකාශනය වන "චලෝ" ටෙලි නාට්‍යයේ යමුනා ටීචර්ගේ කතාවයි. මේ කතාබහ දිගහැරෙන්නේ යමුනාට පණ පොවන ප්‍රාර්ථනා සමාදි සමඟයි.

 

ඔබේ අධ්‍යාපන කටයුතු කොහොමද?

මගේ පාසල් ආරම්භය සිදු වන්නේ ගමිපහ ගෝතමී කණිෂ්ඨ විද්‍යාලයෙන්. උසස්පෙළට මම ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විදුහලට ආවා. මට විශ්වවිද්‍යාලයට යෑමට වරම් නොලැබුණොත්, තරුණ සේවා සභාවේ රංග කලාව සම්බන්ධ උසස් ඩිප්ලෝමාව හදෑරුවා. ඊට පස්සේ මහේන්ද්‍ර පෙරේරාගේ acting workshop වලට සම්බන්ධ වුණා. සෝමලතා සුබසිංහගේ playhouse එකටත් ටවර් හෝල් පදනමෙන් රංග කලා උසස් ඩිප්ලෝමාවත් හැදෑරුවා. දැන් මම විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනවේදී උපාධිය හදාරනවා.

 

ඔබ රංගනයට යොමු වන්නේ කොහොමද ?

"මේ හාදයෙක් තරහින්" කියන අන්තර් පාසල් තරගකාරී නාට්‍යයෙන් තමයි මම වේදිකා රංගනයට පිවිසෙන්නේ. එයින් ලබපු ජයග්‍රහණය නිසා ඇති වූ ආශාවට මම උසස් පෙළට රංග කලාව හැදෑරුවා.2011 දී ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිළෙති, රතු හැට්ටකාරීත්, ප්‍රියංකර රත්නායකගේ විසේකාරියෝ, ප්‍රේමවන්ත කුමාරයෝත් විජිත් නුවන්ගේ සිරි වද්දුල්ල යන නිර්මාණවලටත් රංගනයෙන් දායක වුණා. පසුව කෙටි නාට්‍ය බොහෝමයකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. අමල්බිසෝ, පශ්චාත්තාපය, අවසන් විසඳුම, agreement year මම රංගනයෙන් දායක වුණු කෙටි වේදිකා නාට්‍යයයි .

 

ඔබ යෞවන සම්මාන උළෙල නියෝජනය කළා ද?

ඔව්. 2020 වසරේ 42 වන යෞවන සම්මාන උළෙලේදී agreement year කෙටි නාට්‍යය සඳහා හොඳම නිළියට හිමි සම්මානය ලබා ගත්තා.

 

ටෙලි නාට්‍ය කලාවට ඔබ පිවිසි ආකාරය කොහොමද?

2011 දී සුගත් රෝහණගේ ගිරිකුල නාට්‍යයෙන් තමයි ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ඊට පස්සේ බිතුසිතුවම් නාට්‍යයට. චරිතයක් ලෙසට සම්බන්ධ වුණේ චලෝහි ටීචර්ගේ චරිතයටයි.

 

ඔබ චලෝහි යමුනා ටීචර්ගේ චරිතය ගැන සෑහීමකට පත් වෙනවා ද ?

ඇත්තටම ඔව්. මට හිතෙනවා, මම යමුනා ටීචර්ට සාධාරණයක් ඉටු කරනවා කියලා.

 

යමුනා වගේම ප්‍රාර්ථනා කියන්නේ කොහොම කෙනෙක් ද ?

යමුනා ටීචර් කියන්නේ සුන්දර චරිතයක්. ඇය දුක්විඳලා ඉගෙන ගත්ත කෙනෙක්. එයා ළමයි වෙනුවෙන් කැප වෙනවා. දරුවන්ට ආදරේ, කරුණාව දක්වනවා. ඒ වගේම මගේ සැබෑ ජීවිතයටත් යමුනා ටීචර්ගේ චරිතයේ සමහර දේවල් ගොඩක් සමීපයි. යමුනා ටීචර්ගේ චරිතය සත්‍ය චරිතයක්. ඇය අද ජීවත් වෙනවා නම් මේක තමයි කරන හොඳම උපහාරය කියලයි මම විශ්වාස කරන්නේ.

 

යමුනා ටීචර් නිසා ඔබට කිසියම් විශේෂත්වයක් තිබෙනවාද ?

ඔව්. ඇත්තටම යමුනා ටීචර් නිසා මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දැන් හැමෝම මට කතා කරන්නේ මිස් කියලයි.

 

කලා ක්ෂේත්‍රයෙ නිර්මාණ ගැන ඔබේ අදහස කුමක් ද ?

ඇත්තෙන්ම හොඳ නිර්මාණ බිහි විය යුතුයි. ඒ තුළින් තමයි, ප්‍රේක්ෂකයා නිර්මාණ වැළඳ ගන්නේ. ඒ තුළින් තමයි රංගන ශිල්පීන්ට චරිතවලට සාධාරණයක් කරන්න පුළුවන් වෙන්නෙත්.

නමුත් ඇතැම් අධ්‍යක්ෂවරු හා නිෂ්පාදකවරුන්ගේ අභිමතය පරිදි නොයෙක් දේ සිද්ධ වෙනවා. දක්ෂයන්ට නිසි තැන අහිමි වෙනවා. ඒ වගේම දක්ෂතා තියෙන තරුණ පිරිස් ඕන තරම් රටේ ඉන්නවා. ඔවුන්ට ක්ෂේත්‍රයට එන්න බැරි වෙලා තියෙනවා මෙවැනි හේතු නිසා.

මේවා කිසියම්දාක නිවැරදි වුණහොත් යහපත්, දක්ෂ නළු නිළියන් වගේම අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකයන් පිරිසකුත් නිර්මාණ ලෝකයට බිහිවීම වැළැක්විය නොහැකියි.

 

ඔබ චරිත තෝරා බේරා ගන්න කෙනෙක්ද?

ඇත්තටම මට කරන්න පුළුවන් සීමාවක් තුළ පමණයි මම චරිත තෝරා, බේරා ගන්නේ. ඒ අතර විවිධ චරිත වෙන්නත් පුළුවන්. ගොඩක් අය ක්ෂේත්‍රයේ රැඩිකල් වෙන්න හදනවා.

අපිට අයිති සාම්ප්‍රදායික හා සංස්කෘතිමය රාමුව තුළ නිර්මාණවලට දායක වෙනවා නම්, අපේ පැවැත්ම තියෙනවා.

මම කටයුතු කරන්නේ ඒ තුළ සිටයි.

 

ඔබ ප්‍රවීණයන්ගෙන් ගන්නා ආදර්ශය කුමක්ද ?

ප්‍රවීණයන්ගෙන් ලැබෙන ගුරුහරුකම් තමා අපේ ගමනට පිටුවහලක් වෙන්නේ.

ඒ නිසා මම හැමදාම වුණත් කැමතියි ඒ උපදෙස් සහ ගුරුහරුකම්වලට.

 

ආදරේ ගැන මොකද හිතෙන්නේ ?

ආදරය ඇත්තටම ප්‍රේමණීයයි. මම ඒ ප්‍රේමණීය බව හොඳටම විඳිනවා.

 

ඔබේ රංගන කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය මොන වගේ ද ?

මගේ පවුලේ මමයි, අයියයි, අම්මයි, තාත්තයි ඉන්නේ. ඔවුන් සියලු දෙනා මගේ ගමනට ලොකු සහයෝගයක් ලබා දෙනවා.

 

Comments