කොදෙව් දඟපන්දු නිවුන්නා සනී රාමඩින් | Page 5 | සිළුමිණ

කොදෙව් දඟපන්දු නිවුන්නා සනී රාමඩින්

 

‘මෑත කාලයේ දඟපන්දුයවන්නන් කීපදෙනකුම ජීවිතයෙන් සමුගෙන තිබෙනවා. එවැන්නවුන් අතර අමතක නොවන චරිතයක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිලේ සනී රාමඩීන් දැක්විය හැකි ය. මේ ඔහු වෙනුවෙන් තැබෙන සටහනකි.’

ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් වේගවත් ම පන්දු යවන්නන් රැසක් බිහිකොට ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව්වන් ය. කොදෙව්වෝ නමක් දිනූ දඟ පන්දු යවන්නන් බිහිකර ඇත්නම් ඒ ඉතා සුළු පිරිසකි. ඒ සුළුතරයට අයත් විශිෂ්ට කොදෙව් දඟ පන්දු තරුවක් පසුගියදා දිවි සැරියෙන් සමුගත්තේ ය. ඔහු සනී රාමඩීන් ය.

පිට දඟ පන්දුයවන්නකු වූ රාමඩීන් මෙලොව හැර යන විට 92 හැවිරිදි වියේ පසු විය. 1950 සහ 1961 සමයේ කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 43 කට ක්‍රීඩා කළ රාමඩීන් දවා ලූ කඩුලු සංඛ්‍යාව 158 කි.

ඔහු වඩාත් ප්‍රකට වුණේ කොදෙව්වන් වෙනුවෙන් ඇල්ෆ් වැලන්ටයින් සමඟ ස්ථාපිත කළ දඟ පන්දුවේ බලවේගය නිසා ය. එදා රාමඩීන් සහ ඇල්ෆ් දෙදෙනා හැඳින් වුණේ “දඟ පන්දු නිවුන්නුන්” කියා ය. මොවුන් දෙදෙනාගෙන් පසු අද වන තුරු කොදෙව්වන් වෙනුවෙන් එවැනි විශිෂ්ට දඟ පන්දු ද්විත්වයක් බිහි ව නැත.

රාමඩීන් සහ ඇල්ෆ් දෙදෙනාගේ හොඳම පන්දු යැවීම වාර්තා වුණේ 1950 එංගලන්තය සමඟ පැවැති ටෙස්ට් තරග මාලාවේ දී ය. මොවුන් දෙදෙනා එක්ව තරග 4 ක දී කඩුලු 59 ක් දවාලූයේ එංගලන්තය පරදවා කොදෙ-ව්වන්ට තරග 3 - 1 ක ජය-ග්‍රහණයක් ලබා දෙමිනි. මෙය ටෙස්ට් තරගවල තාමත් දඟපන්දුයැවීමේ වාර්තාවකි. එහි දී සනී රාමඩීන් එක් තරගයක දී ලකුණු 152 කට කඩුලු 11 ක් (ලෝඩ්ස්) දවා ලූ අතර වැලන්ටයින් තරග දෙකක දී කඩුලු 10 ක් බැගින් දවාලීය.

රාමඩීන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කළ නැඟෙනහිර ඉන්දීය සම්භවයක් ඇති ප්‍රථම ක්‍රීඩකයා ය. ඉනිමක හොඳම පන්දු යැවීම ඔහු වාර්තා කළේ 1957 වසරේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 49/7 ක් වශයෙනි. එලෙසම ඔහු එම තරගයේ දෙවැනි ඉනිමේ දී එංගලන්ත පිතිකරුවන්ට එරෙහිව වාර්තාගත පන්දු වාර 98 ක් යැවීය. දවාලීම ලකුණු 179/2 ක් ලෙස දැක්වෙන අතර එය ද වාර්තාවකි.

1950 දශකයේ දී තමා ක්‍රීඩා කළේ ඉතා විශිෂ්ට කොදෙව් ක්‍රීඩකයින් පිරිසක් සමඟ බැව් වරක් රාමඩීන් ප්‍රකාශ කළේ ය. එම කොදෙව් කණ්ඩායමට සුප්‍රකට “ඩබ්ලිව් තිදෙනා” වූ ප්‍රෑන්ක් වොරල්, එවර්ටන් වීක්ස් සහ ක්ලයිඩ් වෝල්කට් ඇතුළත් වූහ.

කොදෙව් දූපත්වල නිර්මාණය වූ ගීතයක රාමඩීන් සහ වැලන්ටයින් දඟපන්දු ද්විත්වය ඇතුළත් ව ඇත්තේ ඔවුන්ට උපහාරයක් පිණිස ය. වෘත්තීය මට්ටමින් එංගලන්තය ලැන්කෂයර් ලීගයටත්, පසුව ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායමටත් ක්‍රීඩා කළ රාමඩීන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත් පසු උතුරු එංගලන්තයේ පදිංචි විය. ජීවිතේ අවසාන අවුරුදු 12 ඔහු එහි ඩෙල්ෆ් නගරයේ ජීවත් වූ අතර ඔහු සභාපති ධුරය දැරූ ප්‍රයර්මියර් ක්‍රිකට් සමාජයට ඔහුගේ පුතණුවන් වන ක්‍රෙග් අවුරුදු 50 ක් ක්‍රීඩා කළේ ය. එමෙන්ම රාමඩීන්ගේ බෑණා විලි හොග් සහ ඔහුගේ පුතා කයිල් හොග් ලැන්ක්ෂයර් පළමු පෙළ කණ්ඩායමට ක්‍රීඩා කොට වාර්තාවක් තබා තිබේ.

1950 කොදෙව් කණ්ඩායමේ මෙතෙක් ජීවතුන් අතර සිටියේ රාමඩීන් පමණි. අද ඔහු, වොරල්, වික්ස්, වෝල්කට්, ගොඩීඩ්, ස්ටොල්මේයර්, හෝල්ට්, රේ, ස්මිත්, සහ ඔහුගේ දඟ පන්දුවේ මිතුරා වැලන්ටයින් සමඟ විශිෂටත්වය දරමින් සාමාදානයේ සැතපෙයි.

 

Comments