
අනගාරික ධර්මපාලතුමා අපේ රටේ හිටපු විශිෂ්ට ම ජන නායකයෙක්. එතුමාගේ ජීවිත කතාවේ සමහර දේවල් මගේ ජීවිතයටත් සම්බන්ධ වුණා. එතුමා නිර්මාංශික බව කියවලා දැනගෙන මමත් නිර්මාංශික වුණා. එතුමා දින පොතක් ලිව්වා. ඒවා පසු කාලෙක මහා බෝධි සඟරාවේ පළ කර තිබුණා. මමත් දින පොතක් ලියන්න පටන් ගත්තා. තවමත් මම ඒ දිනපොත ලියනවා
අපේ අප්පච්චි වෙදකම් කරන්නේ නැති වෙලාවට කුඹුරු වැඩ කළා. අප්පච්චි අමුඩයක් ඇඳගෙන කුඹුරු වැඩ කරද්දි මාත් පස්සෙන් ගිහිල්ලා අමුඩයක් ඇඳගෙන කුඹුරට බැහැලා හරි සන්තෝසෙන් මඩේ ඉන්නවා. මටත් පුංචි උදැල්ලක් අරන් දීලා තිබුණා. කුඹුරු වැඩ කරද්දි කවි කියනවා මට ඇහෙනවා. ජන වහර පැත්තට මගේ හිත යොමු වුණේ ගමේදි ම යි. සිංහල භාෂාවේ කටවහර ගැන, ජනවහර ගැන හොයන්න මට ආසාව ඇති වුණෙත් ගමේදි ම යි
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගිනිගොඩ කෝරලයේ වල්ගම්පත්තුවේ ගොරහැත්ත වසමේ පුවක්මොටේ ගමේ 1937 අප්‍රේල් 16 වැනිදා අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ චාරිත්‍ර අතරේ තවත් සුවිශේෂ උපතක් සිදු ව තිබිණි. පුවක්මොටේ ගමේ වෙදමහත්තයා වෙච්චි රාජපක්ෂ රාජකරුණා මහා වාසල දුක්ගන්නා දිසානායක මුදියන්සේලාගේ උක්කු බණ්ඩා දිසානායකට දාව සිවුවැනි පුත්‍රරත්නය එදවස මෙලොව එළිය දුටුවේ ය. හිසතෙල් ගා ගැනීමට වෙද ගෙදරට එක් රොක් වුණු ගමේ ඇත්තන්ට හිස තෙල් ගාන අතර අලුත උපන් තම සිවුවැන්නාගේ හිසේ ද තෙල් බිඳක් ගා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කළේ වෙදැදුරකු ලෙසින් පමණක් නොව නැවත වරක් අප්පච්චී වීමේ ආඩම්බරය ද හිත පතුලේ ගුළි කර ගනිමිනි.
එදවස හෙළ සිරිත් විරිත් පෙරදැරි වූ සංස්කෘතික මංගල්‍යයකදී උපන් මේ දරු පැටියා ලෝ පතළ හෙළ සංස්කෘතියේ ඓතිහාසික පර්යේෂකයෙකු වේ යැයි වෙදැදුරු අප්පච්චී මොහොතකටවත් සිතන්නට නැතුවා ඇති. ඒ පුතා රාජපක්ෂ රාජකරුණා මහා වාසල දුක්ගන්නා දිසානායක මුදියන්සේලාගේ ජයරත්න බණ්ඩා දිසානායක නැතහොත් ඔබ අප කවුරුත් හොඳින් හඳුනන මහාචාර්ය ජේ. බී. දිසානායකයන් ය.
උඩුනුවර එළදැත්ත නම් ගමේ උපන් ජේ. බී. දිසානායකයන්ගේ අප්පච්චී අතීතයේ රජ වාසලට ද සම්බන්ධකම් තිබූ පරපුරක අයෙකි.
උඳුගොඩ ගෙදර මුතුමැණිකේ සමඟ බින්න විවාහයකින් උඩුනුවර සිට පුවක්මොටේ ගමට පැමිණ නතර වීමෙන් පසු පුතුන් ම පස් දෙනෙකුට ඔහු අප්පච්චී වූයේ ය. ජේ. බී. දිසානායකයන්ගේ මව මේ දරුවන් පස් දෙනා රැක බලා ගනිමින්, තම ස්වාමිපුරුෂයා වූ වෙද මහත්තයාගේ කටයුතුවලට ද සහාය වූවා ය.
“අම්මා අපට නොයෙකුත් දේ කියා දුන්නා. ඒවා මට තව ම මතකයි. “පුතේ... කෑම කනකොට එක බත් ඇටයක්වත් ඉතුරු කරන්න එපා. මේ බත් ඇටේ ගෙනාවේ නව වැඳුම් වැඳලා” කියලා අම්මා අපට කිව්වා. කුඹුරෙන් එක හාල් ඇටයක් ගන්න නව වතාවක් වැඳුම් කරනවා කියන දෙයයි අම්මා ඒ විදිහට පහදා දුන්නේ. අදටත් මං කොහේ හිටියත් මට ඇති තරම විතරයි බෙදා ගන්නේ. බෙදා ගත්ත බත්වලින් එක ඇටයක්වත් මම අහක දාන්නේ නැහැ. ඊළඟට අම්මා කියූ දෙයක් තමයි “තමන් කාපු පිඟාන හෝදන්න ලැජ්ජා වෙන්න එපා.” ඒ වගේ ම “කාපු පිඟානට අත හෝදන්න එපා” කියලත් අම්මා කිව්වා. කාපු පිඟානට අත හෝදන්න එපා කිව්වේ උදව් කළ කෙනෙකුට නින්දා කරන්න එපා කියන දෙය යි. සාරධර්ම කියන දේ මම ඉගෙන ගත්තේ පොත් පත් කියවලා නෙවෙයි. මේ ආකාරයටයි.
අපේ ගෙදරට අල්ලපු ඉඩමේ පන්සල තිබුණා. පන්සලයි, අපේ ගෙදරයි, තව ගෙයකුයි තිබුණේ පොඩි දූපතක වාගෙ යි. ඒ වටේට ම වෙල් යාය තිබුණා. අපේ ගෙදරට ගමේ කිව්වේ “පරණ ගෙදර” කියලා යි. ඒ ගමේ ම තිබුණු පරණ ම ගෙදර අපේ ගෙදරයි. ගමේ අය අප්පච්චිට කිව්වේ “පරණ ගෙදර වෙද මහත්තයා” කියලා යි. පොඩි කාලේ ඉඳලා ම ගමේ පන්සලත් එක්ක මගේ සම්බන්ධකම් තිබුණා.
අපේ අප්පච්චි වෙදකම් කරන්නේ නැති වෙලාවට කුඹුරු වැඩ කළා. අප්පච්චි අමුඩයක් ඇඳගෙන කුඹුරු වැඩ කරද්දි මාත් පස්සෙන් ගහිල්ලා අමුඩයක් ඇඳගෙන කුඹුරට බැහැලා හරි සන්තෝසෙන් මඩේ ඉන්නවා. මටත් පුංචි උදැල්ලක් අරන් දීලා තිබුණා. වතුර පිරුණු කුඹුරේ වතුරේ බැහැලා මඩේ ඉන්න එක හරි ලොකු දෙයක්නේ. කුඹුරු වැඩ කරද්දි කවි කියනවා මට ඇහෙනවා. ජන වහර පැත්තට මගේ හිත යොමු වුණේ ගමේදි ම යි. සිංහල භාෂාවේ කටවහර ගැන, ජනවහර ගැන හොයන්න මට ආසාව ඇති වුණෙත් ගමේදි ම යි.”
මහාචාර්ය ජේ. බී. දිසානායකයන් සිය අතීත ජීවන වතගොත එකින් එක සීරුවට පෙළ ගැසුවේ ය. ඔහුගේ වැඩිමල් සහෝදරයන් තිදෙනා ම ගුරුවරු වූ අතර එක ම මල්ලී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ සිටි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. අයියලා තිදෙනාත්, මල්ලීත් මේ වනවිට ජීවතුන් අතර නැත.
“අපේ අම්මාට හිටියා එක ම එක සහෝදරයෙක්. ඒ මාමා ආදායම් පාලන නිලධාරීයෙක් නිසා ඔහුට රට පුරා ම සේවය කරන්න ලැබුණා. මාමා දෙහිඔවිට පැත්තේ, බදුල්ල පැත්තේ ගම්වලට ගිහින් රාජකාරි කළා. අපි ඒ මාමලාගේ ගෙදර ගිහින් ඉඳහිට නවතිනවා. ඒ මාමාගේ බිරියට අපි කිව්වේ “නැන්දම්මා” කියලා යි. නැන්දම්මා ඉංග්‍රීසි පාඨශාලා පරික්ෂකවරියක් ලෙස කටයුතු කළා. ඇය පාසල්වල ඉංග්‍රීසි ඉගැන්වීම් ගැන හොයා බලන්න යනවා. මම ඒ ගෙදර ගියා ම නැන්දම්මා මට හොඳට ඉංග්‍රීසි කියලා දෙනවා. මුලින් ම මම ගමේ ඉස්කෝලෙට ගියා. ඒක පුවක්මොටේ බෞද්ධ පිරිමි පාඨශාලාව යි. ඒ කාලේ ලොකු අය්යා මහනුවර ධර්මරාජ විද්‍යාලයට ගියා. එයා මාව දෙවන අවුරුද්දේ ඉඳලා ධර්මරාජෙට එක්කගෙන ගියා. මම ධර්මරාජෙ තුන්වන පන්තියට එනතුරු හිටියා. ඊට පස්සේ ලොකු අය්යා නීති හදාරන්න කොළඹ ආවා. ඒ එනකොට මාවත් එක්කගෙන ඇවිත් කොළඹ ආනන්ද විද්‍යාලයට දැම්මා. 1947 ඉඳලා 1957 දක්වා මම කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටියා. ජ්‍යෙෂ්ඨ පාඨශාලා විභාග (එස්.එස්.සී.) සහතික දෙකක් මට තියෙනවා. ඒ කාලේ අපේ මාධ්‍ය ඉංග්‍රීසි නිසා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගය සමත් වුණාට පස්සේ ආසාවට සිංහල මාධ්‍යයෙනුත් විභාගය කරලා සමත් වුණා. ඊට පස්සේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය (එච්.එස්.සී.) හොඳින් සමත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියා. මහාචාර්ය සරච්චන්ද්‍ර, මහාචාර්ය හෙට්ටිආරච්චි, මහාචාර්ය විජේරත්න, මහාචාර්ය ආරියපාල වගේ අය තමයි මගේ ගුරුවරු වුණේ. 1961 දී සිංහල අධ්‍යයන අංශයේ සහාය කථිකාචාර්යවරයෙක් හැටියට පත්වීම ලැබුණා. එයින් වසර දෙකක් අවසානයේදී මට ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලැබුණා.
ඒ අනුව වාග්විද්‍යාව විෂයයෙන් මම ශාස්ත්‍රපති උපාධිය ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තා. ඒ විෂය ලංකාවට ඒ කාලේ අලුත් විෂයයක් වුණා. විශ්වවිද්‍යාලයේදි අපට වාග්විද්‍යාව ඉගැන්නුවේ මහාචාර්ය සුගතපාල ද සිල්වායි. එතුමා මුල්වරට එංගන්තයට ගිහින් වාග්විද්‍යාව හදාරලා ඇවිත් අපට මුල් අවුරුද්දේ වාග් විද්‍යාව ඉගැන්නුවා. එතුමාගේ දේශන අහලා මට වාග්විද්‍යාව ගැන ලොකු ආසාවක් ඇති වුණා.
පසුව මහාචාර්ය හෙට්ටිආරච්චිගේ සහායත් ඇතුව මම ඇමෙරිකාවට ගිහින් වසර දෙකක් එහි වාග් විද්‍යාව හදාරලා පසුව එංගන්තයට ගිහින් වසරක කාලයක් එහේ වාග් විද්‍යාව හදාරලා ලංකාවට ආවා. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ හිටපු මහාචාර්ය ආරියපාලයන් මට කිව්වේ “ජේ.බී. ඔන්න මං අංශයක් හදලා දෙනවා, ඒකෙ වැඩ කරන්න” කියලා යි.
ඒ අනුව පළමුවැනි වරට ලංකාවේ විශ්වවිද්‍යාලයක පිහිටුවූ වාග් විද්‍යාව අංශයේ ප්‍රධාන බවට මම පත් වුණා. සිංහල, ඉංග්‍රීසි, දෙමළ මාධ්‍ය තුනෙන් ම අපි වාග් විද්‍යාව උපාධි ලබා දුන්නා.
ඒ අතරේ මගේ පුරා විද්‍යාව ගුරුවරයා වූයේ මහාචාර්ය සෙනරත් පරණවිතාන යි. එතුමා මට කතා කළා පේරාදෙණියේ ඉගැන්වීම සඳහා එන්න කියලා. මහාචාර්ය පරණවිතානයන්ගේ නිවස මගේ නිවස කිට්ටුවමයි තිබුණේ. මට එතුමා උදේ හවස මුණ ගැසුණා. ඒ කාලේ මට පුතෙක් ලැබුණා. මම ගිහින් මහාචාර්ය පරණවිතානයන්ට කිව්වා “සර් මට පුතෙක් ලැබුණා, පුතාට දාන්න හොඳ සිංහල නමක් දෙන්න” කියලා. එතුමා “හා එහෙනම් දාගාන්නකෝ...., සුවඳා, කිරිහොඳා, හේතුවා, ලේන්සුවා” වගේ නම් ටිකක් කිව්වා. “අනේ සර්, ඒවා නම් දාන්න බෑ.” කියලා මම පුතාට “සමිත” කියලා නම දැම්මා. එයා නම් මේ දවස්වල ඉන්නේ ඔස්ට්‍රේලියාවේ යි. එයාලාට දූලා දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ දුව ලැබුණා. දුව ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායක යි.
ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරනවා. ඇයත් පොත් පත් රැසක් ලියා තිබෙනවා. ඇය විවාහ වූයේ සම්භාව්‍ය සිතාර් වාද්‍ය ශිල්පී විශාරද මෙන් ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඒ කාලේ භාෂා සහ සංස්කෘතික අධ්‍යයන අංශය වුවත් වර්තමානයේ සංගීත අංශ ප්‍රධාන වන මහාචාර්ය ප්‍රදීප් රත්නායක සමඟයි. ඔවුන්ටත් දූලා දෙන්නෙක් ඉන්නවා. අපි ඉන්නේ දුවගේ ගෙදර යි.
මගේ බිරිය කුසුම් දිසානායක මට හමු වුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදි ම යි. ඇය සිංහල විශේෂවේදී උපාධිය ලබාගෙන කාලයක් කොළඹ විශාකා විද්‍යාලයේත්, පසුව කොළඹ තර්ස්ටන් විද්‍යාලයේත් සිංහල ගුරුවරිය ලෙස කටයුතු කළා. ඇය යන්නේ සාහිත්‍ය පාරේ; මං යන්නේ භාෂාව පාරේ. ඇයත් මේ වනවිට සිංහලෙන් ඉංග්‍රීසියට, ඉංග්‍රීසියෙන් සිංහලට කෘති ගණනාවක් ලියා තිබෙනවා.”
වාග් විද්‍යාව උගන්වන අතරේ ඒ පිළිබඳ පොතක් ලියන්නට ජේ. බී. දිසානායකයන් කල්පනා කළේ ය. ඒ අනුව “භාෂාවක රටා සමුදාය” යනුවෙන් ඔහු මුල් වරට පොතක් ලිව්වේ ය. එසේ ඇරඹි ඔහුගේ පොත ලිවීම මේ වනවිට පොත් දෙසීය පනහ ද ඉක්මවා ඇත. මේ දිනවල පවතින කඩදාසි හිඟය හේතුවෙන් ඔහුගේ පොත් කිහිපයක් මුද්‍රණ පෝලිමට ද එක් ව තිබේ. මහාචාර්ය ජේ. බී. දිසානායකයන් පසුගිය දා එළිදැක්වූ නවතම කෘතිය වූයේ “සිදත් සඟරා වියරණ රටා” යන්න යි.
“මම උදේ පහට නැගිටිනවා. රාත්‍රී එකොළහට විතර නින්දට යනවා. මට පොත් ලියන්න පැය 18ක විතර කාලයක් තිබෙනවා. ඒ අතරට පත්තරවලට තවමත් ලිපි ලියනවා. ඒ ලිපි මගින් ළමයින්ට බස ගැන මං දන්න විදිහට කියලා දෙනවා. මම පාසල් කාලෙත් ක්‍රීඩාවට දක්ෂ කෙනෙක් නෙවෙයි. මං කොළඹ ආනන්ද විද්‍යාලයට යන කාලේ ලොකු අයියා හිටියේ මරදානේ යි. ආනන්ද විද්‍යාලය ළඟ “පරණ වාඩිය පාර” නමින් පාරක් තිබුණා.
දැන් ඒ පාරට කියන්නේ “ආනන්ද මාවත” කියලා යි. ලොකු අයියා ගුරුවරයෙක් නිසා නොයෙකුත් පොත පත අයියාගේ පුස්තකාලේ තිබුණා. මටත් ඒ පොත් ගැන ආසාවක්, උනන්දුවක් ඇති වුණා. එයා සිරිතක් විදිහට හඬ නඟා පොත් කියෙව්වා. ඒවා අපට නිකනුත් ඇහෙනවා. ඒ නිසා බොහෝ දේ මට නිකන් ම මතක හිටියා.”
සිළුමිණ පුවත්පතේ “කමලා අක්කාගේ ළමා සමාජය” පිටුව, බෞද්ධයා පුවත්පතේ “බෞද්ධ මාමා” පිටුවට, ලංකාදීප පත්තරේ “ළපටි පෙළ” පිටුවට බොහෝ ලිපි සම්පාදනය කළ ජේ. බී. ඒවායින් තෑගි ද ලැබුවේ ය. බෞද්ධයා පුවත්පතෙන් ලද “අනගාරික ධර්මපාලතුමා” නමැති කෘතිය ඔහුගේ ජීවිතයට බොහෝ බලපෑම් ඇති කරන්නට හේතු විය.
“අනගාරික ධර්මපාලතුමා අපේ රටේ හිටපු විශිෂ්ට ම ජන නායකයෙක්. එතුමාගේ ජීවිත කතාවේ සමහර දේවල් මගේ ජීවිතයටත් සම්බන්ධ වුණා. එතුමා නිර්මාංශික බව කියවලා දැනගෙන මමත් නිර්මාංශික වුණා. එතුමා දින පොතක් ලිව්වා. ඒවා පසු කාලෙක මහා බෝධි සඟරාවේ පළ කර තිබුණා. මමත් දින පොතක් ලියන්න පටන් ගත්තා.
තවමත් මම ඒ දිනපොත ලියනවා. මගේ විෂය වාග් විද්‍යාව නිසා මම මුලින් සිංහල භාෂාව පිළිබඳ පර්යේෂණ කළා. කුමාරතුංග මුණිදාස මහත්මයාගේ සිංහල ව්‍යාකරණයට පස්සේ ව්‍යාකරණ ග්‍රන්ථයක් ලිව්වේ මම යි. “බසක මහිම” කියලා පොත් පෙළක් ම ලිව්වා. ඊට පස්සේ “සිංහල රීතිය” ලිව්වා.
සිංහල භාෂාවේ නව මුහුණුවර හෙවත් ව්‍යාකරණය ගැන පර්යේෂණ ගණනාවක් කරමින් පොත් ලිව්වා. නූතන සිංහලය පදනම් කරගෙන පර්යේෂණ ගණනාවක් කළා. මම තායිලන්තයේ තානාපති වෙලා ඉන්න කාලේ කොරියාවේ තිබුණු සම්මන්ත්‍රණයකට සහභාගි වුණා. එහිදී ලෝකයේ තියෙන නිර්මාණාත්මක හෝඩි මොනවාද කියලා මම සොයාගෙන ගියා. ඒ අවස්ථාවේදී සිංහල භාෂාවත් නිර්මාණාත්මක හෝඩියක් සහිත බව මම ඔප්පු කරලා පෙන්නුවා. ඒ පිළිබඳ කොරියානු සඟරාවල ලිපි පළ වුණා.”
මහාචාර්ය ජේ. බී. දිසානායකයන් කියූ දෙයට වඩා තව කියන්නට ඇති දේ බොහෝ ය. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස ඔහු කළ දේශනවලට වඩා විවිධ ලේඛකයන්ගේ පොත් ජනගත කිරීම්, විවිධ වැඩමුළු ආදියේදී ඔහු කළ කතා අප සමාජයේ බෙහෙවින් ජනප්‍රිය විය. එසේ ම විවිධ සංස්කෘතික උත්සවවලදී ජනමාධ්‍යයේ ද මහාචාර්ය ජේ. බී. දිසානායකයන් සුවිශේෂ වූ චරිතයකි. ඒ සියලු දෙයට එතුමා සහභාගී වූයේ මහත් සතුටකිනි. එහෙත් මුළු ලොව ම මුහුණ පෑ කොවිඩ් වසංගතය හේතුවෙන් වැඩි පරෙස්සමට නිවසට කොටු වී සිටීමට සිදු වීම නම් ඔහුගේ සතුටට යම් බාධාවකි. ඒ අසතුට සමනය කරන්නට මිනිබිරියන් දෙදෙනා සහනයක් බව එතුමා කීවේ ය.