කලාව රසවිඳීමත් මනුෂ්‍ය අවශ්‍යතාවක් | Page 3 | සිළුමිණ

කලාව රසවිඳීමත් මනුෂ්‍ය අවශ්‍යතාවක්

 

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක විසින් නිෂ්පාදනය කරන 'රතු වෙස් මුහුණු' නාට්‍යය මාර්තු 24 සවස 6.30ට සහ 25 සවස 3.30 /6.30ට එල්ෆින්ස්ටන් රඟහලේදී රංගගත වනවා. මීට පෙර අවස්ථාවලදී මේ නිර්මාණය වේදිකාගත වුවත්, ඉතා නැවුම් අත්දැකීමක් සමඟින් මෙවර වේදිකාගත වන නාට්‍යයක් ලෙසින් "රතු වෙස් මුහුණු" හැඳින්විය හැකියි. ඒ ගැන ප්‍රියංකර රත්නායකයන් කියන්නේ මෙහෙම කතාවක්.

"රතු වෙස් මුහුණු" වේදිකා නාට්‍යය සොකොෆ්ලීස්ගේ ඊඩිපස් රජ නාට්‍යයේ අනුවර්තනයක්. ඒ වගේම ලංකාවේ කිහිප සැරයක්ම විවිධ අය විසින් කරලා තිබුණු නාට්‍යයක්. මේ නාට්‍යය මුලින් අපි කරන කොට වසංගතය අත්දැකීමක් විදියට අපි විඳලා තිබ්බේ නැහැ. ජීවත් වීම සහ මරණය වගේ දේවල් අලුතින් අර්ථකථනය කරන්නේ කොහොමද? කියන එකට ලොකු අත්දැකීමක් තිබ්බේ නැහැනේ.

මේ නාට්‍යයට පසුබිම් වෙන්නේ වසංගත කාලයක වසංගතයට මුහුණ දුන් පිරිසක් රටේ පාලකයන් ගාවට ගිහිල්ලා ඒ වසංගතයෙන් තමන්ගේ ජීවිත ගලවා ගන්න කියන ඉල්ලීමෙන් තමයි "රතු වෙස් මුහුණු" නාට්‍යය පටන් ගන්නේ. එතකොට අපි ඉස්සෙල්ලා නාට්‍යය බලද්දී නාට්‍යයෙන් දකින වසංගතය වගේ නෙවෙයි දැන් අපි වසංගතයකට මුහුණ දීලා තියෙන්නේ ඒ නිසා ඒ අත්දැකීම අපිට ගොඩක් සමීප වෙනවා.

මේ අවුරුදු දෙක තුනක් තිස්සේ විඳපු සහ තවමත් විඳිමින් තියෙන වසංගත කාලය එක්ක තියෙන අත්දැකීමත් එක්ක මෙතැනදී නාට්‍යයේ ඇඳුම්, පසුබිම, සංගීතය සහ අපේ අර්ථකථනය පැත්තෙන් අපිට නාට්‍යය වෙනස් කරන්න පුළුවන් වුණා. ඒ නිසා කලින් ඔබ නැරඹු නිර්මාණයට වඩා වෙනස් ඒ වගේම වතමන් අපේ ජිවිත වලට සමීප අත්දැකීමක් මේ "රතු වෙස් මුහුණු" වේදිකා නාට්‍යයෙන් අපි වේදිකාගත කරනවා.

 

කෙනෙක් ප්‍රශ්න කරොත්, මේ තියෙන ආර්ථික සහ සමාජීය වියවුල් තත්වය හමුවේ අපිට නිර්මාණයක් රසවිඳින්න හැකි පරිසරයක් තියෙනවද කියලා.

ඒක මෙහෙමයි. ඒ කාරණය වේදිකා නාට්‍යයට පමණක් නෙවෙයි. චිත්‍රපටය ඇතුළු වෙනත් කලා මාධ්‍යයන් ට සමස්තයක් හැටියට පොදුවේ තියෙන දෙයක්. හැබැයි ලෝක ඉතිහාසය දිහා බලන කොට වසංගත කාලයන්ට මුහුණ දුන්නු කාල දිහා බලද්දී අපිට තේරුම් යනවා. ඒ වසංගත කාල වලට පස්සේ මුහුණ දුන්නු පශ්චාත් වසංගත කාලයේ දී කලාවේ තියෙන තත්ත්ව, විශේෂයෙන්ම නිර්මාණාත්මක තත්ත්වයන් කලාත්මක පැත්ත සහ කලා කෘති තුළින් බිහිවෙන මනුෂ්‍ය අත්දැකීම් ඉතාම සාර්ථක වෙලා තියෙනවා. මොකද යම් අත්දැකීමක් වින්දට කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි භෞතිකව අපිට සිද්ධ වෙන හානිය. අනිත් එක ආධ්‍යාත්මික සිද්ධ වෙන හානිය. භෞතිකව කියන්නේ ආර්ථිකය පැත්තෙන් සිද්ධ වෙන කඩා වැටීම. ආධ්‍යාත්මික පැත්තෙන් ගත්තම මනුෂ්‍යයාට තමන්ගේ සමීපතමයා අහිමි වීමේ වේදනාව සහ ඒක අනෙකා සමඟ බෙදා ගැනීමේ තත්ත්වය වෙනස් වීම. ඒ අත්දැකීම අපි මේ කාලය තුළම වින්දානේ. ඒ නිසා අපි ජීවත් වීම සහ මරණය වගේ දේවල් ගැන අලුතෙන් හිතන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඒකත් එක්ක මම හිතන්නේ කෙටිකාලීනව දැක්කොත් ආර්ථික පැත්තෙන් හෝ භෞතික පැත්තෙන් සිද්ධ වෙන කඩාවැටීමත් එක්කම පොදුවේ කලාවටම ප්‍රේක්ෂකාගාරයේ දුරස්වීමක් තියෙනවා. නමුත් ඒ දුරස්වීම වගේම අවුරුදු තුන හතරක් තිස්සේ ඒ සෞන්දර්යාත්මක දේවල් විඳින්න තිබ්බ අවකාශයේ හිස්කම නිසා ඉස්සරහට ඒවා විඳින්න තියෙන පරිසරය තමයි නිර්මාණය වෙන්නේ. කලා කෘතිවල අත්දැකීම් වුණත් සංකීර්ණ වෙලා ඒවා විඳින්න පිරිසක් හැදෙයි.

ප්‍රේක්ෂකාගාරය කෙමෙන් කෙමෙන් අඩුවෙලා කියලා අපි නිහඬව සිටිය යුතු නැහැ. ඒක සිනමාවට සහ වේදිකා නාට්‍යයට පොදු දෙයක්. මෙතැනදී ටෙලි නිර්මාණවලට ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද පාරිභෝගික භාණ්ඩයක් විදියටම අපේ ආලින්දයටම එන නිසා.

"රතු වෙස් මුහුණු" හි කණ්ඩායම ගැනත් අපි මතක් කරොත්

මේ නාට්‍යය මුලින් නිෂ්පාදනය කරපු වෙලාවේ මෙහි ප්‍රධාන චරිතය වන ඊඩිපස්ගේ චරිතය රඟපෑවේ නිරෝෂන් විජේසිංහ. නැවත නාට්‍යය නිෂ්පාදනය වෙද්දී ඔහුගේ තියෙන කාර්යබහුලතාව නිසා වෙන නළුවෙක් තෝරා ගන්න වුණා. මෙතනදී බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා නිරෝෂන්ට. ඔහු අපි එක්ක ගතකරපු කාලයේ ඉතා සුහදව කටයුතු කළා. නාට්‍යයෙන් ඉවත් වීම පවා ඔහු ඉතා සුහදව සමුගත්තා. ආයේ කාලයක නිරෝෂන්ට ඉඩක් ලැබුණොත් ආයේ සම්බන්ධ වෙන්න ඔහුට ඉඩක් තියෙනවා. දැන් ඒ චරිතය රඟපාන්නේ අනුරාධ මල්ලවආරච්චි. ඒ හැරුණම ගිහාන් ප්‍රනාන්දු, උමයංගනා වික්‍රමසිංහ, සමාධි ලක්සිරි, ප්‍රේමරත්න තෙන්නකෝන්,නයෝමි ඇතුළු වෘත්තිමය රංගන ශිල්පීන් මේ නාට්‍යයේදී රංගන දායකත්වය ලබා දෙනවා. නව සංගීත සංයෝජනය මිලින්ද තෙන්නකෝන්, ඇඳුම් නිර්මාණය කරන්නේ විජේසේකර.

 

වත්මන් ප්‍රේක්ෂකාගාරය ගැන කිව්වොත්

අපි දැක්ක දේ තමයි කොරෝනා කාලය තුළ ප්‍රේක්ෂා නමින් නාට්‍යය උළෙලවල් දෙකක් තිබ්බා. එකක් තිබ්බා කොරෝනා අතරමැදි කාලයේ දිගු සහ කෙටි නාට්‍යය ඇතුළත්ව මාසයක් විතර. ඒකට විශාල ප්‍රේක්ෂකාගාරයක් ආවා. ඊට පස්සේ කොරෝනා තත්ත්ව පහව යද්දිත් ප්‍රේක්ෂා නාට්‍යය උළෙල තිබ්බා. එතැනදීත් ප්‍රේක්ෂකයන් ආවා. සාමාන්‍යයෙන් ගත්තම චිත්‍රපට සහ නාට්‍යය රසවිඳින ප්‍රේක්ෂකයන් අතර වෙනසක් තියෙනවා. ඒ නිසා චිත්‍රපට බලන තරම් විශාල ප්‍රේක්ෂකාගාරයක් නෙවෙයි නාට්‍යයට ඉන්නේ. නමුත් අපි දැක්ක දෙයක් තමයි ප්‍රේක්ෂා නාට්‍යය උළෙලින් නාට්‍යය බලන්න යම් උනන්දුවක් ප්‍රේක්ෂකයා තුළ ඇතිවෙලා තියෙන බව. ඒ නිසා මම විශ්වාස කරන දෙයක් තමයි අපි නිර්මාණශීලි දෙයක් කරොත් ක්‍රම ක්‍රමයෙන් මේ නාට්‍යය ප්‍රේක්ෂකාගාරය වැඩි කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් තියෙන්න ඕනේ දීර්ඝකාලීන සැලැස්මක්. ඒ සැලැස්මේ දී මුලින් හිටිය ප්‍රේක්ෂකාගාරය නැවත හැදේවි.

"රතු වෙස් මුහුණු" වේදිකාගත වෙනවා මාර්තු 24 සවස 6.30ට සහ 25 සවස 3.30 /6.30ට එල්ෆින්ස්ටන් රඟහලේදී. 25 සවස 3.30 ටත් අපි දර්ශන වාරයක් දැම්මා. මොකද දුර පළාත්වල ඉන්න අයට සහ පාසල් දරුවන්ට වගේම විශ්වවිද්‍යාල දරුවන්ට පහසුවක් වෙන්න. ඒ නිසා බොහොම ආදරෙන් ප්‍රේක්ෂකයාට ආරාධනා කරනවා එන්න "රතු වෙස් මුහුණු" නාට්‍යය අත්දැකීම විඳගන්න කියලා.

Comments