ආඝාතය ගැන නොදත් තොරතුරු මෙන්න | සිළුමිණ

ආඝාතය ගැන නොදත් තොරතුරු මෙන්න

රෝගියාගේ මානසික මට්ටම හොඳ තත්ත්වයට ගෙන ඒම, නිවැරදිව ව්‍යායාම් කිරීමට ඔවුන්ව උනන්දු කිරීම, ඔවුන්ගේ ක්‍රියාවන් තනිව කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දීම, රෝගියාව නිතරම දිරිමත් කිරීම හා තනි නොකිරීම ආදී ඉතා වැදගත්

ස්ථුලතාව, මත්පැන් හා දුම්වැටි පානය, මානසික ආතතිය, හෘදය වස්තුවේ ඇති සමහර ආබාධ හා ආඝාතය ගැන නොදැන සිටීම රෝගය සෑදීමේ ප්‍රවණතාව ඉහළට ඔසවයි

 එක් වරක් හෝ ආඝාතය හැදුණ රෝගියකුට නැවත මෙම රෝගය ඇතිවීමේ අවධානමක් ඇත

 

 

 

සෑම පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් අයකුට තම ජීවිත කාලය තුළ මෙම රෝගයට ගොදුරු වීමේ අවධානමක් පවතී. එනම් අද අපගේ සිළුමිණ වෛද්‍ය ලිපියෙන් පාඨක ඔබට ගෙන එන්නේ ආඝාත රෝගය ගැනයි. මෙවර කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ ආඝාත රෝගය ගැන සිළුමිණ රසඳුන පාඨකයන් දැනුම්වත් කළේ මෙසේ ය.

 

ආඝාත රෝගය යනු එකල සාමාන්‍ය ව්‍යවහාරයේ අංශබාගය ලෙස හැඳින් විය. අංශබාගය ලෙස හැඳින්වීමට හේතුව ශරීරයේ එක් පැත්තක් පණ නැති වීමයි. ඊට වෙනස් රෝග ලක්ෂණ ද පවතින බැවින් වර්තමානයේ ආඝාතය යන නාමය භාවිත කරයි. මේ රෝගය නිරෝගිව සිටිනා පුද්ගලයකුට එකවර සිදුවන තත්ත්වයකි. මෙය ප්‍රධාන ආකාර දෙකකින් සිදු වේ.

 

1.මොළයට රුධිරය සපයන නහරයක් අවහිරවීමෙන් එම රුධිර සැපයුම ලබන්නා වූ මොළයේ කොටස මිය යාම.

2.මොළයේ රුධිර නහර පුපුරා යාමෙන් මොළය තුළට රුධිරය වහනය වීම.

 

මෙයින් බහුලව දක්නට ලැබෙන්නේ පළමු තත්ත්වයයි. මෙය වයසට යත්ම බහුලව දක්නට ලැබුණ ද වත්මනයේ තරුණ පිරිස් අතරද වැඩි වැඩියෙන් දක්නට ලැබේ.

ආඝාතයට ගොදුරු වීමට සෘජු හේතු නැත. එහෙත් ඇතැම් තත්ත්ව ඇති පුද්ගලයන්ට රෝගයට ගොදුරු වීමේ අවධානමක් පවතී. පාලනයක් නොමැති අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් මේ අතර ප්‍රධාන තැනක් ගනී. ස්ථුලතාව, මත්පැන් හා දුම්වැටි පානය, මානසික ආතතිය, හෘදය වස්තුවේ ඇති සමහර ආබාධ හා ආඝාතය ගැන නොදැන සිටීම රෝගය සෑදීමේ ප්‍රවණතාව ඉහළට ඔසවයි. විශේෂයෙන් වෛද්‍යවරුන් පවසන්නේ රෝගය ගැන දැනුමක් ඇති අයට රෝගයට ගොදුරු වීමේ හැකියාව අවම බවයි.

ආඝාතය සෑදී සුළුතරයක් සෑදුණ විටම මිය යයි. තවත් සුළුතරයක් කාලයක් ප්‍රතිකාර ලබා රෝගයෙන් පීඩා විඳ මිය යයි. තවත් සුළුතරයක් යම්කිසි මට්ටමකට රෝගයේ දුර්වලතා හීන කරගෙන තව කෙනකුගෙන් සුළු උදව් ලබාගෙන ජීවිතය ගත කරයි. ආඝාතය සෑදුණ රෝගීන් එක් එක් මට්ටම් වලින් තම තමන්ගේ ජීවිතයේ කටයුතු කරගෙන යයි. අනෙක් කොටස ආඝාතයේ දුර්වලතා ඉතා අඩු ලෙස පෙන්නුම් කර තවකකුගේ උදව් නොමැතිව ජීවත් වෙයි. එක් වරක් හෝ සෑදුණ රෝගියකුට නැවත නැවත මෙම රෝගය ඇතිවීමේ අවධානමක් ඇත. එම නිසා අවධානම අඩු කර ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කරන ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්.

ආඝාතයෙදී බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණ අතර පෙර දැනුම් දීමකින් තොරව එකවරම සිදුවන එක පැත්තක අත හා පාදය පණ නැතිවීම, කතා කිරීමේ අපහසුතා ඇතිවීම, සමතුලිතතාව නැති වීම, පෙනුම් පරාසයේ එක පැත්තක් නොපෙනී යාම හෝ එක් ඇසක් අන්ධ වීම අයත් වේ.

ආඝාතයේදී ඇතිවන රෝග ලක්ෂණ ඍණාත්මක වේ. එහෙයින් රෝගියා රෝහලට ඒමට උත්සාහ නොකරනු ඇත. මෙහිදී එන රෝග ලක්ෂණ ඇතැම් වේලාවට තම ඥාතීන්ට ද හඳුනා ගැනීමට අපහසු විය හැකිය. එම නිසා ආඝාත රෝගය නිවසෙදී හඳුනා ගැනීමට පහත කරුණු උපකාර වනු ඇත. ආඝාතය සෑදී ඇතැයි සැක කරන අවස්ථාවක මේ වැනි දේ කරන්න.

 

1. රෝගියාට සිනහවන්නට කියන්න. එවිට කට එක පැත්තකට යනවා නම්,

2.‍ රෝගියාට අත්දෙක ඔසවන්න කියන්න. එක අතක් එසවෙන්නේ නැතිනම්,

3. ප්‍රශ්නයක් අසන්න. කතා කරවන්න. කතා කිරීමේ අඩුපාඩුවක් පෙන්නුම් කරයි නම්,

මින් එකක් හෝ කිහිපයක් ඇත්නම් ආඝාතයේ රෝග ලක්ෂණ විය හැකිය. හඳුනා ගත් වහාම ඔරලෝසුවේ වේලාව සටහන් කරගෙන ළඟම ඇති රෝහලට රැගෙන යාමට උත්සුක වන්න.

වර්තමානයේ ආඝාත රෝගීන්ට ඉක්මන් ප්‍රතිකාර කිරීම සඳහා රජයේ මූලික රෝහල් හෝ ඊට ඉහළ රෝහල්වල පහසුකම් ඇත. හැකි සෑම විටම ළඟම ඇති ලොකුම රෝහලකට රෝගියා රැගෙන යන්න. රෝගියා ඉක්මනින් රැගෙන යාමට හදිසි ගිලන් රථ සේවාව වඩා සුදුසු ය. එය ගෙන්වා ගැනීමට 1990 අංකය අමතන්න. රෝහලට රැගෙන යනතුරු කිසිම විටෙක මුඛයෙන් කිසිවක් නොදීමට වගබලා ගන්න. එයට හේතුව රෝගියාගේ ගිලීමේ හැකියාව නොමැති වී තිබෙන්නට පුළුවන්. එවිට මුඛයෙන් කිසියම් හෝ ආහාරයක් හෝ දියරයක් දුන් විට සාමාන්‍යයෙන් ගල නාලයෙන් යනවා වෙනුවට ශ්වාස නාලය දිගේ පෙනහල්ලට ගොස් අවහිරතාවක් ඇති වන්නට පුළුවන. රෝහලට පැමිණි පසු වෛද්‍යවරුන් රෝගීයාගේ තත්ත්වයට අදාළ ඉක්මන් ප්‍රතිකාර කරයි.

රෝහල්ගත කරන රෝගීන් නැවත යථා තත්ත්වයට පත් කිරීමට පුනරුත්ථාපනයට යොමු කරයි. ඒ පුනරුත්ථාපනය යම් කාලයක් සිදු කළ යුතුය. එහෙත් ශ්‍රී ලංකාවේ පවතින රෝහල්වල එසේ රෝගීන් විශාල කාලයක් රෝහලේ තබාගෙන ප්‍රතිකාර කිරීමේ අඩුපාඩු පැවතිය හැකිය. එම නිසා සමහර රෝගින් පුනරුත්ථාපනය නොකර රෝහලෙන් පිටව යාමට සිදු වේ. මෙයට හේතුව අනෙක් රෝගීන්ට වඩා ආඝාත රෝගීන් වැඩි කාලයක් රෝහල් ඇඳවල් මත ප්‍රතිකාර ගැනීම අවශ්‍ය බැවිනි.

රෝගියා යම් අතකට සුව වූ පසුවද ඔවුනට තමන්ගේ සාමාන්‍ය වැඩ තනිවම කර ගැනීමට අපහසු විය හැකිය. එවිට තම ඥාතීන්ගේ සහය අවශ්‍ය වනු ඇත. ඒ දුර්වලතාවලින් සමහර කොටස් දීර්ඝකාලීනව පැවතීමට ද ඉඩ ඇත.

ආඝාත රෝගියකුට රෝහලේ සිටිනා මුල් කාලය තුළ සංකූලතා ඇති වීමටද ඉඩකඩ පවතී. නිව්මෝනියාව, පාදවල රුධිරය කැටි ගැසීම, ඇදටම වී සිටීමෙන් විවිධ තුවාල ඇතීවීම් ඒ අතර වේ. රෝගියා රෝහලේ සිටී නම් එම සංකූලතා වළක්වා ගැනීමට පියවර ගැනේ.

මීට අමතරව රෝගියාට නැති වුණු හැකියාවන් නැවත ලබා ගැනීමට ඥාතීන්ගේ සහය ඉතා වැදගත් වේ. රෝගියාගේ මානසික මට්ටම හොඳ තත්ත්වයට ගෙන ඒම, නිවැරදිව ව්‍යායාම් කිරීමට ඔවුන්ව උනන්දු කිරීම, ඔවුනගේ ක්‍රියාවන් තනිව කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දීම, රෝගියාව නිතරම දිරිමත් කිරීම හා තනි නොකිරීම ආදී ඉතා වැදගත්.රෝගියා නිවසට යැවීමට සුදුසු අවස්ථාවේදී රෝගියා බලා ගැනීමට අවශ්‍ය උපදෙස් වෛද්‍යවරුන් හා චිකිත්සකවරුන් විසින් රෝගියාගේ ඥාතීන්ට ලබා දේ.

 

Comments