සප්ලිමන්ට් මස් මාංශ නැතිව රටක් දිනූ බොඩි බිල්ඩර් පද්මසිරි පෙරේරා | සිළුමිණ

සප්ලිමන්ට් මස් මාංශ නැතිව රටක් දිනූ බොඩි බිල්ඩර් පද්මසිරි පෙරේරා

‘සිරුර වර්ධනය වන්නට මස්, මාළු අනුභව කළ යුතු යැයි ඇතැම්හු විශ්වාස කරති. එවැනි පෝෂ්‍යමය මාංශ ආහාර මෙන් ම අතිරේකව සිරුරට ලබා දෙන පෝෂණ ද්‍රව්‍යවලින් තොරව කායවර්ධනය වැනි ක්‍රීඩාවල නිරතවීම අසීරුබව එවැන්නෝ සිතති. එහෙත් කාලයකට පෙර එවැනි කිසිදු බාහිර සාධකයක් උපයෝගී නොකර ගනිමින් කායවර්ධන ශූරයකු වශයෙන් පත්මසිරි පෙරේරා හැඳින්විය හැකිය. පසුගිය දා සිය දිවිසැරිය නිමා කළේ ය. මේ ඔහුට උපහාර පිණිස තැබෙන සටහනකි.‘

මෙලොව එළිය දකින බිළිඳෝ අනේකවිධ හැකියාවන් මිටින් ගෙන පැමිණෙති. එය හරියට මහෞෂධයන් සඳුන් හර මිටින් ගෙන පැමිණියා සේ ය. කෙසේ නමුත් ඒ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් බව පැවසිය යුතු ය. කෙනෙකු එක් හැකියාවක් පමණක් ප්‍රගුණ කරන අතර, තවත් කෙනෙක් විවිධ ක්ෂේත්‍රවල දස්කම් පාන්නෝ ය. ඒ අතර අසිරිමත් අදහා ගත නොහැකි කුසලතාවෙන් පරිපූර්ණ වූවෝ ද වෙති.

කළුබෝවිලගේ පත්මසිරි පෙරේරා එවන් සුවිශිෂ්ට මිනිසෙකි. මෙරට කලා හා ක්‍රීඩා යන ඉසව් ද්විත්වයේ ම නමක් තැබීමට ඔහුට හැකි විය. කායවර්ධන ශිල්පියකු හා උපදේශකවරයකු වූ ඔහු කය නැංවීමේ සහ වර්ධනය කිරීමේ කලාවේ ශ්‍රී ලංකාවේ ලකුණයැයි කිව හැක්කේ ය. එපමණක් නොව හෙතෙම විදේශයන් හි ද මෙරට නම සනිටුහන් කර ඇත.

ඇරඹුම

වර්ෂ 1946 දෙසැම්බර් 15 වැනි දා පිළියන්දල, මාකන්දන දී උපන් හෙතෙම සිය දෙමාපියන් සමග පසු කලෙක කොට්ටාවේ පදිංචියට පැමිණියේ ය. රුක්මලේ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් කුඩා පත්මසිරි දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා ය. ඔහුට බාල සහෝදරයින් දෙදෙනෙකු හා සහෝදරියන් දෙදෙනෙක් විය. මව ගෘහණියක වූ අතර, පියා ගොවිතැනින් සිය දරු පවුල පෝෂණය කළේ ය.

කුඩා පත්මසිරි ට වයස අවුරුදු පහළොවක් වනවිට ඔහුගේ පියා හෘදයාබාධයක් වැලඳී හදිසියේ කළුරිය කළේ ය. එතැන් පටන් නංගිලා මල්ලිලා ජීවත් කිරීමේ බර වැඩිමහල් පුතු මත පැටවිණි. එබැවින් ඔහු රැකියාවක් සඳහා ඔරුවල වානේ සංස්ථාවට බැඳිණි. එදින පටන් විශ්‍රාම ලබනා තුරු එනම් වර්ෂ 2006 දක්වා 30 වසරකට අධික කාලයක් හෙතෙම එහි සේවය කළේ ය.

ඒ අතර ඔහු තමා ප්‍රිය කළ කායවර්ධන ක්‍රීඩාවේ නියැළුණේ ය. සිය පුහුණුකරු සහ ගුරුවරයා ලෙස ඔහු සැලකුවේ ජ්‍යෙෂ්ඨ කායවර්ධන උපදේශක පී. ඒ. කරුණාරත්න මහතායි. ඒ සඳහා ඔහුට සිය සේවා ස්ථානයෙන් උපරිම සහන සලසා දී තිබිණි. දෛනික ව පුරා පැය දෙකක් සිය ව්‍යායාම සහ පුහුණුවීම් වෙනුවෙන් ආයතනය මෙම දක්ෂ සේවකයාට නිදහස ලබා දීමට තීරණය කළේ ය.

එහි විපුල ඵල නෙලා ගනිමින් ඔහු ප්‍රථමයෙන් 1973 දී විදේශීය කායවර්ධන තරගයකට සහභාගි විය. එහි දී හේ 06 වැනි ස්ථානය ලබා ගත්තේ ය.

වර්ෂ 1976 මැයි මස 06 වැනි දා පත්මසිරි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිවිල් ඉංජිනේරු අංශයේ කාර්මික නිලධාරිනියක වූ පර්ල් අයිරාංගනී හෙට්ටිආරච්චි මෙනවිය සමඟ විවාපත් ව, බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පදිංචි විය.

අනතුරුව අඛණ්ඩ ව 1977, 1978, 1979, 1982, 1984 වර්ෂවල Mr. Sri Lanka ලෙස කිරුළු පලඳින්නට මේ උත්සාහවත් තරුණයා භාග්‍යවත් විණි. ඒ අතර Mr. Asia, Mr. World වැනි ජාත්‍යන්තර තරග සඳහා සහභාගිවීම සඳහා අවස්ථා 15 ක් පමණ ඔහු සිය ප්‍රිය බිරිය සමග ම විදෙස්ගත විය.

ඒ වන විට මෙරට කායවර්ධන ක්ෂේත්‍රය තුළ ඔහු ඉතා ජනප්‍රිය පුද්ගලයකු බවට පත් ව සිටියේ ය. ඔහුට දිවයින පුරා තරුණ පරපුර අතර ඉමහත් පිළිගැනීමක් නිර්මාණය වී තිබිණි. වර්තමානයේ මෙන් කායවර්ධන ශිල්පය, මස් පිඬු ප්‍රදර්ශන සුලබ නොවූ හෙයින් චිත්‍රපට දර්ශන සඳහා පවා පත්මසිරිට බොහෝ ඇරැයුම් ලැබිණි. යගුලිය විසි කිරීම ද ඔහු කුසලතා දැක් වූ තරග ඉසව්වකි.

ඔහු කිසිකලෙකත් කෘත්‍රිම උත්තේජක භාවිත නොකළේ ය. ඔහුගේ බිරිඳ පවසන්නේ පත්මසිරි යනු නිර්මාංශ ආහාර රටාවක් අනුගමනය කළ අවිහිංසක පුද්ගලයකු බවයි. කාය වර්ධනයට ප්‍රෝටීන් අත්‍යවශ්‍ය බව කියමින් මස් මාංශ අලෙවි කෙරෙන සමාජයක මේ අහිංසක ගැමි තරුණයා එළවළු සහ පලතුරු මත පමණක් යැපෙමින් සිය කාය සිරියෙන් මුළු මහත් ලෝකයක් හා තරග වැදී ජය ලබා ගත්තේ ය. ක්‍රීඩා ලොව ජය නැංවුව ද කිසිකලෙකත් දුම්වැටි, මත්පැන් රස නොබැලී ය. අල බතල වර්ග, මුංඇට, කව්පි වැනි ඇට වර්ග ඔහුගේ ප්‍රියතම ආහාර අතරට එක් ව තිබිණි. ඉතා සවිමත්, නිරෝගී පුද්ගලයෙකු වූ ඔහු මිය යන තුරු කිසිදු රෝගයකින් නොපෙළුණේ ය. නිවසේ සැකසූ ආහාර පාන පමණක් මිස වෙනත් අහරක් නොගත් ඔහු හරියට ම තුන් වේල පමණක් සිය ජීවිතයට හුරු කර ගෙන සිටියේ ය.

වානේ සංස්ථාව සහ එහි පාලනාධිකාරිය ඔහුගේ තරග සහ විදෙස් සංචාර සඳහා නිරන්තර සහයෝගය ලබා දුන්නේ ය. විදෙස් සංචාර සඳහා අනුග්‍රාහකත්වය සපයන්නට පවා ඔවුන් පත්මසිරිට අත්වැලක් වූහ.

ඔහු කායවර්ධන උපදේශකවරයකු ලෙස සිය සේවය අදාළ ආයතන වෙත ලබා දුන් අතර, සිය නිවෙසේ ද පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියේ ය. එය ප්‍රථමයෙන් තමා සඳහා පුද්ගලික ව පිහිටුවාගෙන අනතුරුව අසල්වැසියන්, සිසුන් ඇතුළු බහුතරයකගේ ඉල්ලීම මත බාහිර පුද්ගලයින් සඳහා ද විවෘත කෙරිණ.

තරග විනිසුරුවරයකු සහ සංවිධායකවරයකු ලෙස ද කටයුතු කළ ඔහුගෙන් පුහුණුව සහ උපදෙස් පතා දෛනිකව 25 - 30 ත් අතර පිරිසක් නිවෙසට පැමිණිය හ. එය ඇට්ලස් කායවර්ධන මධ්‍යස්ථානය නමින් ප්‍රචලිත ව පවතී.

වසර 2000 දී හෙතෙම ප්‍රවීණ කායවර්ධන සූරයා යන විරුදාවලිය හිමි කරගත්තේ ය.

පසුකලෙක මෙරට සවි එසවීමේ සංගමයේ නිලධාරියකු ලෙස කටයුතු කළ ඔහු එහි දී ද ප්‍රවීණතාවයෙන් සම්මානයට පාත්‍ර විය. ඒ අනුව මෙරට කායවර්ධන සහ සවි එසවීම යන ඉසව් 02 සඳහා ම උපදෙස් ලබා දීමේ හැකියාව ඔහු සතු විය.

සෑම උපන්දිනක ම දානමය පින්කමක් සිදු කිරීම ඔහුගේ සිරිත විණි. ඔහු පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනි දා සිය 75 වැනි ජන්ම දිනය සැමරී ය. ඉතා නිරෝගී පුද්ගලයකු වූ ඔහුට හදිසියේ ආහාර ගැනීමේ අපහසුතාවක් මතුවන්නට විය.

එහෙත් එවන් අවස්ථාවල ඔහු ව්‍යායාමවල නිරත ව එම අපහසුතාව යටපත් කරගැනීමට උත්සුක විණි. ඉතා කෙටි කලක් තුළ හඳුනාගත් අන්දමට දරුණු පිළිකා රෝගය ඔහුගේ අක්මාව ආක්‍රමණය කර තිබිණි. ඉන් අනතුරුව දෙසතියක පමණ කටුක කෙටි කාලය අවසන 2022 ජනවාරි 22 වැනි දා ඔහු සදහට ම දෙනෙත් පියා ගත්තේ ය.

ඔහුට දියණියන් දෙදෙනෙකි. වැඩිමහල් දියණිය දැනට අමෙරිකාවේ පදිංචි ව ගුරුවරියක ලෙස කටයුතු කරන අතර ඇය දෙදරු මවකි. ඇගේ සැමියා තොරතුරු තාක්ෂණ නිලධාරියකු ලෙස කටයුතු කරයි. බාල දියණිය ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරිනියකි. ඇගේ සැමියා ද යුද හමුදා නිලධාරියකු වේ.

තමාගේ අරමුණ කවර අන්දමකින් හෝ සාක්ෂාත් කරගැන්මට උට්ඨාන වීර්යයෙන් කටයුතු කළ අප කථානායකයා, නොසැලෙන, සත්‍යගරුක පුද්ගලයෙකු විය. පිරිසිදු ව , පිළිවෙලට කටයුතු කළේ ය. තමා කළ කී දෑ පිළිබඳ ලොවට හඬ ගා නොකී ඒ නිහඬ මිනිසා එසේ නොඑන ගමන් ගියේ ය. එහෙත් දශක කිහිපයකට පෙර කායවර්ධන ක්ෂේත්‍රයේ ඔහු තැබූ අමරණීය සටහන් අදටත් එලෙස ම පවතී.

(විශේෂ ස්තුතිය - මාධ්‍යව්දිණියක, ගායන ශිල්පිනී තිළිණි අතුකෝරළට.)

කාන්ති ජයසිංහ

Comments