
අපි නොදන්න ලයිව් වැඩසටහනෙන් තමයි මම පළමුවරට ශාරුක් ඛාන් ලෙස මෙරට ප්‍රේක්ෂකයා ඉදිරියට එන්නේ.
මම පාසල් අවදියේ සිටම නළුවෙක්. මම කලාවට යොමු කරන්නේ සුබසිංහ සර් හා සෝමා කන්නංගර මිස්.
අන්න ශාරුක් ඛාන්... යුටියුබය නරඹන අතරේ යෙහෙළියක පෙන්නුවේ හිනාවෙමිනි. එතකොට මෙයා කවුද මෙයත් ශාරුක් නේ. අනෙක් යෙහෙළිය තම අතරැඳි දුරකථනයෙන් තවත් රුවක් පෙන්වමින් හිනැහෙන්නට විය. මේ ඉන්නේ ලංකාවේ ශාරුක් අවසානයේ කලින් යෙහෙළිය තම දුරකථනයෙන් දසුන් කිහිපයක්ම ගෙන පෙන්නුවාය. මේ වසර කිහිපයකට පෙර අත්දැකීමකි. මුහුණු පොත අපට සමීප වීමත් සමඟ ලංකාවේ ශාරුක් ඛාන් ද අපේ හිතමිතුරකු විය. ශාරුක් ලෙසින් ඔහු හැඳින්වුවද නිහාල් ගුණවර්ධන නම් වූ ඔහු, ඔහුටම ආවේණික ගමනක් යමින් සිටින්නෙකි.
වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ ඉතාලියේ සේවය කරන ඔහුගේ බාල විය, යොවුන් විය, තරුණ විය ගෙවී ගියේ මෙරට දී ය. නිවාඩුවකට ලංකාවට පැමිණ සිටින ඔහු පසුගියදාක අපට මුණ ගැසුණි.
අද වන විට කවුරුත් ලංකාවේ ශාරුක් ලෙස නිහාල්ව හැඳින්වුවද ඔහු දුෂ්කර ගමනක් පැමිණි කලාකරුවෙකි.
අනුරාධුපරයේ උපන් නිහාල් පස්දෙනකුගෙන් යුතු පවුලේ බාලයාය. ඔහුට අක්කලා දෙදෙනෙකු සහ අයියා කෙනකු සිටී.
“මගෙ තාත්තා හමුදා නිලධාරියෙක් විදියට සේවය කළේ. මීට කලකට පෙර තාත්තා මිය ගියා. අම්මා ගුරුවරියක් ලෙස සේවය කළා. දැන් ඇගේ වයස අවුරුදු 100 යි මාස හතක් වෙනවා. මට මතකයි අපි පුංචි කාලේ ගෙදරට කවුරු හරි ආවාම අම්මා මාව තමයි ඉදිරියට ගන්නේ. ඒ කියන්නේ ඒ ආව කෙනා ඉදිරියේ මම සින්දුවක් කියන්න ඕන. මං හිතනවා මගේ සබකෝලය නැති වුණේ එතැනින් කියලා. අපේ අම්මාට ඕන වුණේ මාව කලාකාරයෙක් කරන්න.“ නිහාල් සිය මවගෙන් ලැබුණ දිරිය ගැන පවසමින් අප හා කතාවට එක් වුයේ එලෙසිනි.
අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර පාසලෙන් හා අනුරාධපුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු පසුව අනුරාධපුර කාර්මික විද්‍යාලයට බැඳී පාඨමාලාවක් හදාරන්නේය. නමුදු ඔහුගේ ආශාව ඇත්තේ කලාවෙන් ඉදිරියට යෑමටය.
“මම පාසල් අවදියේ සිටම නළුවෙක්. මම කලාවට යොමු කරන්නේ සුබසිංහ සර් හා සෝමා කන්නංගර මිස්. සෝමා මිස් මාව ඉංග්‍රිසි නාට්‍යවලට යොමු කළා. 1977 වසරේ මම අනුරාධපුරයේ ජන නළු කැල රංග වැඩමුළුවට සහභාගී වෙනවා. ඒ වගේම මම 1979 ඔක්තෝබර් 16 ගුවන් විදුලියේ රජරට සේවයේ හඬකැවිමේ ශිල්පියකු ලෙස සම්බන්ධ වෙනවා. ඒ අතර ඩ්‍රම්ස් වාදකයෙක් ලෙසත් ගායකයකු ලෙසත් කටයුතු කරනවා. ඔය අතරම කතෝලික සිනමා පර්ෂදය (OCIC)මෙහෙයවන කැමරා පාඨමාලාවක් හදාරනවා. ඇන්ඩෘෘ ජයමාන්න යටතේ තමයි මේ පාඨමාලාව හදාරන්නේ. 1982 අවුරුද්දේදී සරුංගලය නමින් කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. සුනන්ද සිල්වාගේ පාරාජිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට එනවා. ඔය අතර ජර්මන් සංස්කෘතික ආයතනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා.
වේදිකාවට, ගුවන් විදුලියට පමණක් නොව කාටුන් ශිල්පියකු ලෙස ද දක්ෂතා පෙන්නුම් කරන නිහාල් 1985 වසරේ ලංකාදීප පුවත්පතට සම්බන්ධ වන්නේය. ඔහු එකල නිහාල් ගුණවර්ධනගේ හිනා නමින් කාටූන් නිර්මාණ ලංකාදීප පුවත්පතට අඳින්නේය. මේ සියලු කලා කටයුතු අතරේ 1988 බෙනට් රත්නායකයන් නිර්මාණය කරන සයුරෙන් එහා ටෙලි නාට්‍යයේ කලා අධ්යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන අතරේම එහි චරිතයක් නිරූපණය කිරීමට ද අවස්ථාවක් නිහාල්ට හිමි වන්නේය. නමුදු 1988 - 1989 කාලයේදී රටේ පැවැති තත්ත්වයත් සමඟ කලාවෙන් ඈත්වෙන නිහාල් ඇඟලුම් ක්ෂේත්රයේ කළමනාකරණ පාඨමාලාවක් හදාරන්නේය. පාඨමාලාව අවසානයේ මොරටුව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන නිහාල්ට 1996 වර්ෂයේ ඉතාලියට යන්නට අවස්ථාව හිමි වන්නේය.
“ඉතාලි ගිය කාලයේ මම ඉතාලි භාෂාව දන්නෙත් නැහැ. ඒ කාලේ හරිම කටුකයි. නමුත් ටික කලකින් හැමදේම අල්ල ගත්තා. මම ඒ ඉන්න අතරේ ගීත හතරක් නිර්මාණය කරනවා මේ ගීත හතරෙන් තුනක්ම ලියන්නේ මම. ශාන්තිනි කියන ගීතය ලියන්නේ චමින්ද කළුපහන සොයුරා. 2000 වසරේ මම ලංකාවට එනවා. ඒ ඇවිත් මගේ ගීත ගුවන් විදුලි නාළිකාවලට දෙනවා. මම 2006 ලංකාවට ආවාම තමයි මට චුටී මල්ලියි, පොඩි මල්ලියි හඳුනා ගන්න ලැබෙන්නේ. ඒ ඔවුන් දෙදෙනා සිරස රූපවාහිනියේ අපි නොදන්න ලයිව් පටන් ගත්ත කාලේ. දුකා මාව ඔවුන්ට හඳුන්වා දුන්නට පස්සේ අපි හමුවුණ මුල්ම දවසේ ඔවුන් මාව 'අපි නොදන්න ලයිව්' වැඩසටහනට සම්බන්ධ කර ගන්නවා. එතැනින් තමයි මම පළමුවරට ශාරුක් ඛාන් ලෙස මෙරට ප්‍රේක්ෂකයා ඉදිරියට එන්නේ. ලංකාවට එන හැමවරම රූපවාහිනී වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. මේ අතර මට අවස්ථාව ලැබෙනවා ඩයලොග් රූපවාහිනී දැන්වීම, වූඩු සුවඳ විලවුන් දැන්වීමට සම්බන්ධ වෙන්න.“
වරින්වර ලංකාවට පැමිණෙන නිහාල් විවිධ කලා කටයුතුවලට සම්බන්ධ වන්නේය. මෙවර ඔහු පැමිණියේ දිගු කලක් තම මවු රටේ සිටීමටය.
ඔබ ශාරුක් වුණේ කොහොමද ? කතාව නිම කරන්නට පෙර ඇසිමි.
මම කිව්වේ දුක්ගන්නා රාළයි මමයි වැල්ලවත්තේ පාටියකට ගියා. එතැනදී මමයි දුකයි ෆාමසියකට ගියා. එතැනදි දෙතුන් දෙනෙක් කියන්න ගත්තා මූ ශාරුක් වගේ නේද කියලා. ඒක අහගෙන ඉඳලා තමයි එදාම දුකා මාව සිරසට එක්ක ගෙන ගිහින් චුටි මල්ලිටයි, පොඩි මල්ලිටයි හඳුන්වලා දුන්නේ. එතැනින් පස්සේ මට බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා. තවමත් එහෙමයි. ඉස්සරම ඉස්සර මාව හැඳින්වූයේ ‘අනුරාධපුරේ පොඩි මල්ලි‘කියලා. ඒ මට නිවසේ අයත් අසල්වැසියනුත් කිව්වේ පොඩි මල්ලි කියලා. වේදිකාවට ආවට පස්සේ ‘ඇන්ටෝස්‘ වුණා. සිරස රූපවාහිනිය හරහා ෂාරුක් වුණා. ඔන්න ඔහොමයි ජීවිතේ.
නිහාල් තමන් පැමිණි ගමන් මඟ පවසන්නට වූයේ එලෙසිනි.
ඡායාරූප - අසංක සිල්වා