
කෝමාරිකා කාන්තාවන්ගේ රුව වැඩීම සඳහාම උපන් ආශිර්වාදාත්මක ශාකයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වෙනවා
සොබාදහමෙන් අපට ලැබුණ තිළිණ අතර රූ සපුව රැක ගැනීමටත් සුන්දරත්වය වැඩි කරගැනීමටත් යොදාගත හැකි ශාක කොටස් ගණනාවක් තිබෙනවා. අද රූ රහස් විශේෂාංගයෙන් අපි අවධානය යොමු කරන්නේ එවැනි ස්වාභාවික අමුද්‍රව්‍ය සුන්දරත්වය සහ නීරෝගීභාවය උදෙසා යොදාගත හැකි ආකාරය පිළිබඳවයි. ඒ පිළිබඳව දැනුම්වත් කිරීමට සම්බන්ධ වන ඇය නමින් තිළිණි දමයන්ති තිරාණගමගේ ය.
අපි මුලින්ම කතා කරමු ඖෂධීය වටිනාකම් රැසක් සහිත 'Hibiscus rosa - sinensis' යන උද්භිද නාමයෙන් හැඳින්වෙන වද මල් පිළිබඳව.
"මෙම වද මලෙහි පවතින ඖෂධීය ගුණ නම් අපරිමිතයි. ශීතල මධුර ගුණයෙන් සමන්විත වද මල් පිත සමනය කරන අතර හිසකෙස් වර්ධනය කරනවා. විටමින් A සහ C වලින් මෙන්ම විටමින් B,සින්ක්, යකඩ, ප්‍රෝටීන් සහ ඔමේගා-3 වලින් පොහොසත් වදමල් හිස කෙස්වල හා සමෙහි ගළවන්නත් ඉතා සුදුසුයි. වදමල් පානයේ කැෆේන් අඩංගු වෙන්නේ නැති නිසාත් ඇත්තේ අඩු කැලරි ප්‍රමාණයක් නිසාත් ශරීර සෞඛ්‍යට ඉතාමත් හිතකරයි. එසේම තම්බා මිරිකා පොඩිකරගත් වදමල් හිසෙහි සම්බාහනය කර ස්නානය කිරීමෙන් හිස්සොරි සමනය වී අකලට හිසකෙස් ගැලවී යාම වළක්වනවා. මේ මල් නටන ජලයේ තම්බා ගත් ජලයෙන් ඇඟ සේදීමෙන් සමේ ආසාදන දුරුකොට පැහැපත් දීප්තිමත් සමක් ලබාදෙනවා"
ප්‍රතිශක්තිකරණ ඖෂධයක් ලෙස සහ විසබීජ නාශක ගුණයක් සහිත 'Coscinium fenestratum' යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන වෙනිවැල් ශාකය බහුලව හට ගන්නේ ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපීය වනාන්තරවලයි.
" වෙනිවැල්, බාන් වැල්, කහ වැල්, වනු වැල් වැනි විවිධ නම්වලින් හඳුන්වනවා. වෙනිවැල් තම්බා ගත් වතුර දුරාතීතයේ පටන් කුඩා දරුවන් නෑවීම සඳහා භාවිත කර තිබෙන අතර ඉන් ළදරු සමෙහි රන්වන් කාන්තියක් ඇතිවෙනවා. එසේම වෙනිවැල් ප්‍රතිවයිරස හා ප්‍රතිප්‍රදාහක රසායනිකයන්ගේ ස්වභාවික ප්‍රභවයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.වෙනිවැල් මුහුණේ ආලේප කිරීම මඟින් මුහුණේ තෙල් සහිත ස්වභාවය අඩු කරමින් කුරුළෑ වළක්වනවා"
කෝපි යනු ලෝකයේ රටවල් ගණනාවක ජනප්‍රිය පානයක්. කෝපිවලට ඔබේ අභ්‍යන්තර සිරුර ශක්තිමත් කළ හැකි සේම ඒ හා සමාන ප්‍රතිලාභ සමටද අත්කර දිය හැකි බව ඔබ දැන සිටියාද?
" සමේ අපද්‍රව්‍ය බැහැර කොට නිරෝගී දීප්තිමත් සමක් ලබා දීම දක්වා කෝපිවලින් ඉටු කරගත හැකි මෙහෙය අපරිමිතයි. ක්‍රීම්, ස්ක්‍රබ්, සබන් ලෙසින් කෝපි සමේ ආලේප කිරීමෙන් සම සුසිනිදු හා දීප්තිමත් කිරීම, කුරුළෑ පාලනය, සම පෝෂණය කිරීම, සම එල්ලා වැටීම වැළැක්වීම සහ ස්වාභාවික තෙතමනය රැකදීම ආදිය සිදු කරනවා"
ඍතු කන්‍යා, ගෘහ කන්‍යා, කුමාරිකා, කුමාරි ආදී විවිධ නාමවලින් හඳුන්වනු ලබන කෝමාරිකා කාන්තාවන්ගේ රුව වැඩීම සඳහාම උපන් ආශිර්වාදාත්මක ශාකයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වනවා.
" සිරුරේ නීරෝගිභාවයටද විශ්මිත සත්කාර සපයන කෝමාරිකා ආලේපන මෙන්ම ආහාර ලෙස ද සිරුර සනහාලීමට යෝග්‍ය වනවා. වියළි බවින් සම ආරක්ෂා කර සමේ තෙතමනය රැකගැනීම හා අඳුරු බව දුරලා පැහැපත් සමක් හිමිකර දීම, හිරුඑළියට නිරාවරණය වීමෙන් ඇති වූ සමේ විවිධ ලප කැළැල් ස්වාභාවිකවම ඉවත් කිරීම මෙන්ම හිසකෙස් ශක්තිමත් කිරීම සහ හිස්සොරි පාලනය කිරීම සඳහා ඉතා අගනා ස්වාභාවික කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියාත්මක වීමත් කෝමාරිකාවල කාර්යයක්"
අතීතයේ දඹදිව මියුළු නුවර සිරිවද්ධන සිටාණන්ගේ පුත් කුමරා සුදු හඳුන් කැබැල්ලක් අතැතිව උපත ලද නිසා 'මහා ඖෂධයක් අතැතිව උපන් කුමරා' යන අදහසින් මහෞෂධ නාමය තැබූ බව පුරාතන සාහිත්‍යයේ සඳහන් වෙනවා. සුදු හඳුන්වලට දුරාතීතයේ පටන් පැවති ඖෂධීය වටිනාකමට මේ කදිම නිදසුනකි.
" සඳුන් අරටුවෙන් සහ මුල්වලින් සාදාගනු ලබන සුදු හඳුන් තෙල් අපේ පැරණි ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වන පරිදි අතීතයේ සිටම ශරීරයේ ආලේප කිරීමෙන් ශරීර අභ්‍යන්තරයේත් බාහිරවත් රෝග නිවාරණය කොට තිබේ. උෂ්ණ කාලවලදී ශරීරයේ ඇතිවන ඩහදිය බිබිළි සමනය කොට සමේ වියළි බව නැති කර හමට සිසිලක් ලබා දීම සඳහා සුදු හඳුන් කුඩුවලට ඇල් දිය මුසුකොට සැකසූ සියුම් ද්‍රාවණය ඇඟේ ආලේප කළ හැකියි. සමේ අවපැහැය මකා රන්වන් පැහැයක් ලබා ගැනීමට දිනපතා සුදු හඳුන් කුඩු රෝස වතුර සමඟ මිශ්‍ර කර ඇඟේ ආලේප කිරීම හේතු වෙනවා.
කාර්යබහුල ජීවන රටාව තුළ ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කර සත්කාර කිරීම අපහසු නිසා ඒ අවශ්‍යතාවන්ට ගැළපෙන ආයුර්වේද නිෂ්පාදන පෙළක් තිළිණි දමයන්ති තිරාණගමගේ විසින් හඳුන්වා දී තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන ඇය සබන් නිෂ්පාදනය පිළිබඳව පාඨමාලාවක් හදාරා ඇති අතර රජයේ තත්ත්ව පරීක්ෂණ ආයතනයෙන් තත්ත්ව සහතික ලබා රජයේ ලියාපදිංචිය ද සිදුකර " තිදති නිෂ්පාදන " නමින් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. "Wonders of nature on your skin - සොබාදහමේ ආශ්චර්යය ඔබේ සමට" නමින් නිල්කටරොළු සබන්, කස්තුරි කහ සබන්, ළදරු හා ළමා සමට උචිත වෙනිවැල් සබන්, කුංකුම සබන්, සුදු හඳුන් සබන් සහ පවුඩර්, කෝමාරිකා ග්ලසරීන් මොස්චරයිසින් සබන්, අර්තාපල් සබන් සහ කිරි කෝපි සබන් ආදී ස්වාභාවික නිෂ්පාදන ගණනාවක් මේ යටතේ සිදු කරනවා.
නිසංසලා සංගීතා සමරතුංග