සිනහව නැති ලෝකයට සිනහව ගෙනා බර්ටි! | Page 2 | සිළුමිණ

සිනහව නැති ලෝකයට සිනහව ගෙනා බර්ටි!

අඬන සමාජයක  තමන් අඬන  බව සඟවා  සිනහවුණු  බර්ටි ගුණතිලක  නික්ම යයි

“ගායකයාට තම කටහඬින් ගී ගායනා කළ හැකි ය. එසේම තම ශිෂ්‍ය ප්‍රජාවට එය ගයන්නේ මෙසේය යන්න උගන්වන්නට ද හැකි ය. නමුත් ඔහුට තම ශිෂ්‍යයා හට තම මධුර කටහඬ ලබා දිය නො හැකි ය. ඔහුගේ ප්‍රතිභාව පැමිණි, ඔහුගේ දිවියේ ඔහු විඳි සංවේදනා සහ ඔහුගේ ගායනාවෙන් මතුවන එකී අත්දැකීම්වල රාවය ඔහුට තම ශිෂ්‍යයන් හට ඉගැන්විය නො හැකි ය. ශිෂ්‍යයා එය උගත යුත්තේ තනිවම ය.”

 

 

1990 වර්ෂයේ මුල් කාර්තුවේ “ සරසවිපායේ“ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් විසින් මෙහෙයවනු ලැබූ රංග පාඨමාලාවක් විය. එහි උපදේශකයකු වශයෙන් මම ද සම්බන්ධ වී සිටියෙමි. එහි කතාබහ අඩු, දක්ෂ, ජීවනී නම් ශිෂ්‍යාවක් වූවා ය. ඇය ව ඒ වෙත යොමු කරවා තිබුණේ ඇයගේ පියා විසිනි. තමන්ගේ දරුවන් කලාවේ කොතැනකට හෝ සම්බන්ධ වෙනවා නම් එය විධිමත්ව හදාරා තිබිය යුතු බව මේ පියා විසින් අදහස් කොට ගෙන තිබුණි. ඔහුට තමන්ගේ දරුවන් සමාජයේ ඕනෑම තැනක ස්ථානගත කරවීමේ සිවිල් හැකියාවක් තිබුණ ද ඔහු කිසිදාක ඒ සඳහා ඉදිරිපත් වූයේ නැත. මේ අපූරු පියාණන් වූයේ හාස්‍යොත්පාදක කලාවේ රජතුන් කට්ටුවේ එක් රජකු වූ බර්ටි ගුණතිලක නම් ජ්‍යෙෂ්ඨතම රංග ශිල්පියා ය.

කන්ද උඩරට දී වර්ෂ 1924 අගෝස්තු මස දෙවන දින දී ජන්ම ලාභය ලැබූ ඔහුගේ සම්පූර්ණ නාමය මෙස්ටියගේ බර්ටි සංඝතිස්ස ගුණතිලක විය. ඔහු මහනුවර අම්පිටිය විද්‍යාලයෙන් සහ සංඝරාජ පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබුවේ ය. පාසල් වියේදීම රංගනය සඳහා දස්කම් දැක්වූ හෙතෙම පිරිවෙන් ප්‍රාචීන විභාගය අවසන් කිරීමෙන් අනතුරුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව එහි අධ්‍යාපනයෙන් පසු ටික කලක් එහි සේවාවෙහි නියුතුව සිට ඉන්පසුව පාසල් ගුරුවරයකු ලෙස ද කටයුතු කොට තිබේ. අනතුරුව ලේක්හවුස් ආයතනයට බැඳී සෝදුපත් කියැවීමේ සිට ප්‍රවාහන අංශයේ ද කටයුතු කොට වසර 15 ක සේවා කාලයකින් පසුව එයින් ද ඉවත් විය.

වර්ෂ 1947 දී සිරි අයියාගේ ( යූ.ඒ .එස්. පෙරේරා ) ළමා පිටිය ඔස්සේ එකල රේඩියෝ සිලෝන් නමින් හැඳින්වුණු ශ්‍රී ලංකා ගුවන් විදුලියට ඔහුගේ ආගමනය සිදුවිය.

වර්ෂ 1952 දී තේවිස් ගුරුගේ මැතිතුමන් විසින් මෙහෙයවනු ලැබූ බ්‍රෂල්ස් ගේ කෝපි වැඩසටහන මඟින් පවත්වනු ලැබූ තරගයෙන් ලංකාවේ හොඳම ආධුනික විකට ශිල්පියා ලෙස ජයග්‍රහණය කළ ඔහු එච්. ඩී. විජේදාස ගේ විහිළු තහළු වැඩසටහනට එක්ව එහි ආරම්භයේ සිට අවසානය දක්වාම විකට චරිත නිරුපණය කළේ ය. ඇල්ෆ්‍රඩ් පෙරේරාගේ විනෝද සමයට එක්වී කටයුතු කළේය. ජාතික රූපවාහිනිය ආරම්භවූ 1980 මුල් දශකයේදී ම ජාතික රූපවාහිනිය ඔස්සේ සිය රසික ජනතාව ට දෘශ්‍යමාන වීමේ අවස්ථාව ඔහුට සහ ඔහු සමඟ කටයුතු කළ සඟයන් දෙදෙනාට ද ලැබිණ. අතිශය ජනප්‍රිය “ නන්දන වින්දන “ මාසික ප්‍රසංගයේදී විකට අංගය ඉදිරිපත් කරනු ලැබුවේ, ඇනස්ලි, බර්ටි සහ සැමුවෙල් තුන් කට්ටුව ය.

ගුවන් විදුලි නාට්‍යය , චිත්‍රපට කලාව උදෙසා ඔහු ලබා දුන් දායකත්වය අගයමින් කලා භූෂණ, සූර්ය ලංකා සම්මානය, දේශ නේත්‍ය, කලාශුරි, කලා කීර්ති සහ රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී එම ක්ෂේත්‍රයට කරන ලද අනුපමේය සේවය උදෙසා හිමිවන විශිෂ්ට සම්මානයෙන් ද ඔහු පුදනු ලැබී ය.

හාස්‍ය ඉපදවීම කලාවකි. රසවාදයෙහි, ශෘංගාර, හාස්‍ය, කරුණ, රෞද්‍ර, වීර, භයානක බීභත්ස්‍ය, අද්භූත සහ ශාන්ත වශයෙන් වෙන් කොට දක්වා තිබුණ ද මෙකී රස අතුරින් හාස්‍යය ඉපදවීම අතිශය සීරු මාරුවට කළ යුත්තකි. මිනිසුන් සිනා ගැන්වීම පහසු නැත. සිනා නොමැති සමාජයක් සිනා ගැන්වීම අපහසු කාර්යයකි. විශේෂයෙන් මිනිසුන් සමඟ සිට මිනිසුන්ගේ දුර්වලකම් පෙන්වා සිනාසීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. වර්තමානයෙහි සිදුවනුයේ මිනිසුන්ට සිනාසීම ය. එය පහසු ය. නමුත් විය යුත්තේ යම් සිද්ධියකට, යම් ජවනිකාවකට එකවරම සිනාසීමෙන් ඉනික්බිති තමන් ඒ සිනාසී ඇත්තේ තමන්ටම බව මොහොතකින් වැටහී යාම ය. නො එසේනම් තමන් විසින්ම නිවැරදි කරවා ගත යුතු තමන්ගේ දුර්වලකමකට බව ය. සැබෑ හාස්‍ය උපදිනුයේ එයිනි. එය සමාජයේ ඉදිරි ගමන උදෙසා කෙතරම් සොඳුරු ලෙස ඉවහල් වන්නේ ද යන්න අතීතය පිරික්සීමෙන් දත හැකි ය. බර්ටි ගුණතිලක ද වරෙක පවසා තිබුණේ අඬන සමාජයක සිට තමන් ද අඬන බව සඟවා සිනහසෙන්නට තමන්ට සිදුවූ බව ය.

නමුත් ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක, සැමුවෙල් රුද්‍රිගු ආදීන් සහ මර්සි එදිරිසිංහ, ගැමුණු විජේසුරිය, ඇල්ෆ්‍රඩ් පෙරේරා, ධර්ම ශ්‍රී මුණසිංහ, විජේරත්න වරකාගොඩ වැනි ප්‍රවීණයන් කිසිවිටෙකත් ප්‍රේක්ෂකයා සිනා ගැන්වීමට උත්සාහයක් නොදැරූ අතර හාස්‍යය නිරායාසයෙන් මතු වනුයේ ඔවුනගේ සහජ රූපණ කුසලතාවෙනි. සිනාව සය ආකාර ය. ස්මිත, හසිත, විහසිත, උපහසිත, අපහසිත සහ අතිහසිත යනුවෙනි. එයින් උපහසිත යන සිනහව යනු සමාජයේ ඌනතා දක්වමින් වරදට සිනහසීමකි. අපහසිත සිනහව යනු පුද්ගලයා අපහාසයට ලක් කිරීමෙන් උපදවන පහත් පෙළේ හිනාවකි. ඒ නයින් බලන කල ඔවුන් මතු කළ හාස්‍යය සහ වර්තමානයේ එෆ් එම් නාළිකාවල තම තමන්ටම විහිළු කරගනිමින් ඒවා ශ්‍රාවකයාට ඇසීමට සලස්වන නිවේදක නිවේදිකාවන්, පසුබිමෙන් සිනා හඬ පටිගත කොට ප්‍රේක්ෂකයාට ඇසෙන්නට සලස්වා දෙපැත්ත කැපෙන කුණුහරුප දෙසා බාන නළු නිළියන් සහ එයම සම්භාව්‍ය ලෙස හඳුනාගෙන සිටින ප්‍රේක්ෂකාගාර සහ ශ්‍රාවකයන් පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැත.

ඕනෑම රාජ්‍යයක විශාල වැටුප් ලබන විහිළු සපයන්නන් නොමැති ද? විහිළු සපයන්නා හුදෙක් විහිළු සපයන්නෙක් පමණක් ම ද? ඔහු ඒ තුළින් විහිළුවකට වඩා එහා ගිය දෙයක් සමාජගත කරන්නේ නැති ද? එසේනම් අන්දරේ ගැන අප සිතන්නේ කෙලෙසක ද ? බටහිර චාලි චැප්ලින් ගේ සිට සිංහල සිනමාවේ ද වීරයා නොහොත් කොල්ලා තරම්ම හැලුප් කාරයා වැදගත් වනුයේ ද එහෙයිනි. කොල්ලාට කියාගන්නට බැරි බොහෝ දේ හැලුප් කාරයා කියා දමයි.

බර්ටි ගුණතිලක කලාකරුවාණෙනි, ඔබ අප සමාජයට බොහෝ දේවල් දුණි. භරත, හර්ෂ,කුමුදිනි සහ ජීවනී ඔබගේ දරුවෝ ය. ඔවුහු සමාජයේ වැඩදායක කටයුතුවල නියැළී සිටිති. ඔබ ආරම්භයේ සිටම වාමාංශික කඳවුරේ සිටියෙකි. එක්ව වැඩ කිරීමේ අරුත ඔබ තම ජිවිතයෙන් පෙන්වා දුන්නෙකි. ඔබ බොහෝ දෙයක් දෙන බව නොදැන බොහෝ දෙයක් අප වෙත තිළිණ කළේ ය. සමාජයක් වශයෙන් අප ඔබ අගයන්නේ එහෙයිනි. වසර 98 ක් ආයු වලඳා ඔබගේ කාර්යය නිම කොට අපගෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨයාණෙනි, විශිෂ්ටයාණෙනි, ගුරුතුමනි ඔබට සුබ ගමන්!

අන්දරේ මියගියේ මියගිය තමා දකින රජුට පවා සිනහා නැංවෙන අයුරිනි. එහෙත් ඔබ මියගිය පුවත ඇසීමෙන් මගේ දෑසට ඉනුවේ කඳුළකි. එහෙත් ඔබ අප නෙතට කඳුළු නැංවූයේ අදම පමණි.

 

 අමිත්ත වීරසිංහ

Comments