මෝටර් රථයෙන් බැස සරාගී රංගනයට වහ වැටුණු ග්‍රේසි යළි මෝටර් රථ ධාවනයට ක්‍රේසි වෙයි | සිළුමිණ

මෝටර් රථයෙන් බැස සරාගී රංගනයට වහ වැටුණු ග්‍රේසි යළි මෝටර් රථ ධාවනයට ක්‍රේසි වෙයි

‘ක්‍රේසි කියන්නේ පිස්සු වැටීමට ය, උමතු භාවයට, දැඩි ආකර්ශනයට පත්වීම ය. ඈ දුටු මනින් ඇති වන්නේ එවැන්නකි. එය වැඩිදියුණු කරමින් ඈ මෝටර් රථයෙන් බැස සරාගී රංගනයට එක්වූවා ය. එහෙත් පසුගිය දා ඈ යළි අමෙරිකාවේ දී ඇගේ පළමු උමතුව වූ මෝටර් රථ ක්‍රීඩාව කෙරෙහි යළි ආකර්ශනය වූවා ය. එය සරාගී නළඟනකගේ භූමිකාවෙන් නික්ම යළි මෝටර් රථ ධාවන පථයට ඇය පැමිණීමක් බවට පත්වෙයි ද? මේ ඒ ගැන ය.’

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දී නම් මෝටර් රථ ධාවන ක්‍රීඩාවට සම්බන්ධ වෙලා දස්කම් දක්වන ක්‍රීඩිකාවන් පිළිබඳ අහන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.

එහෙත් විදෙස් රටවලින් නම් මෝටර් රථ ධාවන ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩිකාවන් සෑහෙන පිරිසක් සොයා ගත හැකි යි.

රේනි ග්‍රේසි කියන්නේ අන්න එවැනි දක්ෂ ක්‍රීඩිකාවක්. ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක වූ ඇය මෝටර් රථ ක්‍රීඩාවට එක් වන්නේ 2013 වසරේ 18 හැවිරිදි තරුණියක ලෙස යි. එම වසරේ කාට් රේසිං තරගවලට සහභාගී වූ රේනි මෝටර් රථ ධාවන තරග සඳහා ඉදිරිපත් වන්නේ 2014 වසරේ දී යි.

ඒ අනුව ඇය පොෂෙ කැරේරා කුසලාන මෝටර් රථ ධාවන තරගාවලියට සහභාගී වී තිබුණා. මෙම තරගාවලියට සහභාගී වූ පළමු ක්‍රීඩිකාව බවට පත්වුණෙත් රේනි ග්‍රේසි යි. 2015 වසරේ දී ත් මේ තරගාවලියට ඇය සහභාගී වූ අතර තමන් සහභාගී වූ තරග සියල්ලක්ම අවසන් කරන්නට සමත් වීමත් සහභාගී වූ තරග 10 න් පහක දී ම ඉහළම දස්කම් දක්වන්නට සමත් වීමත් නිසා ඇය වෙත අනුග්‍රාහක ප්‍රදානයන් අඩු නැතිව ගලා එන්නට වුණා.

ඇගේ දස්කම් 2015 වසරේ දී පෝල් මොරිසන් මෝටර් ස්පෝර්ට්ස් කණ්ඩායමට එක්වීමට අව-ස්ථාව සලසා දුන්නා. එහිදී සුපර් කාර් ඩන්ලෝප් තරගාවලියට සහභාගී වූ ඇය සමස්ත තරගා-වලියේ දී ප්‍රසාද ලකුණු 63 4ක් සහිතව 18 වැනි ස්ථානය හිමිකර ගත්තා. මේ නිසා ම ඇය එතැන් සිට පූර්ණ කාලීන වෘත්තීය මෝටර් රථ ධාවන ක්‍රීඩිකාවක් බවට පත් වූවා.

තවත් කීර්තිමත් මෝටර් රථ ධාවන ශූරියක වූ සිමෝනා ඩී සිල්ටෙස්ට්‍රෝ සමග සහාය ධාවන ක්‍රීඩිකාව බවට ඈ පත්වී තිබුණා.

එතැන් සිට සිමෝනාගේ සහායක රියැදුරු ලෙස තරග වැදුණු රේනී වී 8 සුපර් කාර්ස් සඳහා වන බතර්ස්ට් 1000 තරගාවලියට සහභාගී වී තිබුණේ ප්‍රොඩ්‍රයවර් රේසිං කණ්ඩායම නියෝජනය කරමිනුයි. 1998 වසරින් පසුව මෙම තරගාවලියට සහභාගී වූ කාන්තා යුගලය බවට සිමෝනා හා රේනි ඉතිහාස ගත වුණා. 1998 වසරේ මෙලින්ඩා ප්‍රයිස් හා කෙරීන් බ්‍රෙවර් මෙම තරගාවලියට ඉදිරිපත් වූ පළමු කාන්තා යුගල බවට පත් වුණේ ඉතිහාසයට එක්වෙමින්.

කෙසේ වුවත් මෙම තරගාවලියේ දී ඔවුන් දෙදෙනාට ඔවුන් බලාපොරොත්තු වූ දස්කම් දැක්වීමට නොහැකි වුණා. මෝටර් රථයේ ඇති වූ කාර්මික දෝෂ ද එයට බලපා තිබුණා. එහි දී තරග 17කට සහභාගී වී අවසන් කරන්නට සමත් වී තිබුණේ ද තරග 10 ක් පමණයි. ඉන් ද ඔවුනට සැලකිය යුතු ස්ථානයක් හිමිව තිබුණේ එක තරගයක දී යි. මේ නිසා අනුග්‍රාහක ප්‍රතිපාදන අහිමි වන තත්ත්ව-යකට රේනිට මුහුණ දීමට සිදුව තිබුණා.

ඇය මෝටර් රථ ක්‍රීඩාවෙන් සමුගන්නට තීර-ණය කරනු ලැබුවේ ඒ නිසා ම නොව මේ අවස්-ථාව වන විට වැඩිහිටියන් සඳහා අඩනිරුවත් දර්ශන සහිත චිත්‍රපට නිපදවා ප්‍රදර්ශනය කරන ඔන්ලි ෆෑන්ස් වෙබ් අඩවියෙන් ආරාධනා ලැබීම එයට හේතුවක් වුණා.

අනතුරුව ඇය ඔන්ලි ෆෑන්ස් වෙබ් අඩවිය ඔස්සේ අඩනිරුවත් රංගනයන් ඉදිරිපත් කරමින් අතිශය ජනප්‍රියත්වයට පත් වෙද්දී ඇගේ ආදායම ද සතියකට පවුම් 14,000 ඉක්මවා ගියා. ඒ නිසා ම ඇයට එතෙක් සිහිනයක්ව පැවැති අධි සුඛෝපභෝගී මර්සිඩිස් සුපර් කාර් මෝටර් රථයක හිමිකාරියක වීමේ හැකියාව ද ලැබුණා.

ආදායම ඉහළ යෑමත් සමග ඇගේ වියදම් ද

ඉහළ ගියා. ඇය විදෙස් සංචාරයන්ට යොමු වන්නේ ඒ නිසා ය. ඒ අතරින් අමෙරිකානු සංචාරය රේනිට අත් කර දුන්නේ පෙරළිකාර අත්දැකීමක්.

කුඩා කල සිටම මෝටර් රථ ධාවන ක්‍රීඩාවට ඇලුම් කළ නිසා දෝ රේනි අමෙරිකාවේ දී මෝටර් රථ ධාවන තරග නැරඹීමට ගියා. පළමු අවස්ථාවේ දී රේනි විමතියට පත් වුණේ අමෙරිකානු මෝටර් රථ ධාවන තරග හා ඔස්ට්‍රේලියානු මෝටර් රථ ධාවන තරග අතර ඇති බරපතළ වෙනස අත්විඳීම නිසයි.

අමෙරිකාවේ දී තරගකරුවන්ට හිමිවන මූල්‍යමය සහයෝගය, ධාවන තරග සැලසුම්, ධාවන රථ මේ හැම අංශයක්ම තිබුණේ ඇගේ සිත ඇඳී ගිය අංගයන් වුණා.

‘මම පුංචි කාලේ ඉහළම මෝටර් රථ ධාවන ක්‍රීඩාවට පුදුම ආශාවක් දැක්වූවා. මට පොඩි කාලේ තාත්තා අරගෙන දුන්නේ බෝනික්කෝ නෙවෙයි. සෙල්ලම් කාර්. තවමත් ඒවා මම අපේ ගෙදර පරිස්සම් කරලා තියෙනවා. ඒ නිසා මට කවදාවත් මෝටර් රථ ක්‍රීඩා සම්පූර්ණයෙන් අත්හරින්න බැහැ.‘ රේනි ග්‍රේසි දැන් පවසනවා. ඇගේ මේ ප්‍රකාශය බොහෝ දෙනෙකු සලකන්නේ යළිත් ඇය මෝටර් රථ ධාවන ක්‍රීඩාවට එක්වන බවට ලබාදුන් ඉඟියක් ලෙසිනුයි. අපි බලා සිටිමු.

Comments