මගේ ලොකුම හයිය මගේ දරුවෝ - ජනප්‍රිය ගායිකා ශිරාණි විජේවර්ධන | සිළුමිණ

මගේ ලොකුම හයිය මගේ දරුවෝ - ජනප්‍රිය ගායිකා ශිරාණි විජේවර්ධන

70 දශකයේදී ජනප්‍රිය ගායිකා ඉන්ද්‍රාණි පෙරේරා සහ ඇගේ සොයුරියන් දෙදෙනා ශ්‍රී ලාංකේය සංගීත කරළියේ ත්‍රී සිස්ටර්ස් නමින් ප්‍රචලිත විය. ඇයගේ හ⁣ඬ ආභාසයට ගෙන සංගීත කරළිය දිග් විජය කරන්නට උත්සාහගන්නා තරුණ, තරුණියන් එදා මෙන්ම අදත් සිටිති. මේ කියන්න යන්නේ ඇයගේ හඬ ගැනවත්, ඇයගේ පෞද්ගලික තොරතුරු ගැනවත් නෙවෙයි. පසුගිය දිනක නව ගායන රිද්ම රටාවක්, රූප රචනයත් සමඟ යූ ටියුබ් නාළිකාවක ඇසෙන්ට ලැබුණි. ප්‍රවීණ ගායන ශිල්පීනී ඉන්ද්‍රාණි පෙරේරාගේ හඬට ඉතා සමීප හඬක් ද මේ ගීයෙන් ඇසුණි. ඇය ශිරාණි විජේවර්ධනයි. මේ නව ගීතය ගැන ශිරාණි විජේවර්ධන සමඟ කළ සාකච්ඡාවයි.

 

කොහොමද ගායන ක්ෂේත්‍රයට එන්නේ?

මම පාසල් යන්නේ කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයටයි. පාසල් යන කාලේ ගායිකා ඉන්ද්‍රානි පෙරේරාගේ ෂෝ එකක් දැකලා තමයි මම ගායනය ප්‍රිය කරන්න පටන් ගත්තේ. මතක හැටියට මම පුංචි කාලේ අවුරුදු හතේ, අටේ ඉඳන්ම වැඩියෙන්ම ඉන්ද්‍රාණි පෙරේරා කියන ගායන ශිල්පීනියගේ ගීතවලට පුදුම විදියට ඇලුම් කළා. ඒ කාලේ මටත් මේ විදිහට වෙන්න පුළුවන් නම් කියලා සිහින මැව්වා. මම හිතනවා ඒ සිහිනය මම අද සැබෑ කර ගත්තා කියලා.

 

සංගීත කරළියට ඔබ පිවිසෙන්නේ කොහොමද ?

පාසල් කාලයේදී මම බාහිර සංගීත වැඩවලදී කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා. කණ්ඩායම් සංගීතයේදීත් මම නැතිවම බැරි චරිතයක් වුණා. පස්සෙ මම ප්‍රවීණ ගායන ශිල්පී ධර්මදාස වල්පොලයන්ගෙන් බාහිර සංගීතය ඉගෙන ගත්තා. පසුව ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද විජේසිරි කියන කලාකරුවන්ගෙන් කලාභූමි සංගීත ආශ්‍රමයෙන් වැඩිදුරටත් සංගීතය ඉගෙන ගන්නවා. ඉන්පස්සෙ මම මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි ශූරීන්ගෙන් හා ආචාර්ය නන්දා මාලනියන්ගේන් තවදුරටත් සංගීතය හදෑරුවා. වර්තමානයේ මම විශාරද නිර්මලා රණතුංගගෙන් භාත්ඛණ්ඩේ යටතේ සංගීත විශාරද වෙනුවෙන් ඉගෙන ගන්නවා.

 

මෑතකදී නිකුත් කළ ‘ඔබේ ආදරේ‘ කියන ගීතයේ ඉතිහාසය වෙනස් කතාවක් බව දැන ගන්නට ලැබුණා?

ඔව්, එය දිග කතාවක්. මුල් ගායනය කරලා තියෙන්නෙ 70 දශකයේ හියු ප්‍රනාන්දුයි. පද රචනය කරලා තියෙන්නේ දයානන්ද කුමාරසිරි කලාකරුවා. මේ ගීතය ඒ කාලයේ ජනප්‍රිය වෙලා නෑ. පසුව ස්ටැන්ලි පීරිස් ශූරීන් මේ ගීතය ඉන්ද්‍රානි පෙරේරා ගායනවේදිනියට දීලා තියෙනවා. ඒ වෙන පද රචනාවක් යොදලා. ඊට පස්සේ තමයි ඉන්ද්‍රාණි පෙරේරා "සිතින් මා ඔබේ "නමින් මේ ගීතය ගායනා කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ ගීතය වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නේ. මට මේ ගීතයේ මුල් පද පමණයි ලැබුණේ. ගීතවල අයිතිය ගැන ටිකක් ගැඹුරට කතා කරන කාලෙක මේ ගීතයේ අයිතිකරුවන් වන හියු ඔපාත, දයානන්ද කුමාරසිරි, මිල්ටන් පීරිස් මහත්වරුන් දුරකතනයෙන් ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගෙන් විමසලා නීත්‍යානුකූලව හරිම නිහතමානී විදිහට මට දුන්නා. ඇයගේ පද නොවන නිසා එය මට දෙන්න කියලයි ඇය කිව්වේ. ඒ සියලු දෙනාගේ ආශිර්වාදය නිසා තමයි මට මේක රූප රචනයක් එක්ක එළි දක්වන්නට පුළුවන් වුණෙත්. අද වන විට ශිරාණී යූටියුබ් නාළිකාවේ මේ ගීතය ඉතා ජනප්‍රියයි. ඒ ගැන මට ගොඩක් සතුටුයි.

 

දැනට ගීත කීයක් පමණ ඔබ ගායනා කර තිබෙනවාද ?

මම දැනට කරල තියෙන්නෙ සින්දු 13 ක් විතරයි. මේ අලුත්ම ගීතයත් එක්ක මම ගීත 5ක් එළිදක්වලා තියෙනවා. ඉතුරු ටිකත් ඉක්මනටම එළිදක්වන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නේ. මගේ ගමන සෙමින්. ඒ නිසා පොඩි කාලයක් යනවා.

 

එයින් වඩාත් ජනප්‍රිය ගීතය හා ඔබ කැමතිම ගීතය කුමක්ද ?

සුන්දර කරදරයක් කියන ගීතය තමයි මේ දවස්වල වඩාත්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඔබේ ආදරේ කියන ගීතයට මං වඩාත් කැමැතියි. මොකද ඒ ගීතයට හොඳ අනන්‍යතාවක් තියෙනවා. ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ ආභාසය සහ ආශාව නිසා මට මේ ගීතය ලැබුණා. එයින් මගේ සිහිනයට ළං වෙන්න ලැබුණු නිසා වඩාත්ම මම ඒකට කැමතියි. මෙහෙම දේවල් සිදුවෙන්නේ අපේ ජීවිතවලට ආශිර්වාද ලැබෙන නිසා කියලයි මම හිතන්නේ. මං කීප දෙනෙක් සමඟ යුග ගී ගායනා කරලා තියෙනවා. විශාරද එඩ්වඩ් ජයකොඩි, සරත් ඕවිටිගල, රජිව් සෙබස්තියන්, සහ මගේ සැමියා සේන විජේවර්ධන සමඟත් මම ගීතයක් ගායනා කරලා තියෙනවා.

 

ගී පද මාලා තෝරා ගන්නේ කුමන පදනමකින්ද ?

ජීවිතයේ අත්දැකීමක් හෝ හිත තුළ ගැබ් වෙන දෙයක්, සුන්දර කතාවක් පදවැල් බවට පත්වෙනවා නම්, මම ඒ පදවැල් තෝරගන්නේ ප්‍රවීණ ආධුනික කියන සංකල්පය යටතේ නෙවෙයි. හොඳ අදහසක් ඒ ගීතයේ ගැබ් වෙලා තියෙනවා නම්, සමාජයට ආදර්ශවත් යමක් එහි කියවෙනවා කියලා හිතුණොත් එවැනි ගීත මම තෝරා ගන්නවා.

 

සංගීතය සමඟ යන ගමන්මඟට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

ඇත්තටම මට හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ සැමියා වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඔහු මිය ගිහින් දැනට අවුරුදු 12ක් විතර වෙනවා. මට පුතාලා තුන් දෙනෙක් ඉන්නවා. තුන්දෙනාමත් සංගීතයට ගොඩක් ළැදියි. ලොකු පුතා සඳුන් දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයටත් සහභාගි වුණා. 48 දෙනා අතරටත් තේරුණා. දෙවැනි පුතා සහන් සහ පොඩි පුතා චරිත් හොඳට සින්දු කියන්න පුළුවන්.

 

ඔබ ජීවිතයේ බොහෝදුර ඇවිත් සංගීත ක්ෂේත්‍රය තෝරා ගන්නේ ඇයි ?

මගේ ජීවිතේ බර ගොඩක් අඩු වෙච්ච කාලෙක තමයි මම මේ වැඩේට අත ගැහුවේ. මගේ ලොකු පුතා හා ඔහුගේ ආදරණීය බිරිය විභාති තමයි මගේ සින්දුවේ රූප රචනයට පෙනී සිටින්නෙත්. මම දැන් ආච්චි කෙනෙක්. ඒ නිසා මට හරිම පහසුයි.

දෙවැනි පුතා සහ පොඩි පුතාත් දැන් විවාහ වෙන්නයි ඉන්නේ. මේ සියලු දේවල්වලින් නිදහස් වෙනකොට දැන් තමයි අපිට අපේ හොඳම කාලය එන්නේ. ඒක හින්දා තමයි මං මේ කාලේ තෝරගන්නේ. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ කුඩා ව්‍යාපාර කටයුත්තකුත් ඒ අතරෙ මම කරගෙන යනවා.

 

Comments