මගේ එකම ආසාව ජයාරූප ගන්න එක | Page 2 | සිළුමිණ

මගේ එකම ආසාව ජයාරූප ගන්න එක

2022 Sony World Photography සම්මානය දිනූඅමල් ප්‍රසාද්

ජායාරූපකරණයේ පූර්ණකාලීනව නියැළිලා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙන්න අමාරුයි

ලංකාවට සංචාරක ආකර්ෂණය වැඩි කර ගන්න ලංකාව කොච්චර ලස්සන රටක් ද කියලා ලෝකයට පෙන්නන්න මට ඕනෑ...

2022 Sony World Photography සම්මානය උළෙලට ලෝකයෙන්ම ඉදිරිපත් කළ ජායාරූප අතරින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වුණේ ලංකාව නියෝජය කරමින් සිය ජායාරූප ඉදිරිපත් කළ අමල් ප්‍රසාද්. ඔහු මීට පෙර ගිය වසරේ රාජ්‍ය සම්මාන උළෙලේදී පවා සම්මානිත වූ තරුණ දක්ෂ ජායාරූප ශිල්පියෙක්. ඇත්තටම අමල් කියන්නේ කවුද? මොනවද කරන්නේ ඒ ගැන දැන ගන්න අමල් සමඟ රසඳුන කළ කතාබහයි මේ.

 

නම - අමල් ප්‍රසාද්

ගම - බෙලිඅත්ත

පවුලේ විස්තර - අම්මා තාත්තා සහ නංගි

පාසැල - වීරකැටිය සෙන්ට්‍රල්

වෘත්තීය - මෘදුකාංග ඉංජිනේරුවරයෙක්

එතකොට මේ ජායාරූපකරණය - ජායාරූප ගන්නේ විනෝදාංශයක් විදියට

 

මුලින්ම තරගවලට ඉදිරිපත් කළේ කොයි කාලෙද

ගිය වසරේ තමයි තරගවලට ඉදිරිපත් කරන්නට පටන් ගත්තේ. ගිය වසරේ රාජ්‍ය සම්මාන උළෙලේදී සමාන දෙකක් ලැබුණා. ඒ lifestyles & cultural Aspects අංශයෙන් ප්‍රථම ස්ථානය සහ portraits වලින් දෙවැනි ස්ථානය.

 

කොහොමද Photography වලට කැමැත්ත ඇතිවුණේ

පාසලෙන් අවුට් වුණාම. මුලින්ම ෆෝන් එකෙන් ෆොටෝ ගත්තේ පස්සේ පොඩි කැමරාවක් අරගෙන 2009 වගේ කාලේ ඉඳන් ෆොටෝ ගන්නවා.

 

ක්ෂේත්‍ර දෙකක ඔබ ඉන්නේ, ෆොටෝ ගන්නේ කොයි වෙලාවටද?

සතියේ දවස් පහ වැඩ කරලා හැම සති අන්තයකම වගේ කොහේ හරි යනවා. ඒ යන අතරේ තමා ජායාරූප ගන්නේ.

 

2022 Sony World Photography සම්මානයට කී දෙනෙක් තරග වැදුණද?

මේක විවෘත තරගයක් විදියට තමා පැවැත්වුණේ. ඒ සඳහා ඇතුළත් වූවන් 170,000 ක් පමණ සිටියා. ප්‍රදේශ 211 කින් පින්තූර 340,000 කට වඩා වැඩි ප්‍රමාණයක් 2022 Sony World Photography Awards සංස්කරණයට ඇතුළත් වෙලා තිබුණා. ඒ අතරින් තමා ප්‍රථම ස්ථානය මට ලැබුණේ.

 

මොකද හිතුණේ මේ ජයග්‍රහණය ලැබුණාම

මුලින්ම නම් හිතාගන්න බැරි වුණා. ඇත්තටම ලොකු සතුටක් තියෙන්නේ ලංකාවේම ගත්ත ජායාරූපයක් ඒ වගේ තැනකට ගෙන්න පුළුවන් වීම ගැන.

 

මේ ජායාරූපය ගත්තේ කොහේදිද?

මේ ෆොටෝ එක ගන්න දවස් දෙකක් යන්න වුණා. මේක තංගල්ල රන්න ප්‍රදේශයේ රැකව කියන පැත්තේ ගත්ත ජායාරූපයක්. මේක ගත්තේ ඩෝන කැමරාවක් භාවිත කරලා.

 

කොහොමද මේ ජායාරූපය ලබා ගැනීමේ අත්දැකීම

එක දවසක් උදේම ගියා පැය දෙක තුනක් හිටියා මාළු දැල දාලා සුදානම් වෙන ටික කැප්චර් කළා. ඒත් එදා ඒ අය දාලා තිබ්බේ කොළ පාට වගේ දැලක් නිසා මට ඕනේ විදියට ෆොටෝ ටික ගන්න බැරිව ගියා. ඊට පස්සේ තමා හිතේ තියෙන විදියටම ගන්න පුළුවන් වුණේ. මේකට නේචර් එකත් බලපානවනේ. වැලි ටික බොක්කක් වගේ සොබාදහමෙන් ම හැදිලා තිබුණ නිසා හිතේ තිබ්බ ෆොටෝ එකම වැදුණා.

ඇත්තටම රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මාන ලැබුණට පස්සේ තමයි මේ තරගයට ඉදිරිපත් කළේ. මෙවැනි ලංකාවේ අභිමානය සහ සුන්දරත්වය පෙන්නුම් කරන ජායාරූප අන්තර්ජාතික තරගවලට ඉදිරිපත් කරලා අපේ දේ ලෝකයට අරන් යන්න සහ ඒ තුළින් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය සහ ඇති කරන්නට උත්සාහ කරනවා.

 

පූර්ණකාලීන ව වෘත්තීය විදියට ජායාරූපකරණයේ නියැළෙන්න අදහසක් නැද්ද?

මම හිතන්නේ ලංකාවේ ජායාරූපකරණයේ පූර්ණකාලීනව නියැළිලා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙන්න අමාරුයි. ඒ නිසා පූර්ණකාලීනව ජායාරූපකරණයේ නියැළෙන්න අදහසක් නැහැ. දැන් මගේ එකම ආසාව ජයාරූප ගන්න එක. ඒ නිසා ඉඩක් ලැබෙන හැම වෙලාවකම ජායාරූප ගන්න එක තමා කරන්නේ. මොකද හිතේ තියෙන ආසාව ජායාරූපකරණය පැත්තට නිසා.

 

අනාගත බලාපොරොත්තු මොනවද?

ජාත්‍යන්තර මට්ටමේ තව ගොඩක් තරග තියෙනවා. ඒවටත් අයදුම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම මම නම් හිතන්නේ අපේ සංචාරක මණ්ඩලය ලංකාවේ ලස්සන තැන් පෙන්වනවා හරි අඩුයි.

විදෙස් ජාතිකයන්ම ඇවිත් අපේ රටේ ලස්සන තැනක් ෆොටෝ අරන් අප්ලෝඩ් කිරීම නිසා අපේ රටේ සුන්දර තැන් ගැන ජාත්‍යන්තර අවධානය ඇවිත් තියෙනවා.

එහෙම නැතුව අපි අපේ රටේ ලස්සන තැන් ලෝකයට පෙන්වනවා මදි කියලයි මට හිතෙන්නේ. ඔය ගෙම්බා ගල, ඇල්ල වගේ පැති ජනප්‍රිය වුණේ විදෙස් ජාතිකයන් දැම්ම ජායාරූප නිසා.

ඒ නිසා මගේ බලාපොරොත්තුව මේ තියෙන ආර්ථික තත්ත්වය එක්ක ලංකාවට සංචාරක ආකර්ෂණය වැඩි කර ගන්න ලංකාව කොච්චර ලස්සන රටක් ද කියලා ලෝකයට පෙන්නන්න.

Comments