නිදහස් සිලෝන් අභියෝග කුසලාන පාපන්දු කිරුළ උතුරට | සිළුමිණ

නිදහස් සිලෝන් අභියෝග කුසලාන පාපන්දු කිරුළ උතුරට

- පාපන්දු සම්මේලනයේ කොන්ද දිගහැරෙයි
- නිවැරැදි තීරණ පැසසීමට

‘අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණි ගත කිරීමට අනුව 200 ට ත් වඩා පසු ගමන් ගොස් සිටින ශ්‍රී ලාංකේය පාපන්දුව ක්‍රමයෙන් අළු ගසා දමා නැගී සිටීමට වෙර දරමින් සිටී. ඒ සඳහා රට පුරා විසිරී සිටින පාපන්දු දක්ෂයන් හඳුනාගත හැකි වැඩපිළිවෙළක් ලෙස පාපන්දු සම්මේලනය දියත් කරන ලද අභිනව පාපන්දු තරග මාලාව ලෙස “නිදහස් සිලෝන් අභියෝග කුසලාන” හඳුන්වා දිය හැකිය. පසුගිය දා අවසන් වූ එම තරගාවලියේ ශූරතාව දිනාගත්තේ යාපනය යි.’

මෙරට සිටින ප්‍රවීණ ක්‍රීඩකයින් මෙන්ම තරුණ ක්‍රීඩකයන් හා යොවුන් ක්‍රීඩකයන්ගේ සංකලනයක් ලෙස නිදහස් සිලෝන් අභියෝග කුසලාන සංවිධානය කර තිබිණි. ඒ අනුව මේ අවස්ථාව අවුරුදු 19 න් සහ පහළ 21 න් පහළ ක්‍රීඩකයින්ට තම උපරිමය ජාතික තලයේ දී ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වීමට ලබා දුන් කදිම අවස්ථාවකි. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ක්‍රීඩකයෝ ද ඒ අතරේ බොහෝය.

වර්තමාන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන විධායක කමිටුව ගත් තීරණයකට අනුව මෙවර තරගාවලියේ සියලු ම තරග ඒ ඒ පළාත් තුළ පැවැත්වීම තුළින් අපේක්ෂා කළ ප්‍රතිඵල ලැබුණු බවද පෙනෙන්නට තිබිණි.

යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී නිමාව දුටු අන්තර් පළාත් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් ඒ සඳහා පිරිනමන ලද රුපියල් 1,900,000/= ක මුදල සමඟින් “නිදහස් සිලෝන් අභියෝග කුසලාන”ට හිමිකම් කියන්නට උතුර නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ ලීග් ක්‍රමයට පැවැති තරගාවලිය අපරාජිතවම ජය ගනිමිනි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර අත්දැකීම් ලාභී ක්‍රීඩකයන් පිරිවරා ගත් ප්‍රබල බස්නාහිර පළාත ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩා රටාව හමුවේ ඔවුන් මූලික වටයෙන්ම ඉවතට විසි විණි. මධ්‍යම පළාත, ඌව පළාත සහ උතුරු මැද සහ වයඹ එකාබද්ධ රජරට පිල ද මූලික වටයෙන්ම ඉවත් විය.

තීරණාත්මක අවසාන තරගයේ දී පරාජය ලැබූ දකුණ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ට සහ පුහුණු උපදේශක මඬුල්ලට රුපියල් 25,000 බැගින් ප්‍රදානය කෙරුණි. මූලික වටයේ දී ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය නොවුණද තීරණාත්මක අවසන් පූර්ව වටයේ දී සටන්කාමී ක්‍රීඩා රටාව නිරත‍ෙවමින් අවසන් තරගයට වරම් ලබා ගැනීමට දකුණේ ක්‍රීඩකයෝ සමත් වීම ද විශේෂත්වයකි. එහි ප්‍රතිඵලයක් ලෙස මූලික වටයේ දී ඉහළ ම ප්‍රසාද ලකුණු හිමි කර ගනිමින් පළමු ස්ථානය තහවුරු කරගෙන සිටි සබරගමුව පළාතට හැඬූ කඳුළින් නික්මයෑමට සිදුවිය. දෙවැනි අවසන් පූර්ව තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට නොහැකි වීම ඔවුන්ට බලපෑ ප්‍රබලත ම සාධකය විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට “රන් බෝලය” සම්මානය ද වැඩිම ගෝල් ලාභියාට “රන් සපත්තුව”සම්මානය ද පිරිනැමීම සම්ප්‍රදායකි. මෙවර තරගාවලිය පුරා කැපී පෙනුණු උතුරු පළාත් කණ්ඩායමේ මරියදාස් නිදර්ශන් "රන් බෝලය" සහ "රන් සපත්තුව" යන සම්මාන ද්විත්වයම දිනා ගත්තේ ය. නායකත්වයේ වගකීම අකුරටම ඉටු කරන්නට සමත් වූ මරියදාස් නිදර්ශන් උතුරු පළාත් ආක්‍රමණයේ ප්‍රබලත ම තරගකරුවා ද වූයේ ය. ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන ආකාරයක් මෙවර තරගාවලියේ ආරම්භක තරගයේ සිටම ඔහු වෙතින් දිස් විය.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර තරගාවලියේ වැඩිම ගෝල් ලාභියා බවට පත් වූයේ ද මරියදාස් නිදර්ශන් ය. ඔහු එහිදී ප්‍රතිවාදීන්ට එරෙහිව ගෝල් 07 ක් රැස් කළේ තම දෙපයේ හැකියාව ජාතික පාපන්දු තෝරා ගැනීමේ කමිටු සාමාජිකයින්ගේ ඇස් ඇරවමින්ය.

ආරම්භක තරගයේ ආරම්භක ගෝලය මෙන්ම අවසාන මහා තරගයේ අවසාන ගෝලය ද උතුරට එක්කරන්නට මරියදාස් නිදර්ශන් ට හැකියාව ලැබිණි. මෙවර තරගාවලියේ දක්ෂතම දැල රකින්නාට හිමි "රන් අත් ආවරණය" දිනා ගැනීමට නැඟෙනහිර පළාත නියෝජනය කළ මොහොමඩ් මුර්ෂිත් සමත් විය. මේ අතර නැඟෙනහිර කණ්ඩායම නියෝජනය කළ මොහොමඩ් මන්සීෆ් අනාගත බලාපොරොත්තු තැබිය හැකි වටිනාම ක්‍රීඩකයා ලෙස මෙවර සම්මාන ලැබීය.

වයස අවුරුදු 19 ට අඩු බොහෝ ක්‍රීඩකයින් අතරේ කැපී පෙනුණු ම චරිතයට පණ පොවන්නට මෙවර තරගාවලිය තුළ ඔහුට හැකි විය.

මෙවර තරගාවලියේ විනීතම කණ්ඩායම ට හිමි සම්මානය හිමිවූයේ නැඟෙනහිර පළාතටයි.

කළු පැල්ලම

මෙම තරගාවලියට මෙන් ම දේශීය පාපන්දු ක්‍රීඩාවට ද කළු පැල්ලමක් එක් කරමින් මධ්‍යම පළාත සහ ඌව පළාත අතර පැවති මූලික වටයේ තරගය හඳුන්වා දිය යුතුම ය.

ක්‍රීඩාවේ සදාචාරයට විරුද්ධ ව ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ප්‍රතිචාර දැක්වීම මෙහි දී දක්නට ලැබුණු ප්‍රධානත ම දුර්වලතාව ලෙස හැඳින්විය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රීඩකයන් පස් දෙනකු හට රතු කාඩ් පත පෙන්වා පිටියෙන් පිටමං කරන්නට විනිශ්චයකරුට සිදු විය.

එහි දී ක්‍රීඩකයන් සිව්දෙනෙකුට එක් තරගය බැගින් තහනම් කළ අතර, තවත් ක්‍රීඩකයකුට නැවත දැනුම් දෙන තුරු පාපන්දු ක්‍රීඩාවේ තහනමක් පැනවිණි.

පසුගිය සුපර් ලීග් තරගාවලියේ දී තීරණ ගැනීමේ දී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ප්‍රදර්ශනය කළ දුර්වලතාව මෙවර තරගාවලිය තුළ දී ඉවත් කරගෙන තිබීම කැපී පෙනෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම තරගය නිම වූ වහාම ක්‍රීඩකයන්ට ලබා දිය යුතු දඬුවම් ලබා දීමට නොපැකිළිම දැක්විය හැකි ය.

උතුරු හා දකුණ අවසන් සටන

එම්. නිදර්ශන් ගේ නායකත්වයෙන් සමන්විත වූ උතුර සහ රාසික් රිෂාඩ්ගේ නායකත්වයෙන් සැදුම්ලත් වු දකුණ අතර ක්‍රියාත්මක කරන ලද අවසාන මහා තරගය නිම වූයේ ගෝල් 03 - 01 ක් ලෙසිනි. අවසාන මහා තරගය උතුරුකරයේ යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට ගත් තීරණයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඒ අනුව උතුරේ ක්‍රීඩකයෝ සමත්වූහ.

තරගය ඇරඹී 23 වැනි මිනිත්තුවේ දී වී. විග්නේෂ් පළමු ගෝලය ද 45 මිනිත්තුවේ දී කේ. තෙනුෂාන් දෙවන ගෝලය ද 59 මිනිත්තුවේ දී එම්. නිදර්ශන් තෙවන ගෝලය ද රැස් කරමින් උතුරේ ජයග්‍රහණය සනාථ කළ අතර පරාජිත පිල වෙනුවෙන් සටහන් වූ එකම ගෝලය ඩී.කේෂාන් දුමිදු 85 වැනි මිනිත්තුවේ දී වාර්තා කළේ ය.

එම්.එම්.එම්. මුස්ටාක් ගේ නායකත්වයෙන් සැදුම්ලත් වූ නැඟෙනහිර පළාත පරදා උතුර ද දඬුවම් පහර ආශ්‍රිතව සබරගමුව පළාත පරදා දකුණු පළාත ද මෙවර අවසන් පූර්ව වටයේදී ජයග්‍රහණ ලබමින් අවසන් තරගයට ළඟා විය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමාර්, එහි ලේකම් උපාලි හේවගේ ඇතුළු විධායක කමිටුවේ ආරාධනයෙන් යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයට පැමිණි යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ දෑතින් ජයග්‍රාහී කුසලාන ප්‍රදානය සිදු කෙරුණි.

Comments